2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

මගීන් 100ක් සමඟ ගුවන් යානයක් කඩාවැටේ

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 393

ග්‍රහ මණ්ඩලයේ සෙන්පති වූ අඟහරු වක්‍ර ගමනින් යමින් බ්‍රහස්පතිට අයත් මීන රාශියට 2020 ඔක්තෝබර් 4 වැනි ඉරු දින උදේ 10 පසුවී විනාඩි 9ට පිවිසේ. 2020 නොවැම්බර් මස 14 වැනි ශනි දින බුධට අයත් රේවතී නැකතේ 2 වන පාදයේදී අඟහරු සිය වක්‍ර ගමන් නවතා සුපුරුදු ගමනින් යාම අරඹනු ඇත. එලෙස සුපුරුදු ගමනින් 2020 දෙසැම්බර් 24 වැනි ගුරු දින දක්වාම අඟහරු මීන රාශියෙහි ගමන් කරනු ඇත.

අඟහරු මීන රාශිගතවීම අප රටට ඇතිවන්නාවූ බලපෑම පිළිබඳව විමසා බැලීමේදී වැදගත් කරුණු කිහිපයක් අනාවරණය වේ. 

ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් රජය විශාල ලෙස මුදල් යෙදවීම කරන කාලයක් වන අතර, ආගමික කටයුතු සම්බන්ධව ඇති නීති පිළිබඳව පාර්ලිමේන්තුව තුළත් පිටතත් පීඩා ද ඇතිවනු ඇත. ආර්ථිකයේ පසුබැසීමක් පෙන්නුම් කරන කාලයක් ද වේ. නාට්‍ය ශාලා, විනෝද ස්ථාන, පාසල් ආශ්‍රිතව අශුභ සිදුවීම් ද, ගිනිගැනීම් කඩාවැටීම් ද ඇතිවනු ඇත. නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුට ද රංගන ශිල්පියකුට ශිල්පිනියකට මාරක ද යෙදෙන කාලයක් වේ.

විදේශීය වශයෙන් සලකා බැලීමේදී මහජනයාගේ නීතිවිරෝධී වැඩ ද සැහැසි ක්‍රියාවන්හි වර්ධනයක්ද මහජන ආයතන ගිනිතැබීම් ද වාර්තා වෙයි. බන්ධනාගාර සිරකරුවන් අතර ගැටුම් ද පලායෑම් ද වාර්තා වනු ඇත. මගීන් 100ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් රුගත් ගුවන් යානයක් හදිසි කඩාවැටීමක්, ගිනිගැනිමකට ලක්වීමක් ද වේ. නවතම රෝගී තත්ත්වයක් මෙන්ම උණ රෝගය පැතිර යාමක් ද වනු ඇත.

මීළඟට ඔබට

මේෂ - සතුන්ගෙන් පීඩා

ඔබට යහපත් ඵල අත්නොවන කාලයක් වනු ඇත. නිවසේදී මෙන්ම මහපාරේදීද ගමන් කිරීමේදී සතුන්ගෙන් යම්කිසි පීඩාවක් විය හැකි බැවින් පරිස්සම් වන්න. ඔබට යම්කිසි ආකාරයක සතුරු උපද්‍රවයක් පැවතියද එම උවදුරු මර්දනය කරගත හැකි කාලයක් ද වනු ඇත.

වෘෂභ - වාහන ගනුදෙනු

භූමියෙන් ලැබීම් ඇතිවන කාලයක් වේ. විරුද්ධ ලිංගික ආකර්ශනයට ලක්වනු ඇත. වාහන ගනුදෙනු සඳහා ද ශුභය. තම ධනය ආරක්ෂා කරගෙන කටයුතු කිරීමට පෙළඹෙන කාලයක් ද වේ.

මිථුන - දරුවකුට ජය

නව රැකියා අපේක්ෂා බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවන අතර තම දරුවකුගේ ජයග්‍රහණයක් අත්කර ගන්නාවූත් කාලයකි. සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න ද මඟහැරී යනු ඇත.

කටක - සේවා උසස්වීම්

තාක්ෂණික කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වන අතර, නිර්මාණශීලී අදහස් ද ජනිත වන කාලයක් වේ. සේවා උසස්වීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ද ඉෂ්ඨ කරගත හැකිවනු ඇත.

සිංහ - ශරීර පීඩා

ඔබට එතරම් යහපත් වකවානුවක් නොවනු ඇත. මිතුරන්ගෙන් ද ප්‍රශ්න ඇතිවන කාලයකි. රථවාහන ධාවනයේදීත් මහමඟ ගමන් කිරීමේදීත් පරිස්සම් විය යුතුය. හදිසි ශරීර පීඩා ඇතිවීමට ඉඩ වැඩිය.

කන්‍යා - සමගියට බාධා

පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවන කාලයක් වේ. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ද අයහපත් බලපෑම් ඇතිවනු ඇත. ලියවිලිවලට අත්සන් තැබීමේදීත් කල්පනාකාරී විය යුතුය.

තුලා - අපහසු දේ ලැබේ

ඔබට අයහපත් නොවනු ඇත. ඔබට එරෙහි සතුරු උපද්‍රව මර්දනය කරගත හැකි කාලයක් වේ. යම්කිසි දෙයක් ඔබට ලබාගත නොහැකිව පැවතියේද, එම දේ ලබාගත හැකිවන්නාවූත් කාලයක් ද වේ.

වෘශ්චික - රිය ගනුදෙනු

විරුද්ධ ලිංගික ආකර්ශනයට ලක්වනු ඇත. හදිසි කේන්ති ගති ඇතිවිය හැකි කාලයක් බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. හදිසි ශරීර පීඩාද මතුවන අතර, රථවාහන ගනුදෙනුවලට යහපත් කාලයකි.

ධනු - ඉඩකඩම් ලැබේ

ඔබට අයහපත් නොවනු ඇත. ඉඩකඩම් ලබාගැනීමටත් උරුම හිමිකම් ලබාගැනීමටත් යහපත් වන කාලයක් වේ. සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මඟහැරී යනු ඇත. පවුල් දිවියේ සමගිය පළුඳු විය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න.

මකර - සතුරන් පසුබසී

තාක්ෂණික හා කාර්මික අංශවල නිරතවී සිටින අයට යහපත් ශුභ ඵල අත්වන කාලයක් වේ. සහෝදර සහෝදරියන් සමඟ මතභේද ඇතිවන කාලයකි. ඔබට එරෙහිව පැවති සතුරු බලවේග මර්දනය කරගත හැකිවන කාලයක් ද වේ.

කුම්භ - ආර්ථික වාසි

ඔබගේ දේ රැකගෙන කටයුතු කිරීමට පෙළඹෙන කාලයක් වේ. ආර්ථික වාසි ද අත්වනු ඇත. යම් යම් කටයුතු සඳහා ඉදිරිපත්වීම් ද කරනු ඇත. හදිසි ශරීර පීඩා මතුවිය හැකි බැවින් පරිස්සම් විය යුතුය.

මීන - ඉඩකඩම් ගැටලු ..... 

හදිසි ලැබීම් ඇතිවන කාලයක් වේ. පවුල් දිවියේ ප්‍රශ්න ඇතිවිය හැකි බැවින් දුරදිග බලා කටයුතු කළ යුතු කාලයක් වේ. ඉඩකඩම් පිළිබඳ ප්‍රශ්න මඟහැරෙන කාලයක් ද වේ.

රාජ්‍ය නැකැත් කමිටු සාමාජික
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර් යේෂණායතනය
28 ඔලබොඩුව ගෝනපල