2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

මහ පොළොව සෙලවී ගිලා බසී

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 327

2020 සැප්තැම්බර් 23 වැනි බුධ දින රාහු තමාට ප්‍රථම රාශි භවන වූ සිකුරුට අයත් වෘෂභ රාශියට උදේ 10.43ට පිවිසෙයි. රාහු වෘෂභ රාශියෙහි රවිට අයත් වූ කැති නැකතේ දෙවන තුන්වන හතරවන පාදවලත් සඳුට අයත් රෙහෙන නැකතේ සම්පූර්ණවත් අඟහරුට අයත් පුවසිරස නැකතේ ප්‍රථම දෙවන පාදවලත් 2022 අප්‍රේල් මාසයේ 12දා දක්වා බලවත් ගමනක යෙදෙනු ඇත.

රාහු වෘෂභ රාශිගතවීම අප රටට ඇතිවන්නා වූ බලපෑම පිළිබඳව විමසා බලමු.

රජය විසින් අත්හැර දමන ලද ඉඩම්වල වගා කටයුතු ආරම්භ කිරීමක් සිදු කරන වකවානුවක් වුවද හදිසි කාලගුණික බලපෑම් මත කෘෂිභෝගවලට හානිවීම් සිදුවන කාලයක් වේ. පතල් ආශ්‍රිත අනතුරැ ද වාර්තා වන අතර භූමියේ සෙලවීමක්, හදිසි ගිලා බැසීමක් හෝ නායයෑමක් ද සිදුවෙයි. ඉඩම්වල වටිනාකම පහත වැටෙන කාලයක් ද වේ. රංගන ක්ෂේත්‍රයේ නියැලි නළු නිළියන්ට මාරක විපත් ද ඇතිවන අතර, මෙම වකවානුව තුළ කුඩා ළමයින්ට හදිසි අනතුරුවලින් සිදුවන මාරක වර්ධනය වනවා ඇත. මේ නිසා දෙමාපියන් දැඩි අවධානයෙන් සිටිය යුතු වේ. රට තුළ උණ ආදී රෝගාබාධයක්ද බෝවන කාලයක් වේ. රජයට සම්බන්ධ මහජන නියෝජිතයකුට මෙන්ම ප්‍රධානියකුට ද මාරක ගෙන දෙන වකවානුවක් වේ.

මේෂ - දියුණුවට බාධා
ඔබට අයහපත් නොවනු ඇත. නමුත් යම් යම් පුද්ගලයන්ගෙන් තම දියුණුවට බාධා ඇතිකරනු ඇත. තම ධනය ආරක්ෂා කරගෙන කටයුතු කිරීමට පෙළඹෙන අතර, පවුල් දිවියේ සමගිය ගොඩනැගේ. උදරය ආශ්‍රිත පීඩාවක් මතුවනු ඇත.

වෘෂභ - රැකියා ලැබේ
දුර ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවන අතර, හදිසි කේන්ති ගතිද මතුවන්නාවූත් කාලයක් වේ. නව රැකියා අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන අතර, මුත්‍රා රෝගාබාධවලින් පීඩා විඳින අය පරිස්සම් විය යුතුය.

මිථුන - ආගමට නැඹුරුව
යම් යම් කටයුතුවලට පැවතියාවූ බාධා දුරුවී යන අතර ඉතිරි කර ගැනීමට බාධා ඇතිවන කාලයක් ද වේ. ආගමික කටයුතු වෙනුවෙන් වෙහෙස වී වැඩ කරන අතර, ඔබට එරෙහිව පැවති සතුරු උපද්‍රවයක් අනාවරණය කරගත හැකිවනු ඇත. යම් ආරංචියක් නිසා බියට පත්වන්නට ඉඩ ඇත.

කටක - ලිංගික බැඳීම්
ඔබ විසින් සිදුකරන්නා වූ සියලු කටයුතු ඉතා කල්පනාකාරීව කළ යුතු අතර, ඔබ විසින්ම කළ දෙයක් හේතුවෙන් ගැටලු ඇතිවිය හැක. විරුද්ධ ලිංගික බැඳීම්ද ඇතිවන අතර, මිතුරන්ගෙන් ප්‍රශ්න ඇතිවන කාලයක් වනු ඇත. දුර ගමන් ද යෙදෙන වකවානුවකි.

සිංහ - ස්ථාන මාරු
සේවා ස්ථානයෙන් මාරුවක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි වේ. ඉඩකඩම්, රථවාහන මිලදී ගැනීමටත් තම උරැම හිමිකම් ලබාගැනීමටත් යහපත් වන කාලයක් වේ. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට පාඩුවීම් ඇතිවන අතර, පවුල් දිවියේ සමගියට බාධාවීම් මතුවේ.

කන්‍යා - තාක්ෂණයට හොඳයි
ආගමික කටයුතු වෙනුවෙන් වැඩි වශයෙන් කාලය යොදවන අතර, තාක්ෂණික කටයුතුවල නිරතව සිටින අයට සුබ කාලයක් වේ. ඔබට එරෙහිව පැවති සතුරැ උපද්‍රව පරාජය කරගත හැකි වෙයි. කෙටි ගමන් යෙදෙන වාර වැඩිවනු ඇත. තම පවුලේ සහෝදර සහෝදරියන් සමඟ මතභේද ඇතිවන අතර, ඇට හා හන්දිපත් පීඩා ද ඇතිවන කාලයක් වේ.

තුලා - වචනයේ බලය
තම තැන්පත් ධනය වර්ධනය කරගත හැකි කාලයක් වේ. තම වචනයේ බලයට අන් අයව නතු කරගත හැකි වේ. විරුද්ධ ලිංගික බැඳීම් ඇතිවන අතර, පවුල් දිවියේ සමගිය ඇතිවනු ඇත. යම් යම් කටයුතුවලින් ඔබට ප්‍රයෝජන ගැනීමට යාමේදී ඒවායින් අත්වන ඵලය අඩු කාලයක් ද වේ.

වෘශ්චික - කේන්ති වැඩියි
පවුල් දිවියේ සමගිය ඇතිවන කාලයක් වන අතර, හදිසි කේන්ති ගති පාලනය කරගෙන කටයුතු කළ යුතුය. විවිධ අදහස් ඇතිවන අතර, උරැම හිමිකම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ද ඉෂ්ඨ වන කාලයක් වේ.

ධනු - උදර පීඩා
යම් යම් බොරු ආරංචි හේතුවෙන් බියට පත්වීම් වනවා ඇත. කාර්මික කටයුතුවල මෙන්ම ආරෝග්‍යශාලාවල සේවය කරන අයට සුබ ඵල අත්වනු ඇත. පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන අතර, උදර පීඩාවක් මතුවනු ඇත.

මකර - සතුරන් මර්දනය
තම ලැබීම් හා තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට උත්සාහ දරන කාලයක් වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයට තම උත්සාහයේ තරමට ඵල අඩුවෙන් ලැබෙනවා ඇත. පවුල් දිවියේ පැවති ප්‍රශ්න මගහැරී යන අතර, ඔබට එරෙහිව පැවති සතුරු උපද්‍රව මර්දනය කිරීමටද හැකිවනු ඇත.

කුම්භ - කලබල වැඩියි
මෙම වකවානුව තුළ ඔබ තරමක් කලබලකාරීව හැසිරෙන අතර, පදිංචි ස්ථානයේ හෝ වෙනත් ඔබගේ දේපලක් සම්බන්ධව යම් යම් ගැටලු ඇතිවිය හැකි කාලයක් ද වේ. සේවා ස්ථානයේ පැවති ගැටලු මගහැරී යන අතර, විරුද්ධ ලිංගික බැඳීම් ද ඇති සමයකි.

මීන - බොරු ආරංචි
ඔබට එරෙහිව පැවති සතුරු උපද්‍රව මර්දනය කරගත හැකි කාලයක් වේ. අන් අයගෙන් උදව් ලබාගත නොහැකි වනවා ඇත. යම් යම් දේ වලින් ප්‍රයෝජන ගැනීමට යාමේදී ඒවායින් ලැබෙන ප්‍රයෝජන ද අඩුවන කාලයක් වේ. බොරු ආරංචියක් හේතුවෙන් බියට පත්වන කාලයක් වේ.

රාජ්‍ය නැකැත් කමිටු සාමාජික,
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය,
රේණුක වික්‍රමසිංහ,
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණායතනය,
ඔලබොඩුව, ගෝනපල.