ආසියාතික රටවල කාන්තාවන් පංච කල්‍යාණය කෙරෙහි දක්වන්නේ විශාල උනන්දුවකි. ඡවි කල්‍යාණය, දන්ත කල්‍යාණය, මාංශ කල්‍යාණය, කේෂ කල්‍යාණය හා වයඃ කල්‍යාණය යන මෙම කල්‍යාණයන්ගෙන් පිරිපුන් කාන්තාව සැබැවින්ම සුන්දරය.
මෙම කල්‍යාණයන් අතරින්ද ඡවි කල්‍යාණය, එහෙමත් නැත්නම් සම ගත්විට එයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ ඕනෑම පුද්ගලයකුගේ මූලිකවම දර්ශනය වන්නේ සම වන නිසාය. සම අලංකාරව පවත්වා ගැනීම සඳහා පුරාතනයේ පටන්ම කාන්තාවන් විවිධ ක්‍රම අනුගමනය කළ අතර ආයුර්වේදීය ප්‍රතිකාර ක්‍රම මේ අතරින් ඉදිරියෙන්ම පැවතියේය. පැහැපත් හා සුවපත් සමක් පවත්වා ගැනීම සඳහා ඇති ආයුර්වේදීය ක්‍රමවේදයන් පිළිබඳව අප අද සාකච්ඡා කරන්නට සිතුවේ මේ සම්බන්ධයෙන් කාන්තාවන් පමණක්ම නොව, පුරුෂයන්ද වැඩි වශයෙන් උනන්දුවක් දක්වන බැවිනි.
අපේ වෙදකමෙන් අද අපව දැනුම්වත් කරන්නේ නාවින්න ආයුර්වේද පර්යේෂණායතනයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩී.එච්. තෙන්නකෝන් මහතායි.
සම යනු අපගේ සිරුරේ විශාලතම ඉන්ද්‍රියයි. ශරීරයේ ඇති අනෙකුත් අභ්‍යන්තර ඉන්ද්‍රීන් වසා පවතින්නේ සමෙනි. ආයුර්වේදයට අනුවත් බටහිර වෛද්‍ය ක්‍රමයට අනුවත් සම සිරුරේ අපද්‍රව්‍ය ඉවත් කරන ඉන්ද්‍රිය වන අතර සම හරහා දහඩිය පිටකිරීම සිදුවේ. ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන ප්‍රධානතම ඉන්ද්‍රිය වන්නේද සමය. එසේම සම මගින් සිරුරට හැඩයක්ද ලබාදේ.
සම විවිධයි
සිරුරේ ඒ ඒ ස්ථානයට අනුව මෙන්ම ඒ ඒ පුද්ගලයාට අනුවද සමෙහි ස්වභාවය වෙනස් වේ. එනම් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇත්තේ වෙනස්ම වූ සමකි. එක් පුද්ගලයකු ගත්විට ඔහුගේ හිසේ සමෙහි ඇත්තේ කෙස්ය. අතුල් හා පතුල්වල සම යම් ගොරෝසුභාවයක් ගනී. මුහුණේ සම සිනිඳුය. මෘදුය. සම පරිසරයට නිරාවරණය වී තිබීම නිසා නොයෙක් ආකාරයේ උපද්‍රව සඳහා පහසුවෙන්ම ගොදුරැ විය හැකි අතර සම රැකගැනීමට නම් කුමන හෝ ක්‍රියාමාර්ගයක් වෙත යොමුවිය යුතුය.
ඔබේ සම නිරෝගීද?
සමට බලපාන ඕනෑම හේතුවක් නිසා සම රෝගී විය හැකිය. වැටීම්, තැලීම්, කැඩීම්, කෙටීම්වලින් සම රෝගී වන්නාසේම අධික සූර්ය කිරණද සමට උපද්‍රව ගෙනදෙයි. මීට අමතරව සිරුරේ අභ්‍යන්තර දෝෂ නිසාත් හටගත හැකි සමේ රෝග ඇත. ඒවානම් ඉන්නන්, ලප කැළැල්, කුෂ්ඨ, දද ආදියයි. මේ අනුව සමේ යම් රෝගී අවස්ථාවක් නැති කෙනකු නොමැති තරම්ය. සමේ යන්තම් හෝ අවපැහැ ගැන් නොවුණු කෙනකුද නොමැති තරම්ය. සමෙහිද යම් කාන්තිමත් බවක් ඇත. එය හැඳින්වෙන්නේ කම්ප්ලෙක්ෂන් (Complexion) යනුවෙනි. සමේ තෘප්තිමත් බව රැකගැනීම සඳහා සමේ පිත් කොටසද රැකගත යුතුය. පිත් කොටස භාජක පිත යනුවෙන් හැඳින්වේ. සමේ කාන්තිය ඇතිවන්නේ එය නිසියාකාරව ක්‍රියාත්මක වුවහොත් පමණකි. ඒ අනුව සමේ වර්ණයද ආරක්ෂා කරගත හැකිය.
ලප කැළැල්වලින් තොර නිරෝගී සමකට
සම රුකගැනීමේදී මුහුණේ පමණක් නොව, මුළු සිරුරේම සම ගැන අවධානය යොමුකළ යුතුය. වැටීම්, තැලීම් ආදියෙන් ඇතිවන තුවාල නිසා සමේ කැළැල් ඇතිවිය හැකි අතර එලෙස ඇතිවන කැළැල්වල වර්ණය සමේ වර්ණයට වඩා වෙනස් වේ. ස්වර්ණකරන ප්‍රතිකාර ක්‍රමය නිවැරදිව කිරීම හරහා එම කැළැල් තත්ත්වය වළක්වාගත හැකිය.
ඇහිබැම මත තුවාලයක් ඇතිවූ විටෙකදී එහි රෝම ඇති නොවේ. එලෙසම සමහර තුවාල සමේ වලවල් මෙන්ද ඇතිවිය හැකි අතර ස්වර්ණකරන ප්‍රතිකාරය හරහා මෙම සියලුම අවස්ථාවන් මඟහරවාගත හැක. එනම් මෙම ප්‍රතිකාරය හරහා ඇහිබැමේ රෝමකූප වර්ධනය කරගැනීමත්, සමේ ඇතිවූ වලවල් සම මට්ටමට ගෙන ඒමත් සිදුකළ හැකිය. මෙහිදී මතක තබාගත යුතු කරුණ වන්නේ මෙම ප්‍රතිකාර නිවැරදිව දන්නා අයකුගෙන් නිවැරදි ආකාරයෙන් සිදුකර ගැනීමයි.
සමේ රෝග
සම දුර්වර්ණ වීම, කුෂ්ඨ රෝග, පොරෝසීස්, සුදුකබර, මුහුණ ආශ්‍රිත ලප කැළැල්, ඉන්නන් සම ආශ්‍රිතව ඇතිවන රෝග අවස්ථාවන්ය. පොරෝසීස් රෝගයේදී සම ගැලවී පොතු හැලීයාමක් සිදුවන අතර රූපලාවන්‍ය ශිල්පීන් හට මෙයට ප්‍රතිකාර කරන්නට අපහසුය. මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.
ඉන්නන් ඔබට ගැටලුවක්ද?
බොහෝවිට ඉන්නන් ඇතිවීම සාමාන්‍යයෙන් සැලකෙන්නේ පරම්පරාගතව එන්නක් ලෙසයි. මවුපියන්ගේ සම මත ඉන්නන් ඇත්නම් එය දරුවන්ටද බෝවීමට බොහෝ ඉඩකඩ ඇත. ඊට අමතර වියපත් වීමත් සමඟම බෙල්ල, පිට ආදී ප්‍රදේශවල පොඩි පොඩි ඉන්නන් ඇතිවීමටද පුළුවන. ගැබිනි මව්වරුන්ගේත් මෙම තත්ත්වය ඇතිවිය හැකි අතර කැල්සියම් ඌනතා ඒ සඳහා හේතුවිය හැකිය.
විද්‍යුත් උපකරණ භාවිත කිරීමෙන් ඉන්නන් පිළිස්සීම සිදුකළද කාලයකදී එය නැවතත් ඇතිවීමට පුළුවන. එබැවින් බීමට ඖෂධද ලබාදිය යුතුය. ඉන්නන් ඉවත් කිරීම සඳහා භාවිත කරන ඖෂධ විෂ සහිත නිසා නොදැනුවත්කමින් ප්‍රතිකාර කිරීමට යාමෙන් ඇස් අන්ධ වීම, මුහුණට හානිවීම ආදිය සිදුවීමට පුළුවන. එබැවින් මෙම ප්‍රතිකාර තනියම ගෙදරදී සිදුකරගත නොහැක.
කම්මුල් දෙපස ලප ඇතිවීම
කම්මුල්වල ලප ඇතිවීම අද කාන්තාවන් සම ආශ්‍රිතව මුහුණදෙන තවත් ගැටලුවකි. සාමාන්‍යයෙන් මුහුණ සුදු කාන්තාවන්ගේ මෙම තත්ත්වය වැඩිපුර කැපීපෙනෙන අතර සමෙහි ඇති මෙලනින් වර්ණකය මෙම තත්ත්වය සඳහා බලපාන නිසා මෙවැනි කාන්තාවන් අව්වේ යාමේදී කුඩයක් රැගෙන යාමට විශේෂයෙන්ම කටයුතු කළ යුතුය. එසේම වැඩිපුර වතුර පානය කිරීම, විටමින් වර්ග නිසියාකාරව ගැනීම ආදියද සිදුකළ හැකිය.
මේ සඳහා නිවසේදීම කළ හැකි ප්‍රතිකාරයක් වන්නේ සුවඳ කොට්ටන් කැබැල්ලක් එළකිරෙන් ගලගා ආලේප කිරීමයි. සිතේ ඇතිවන මානසික තත්ත්වයද මේ සඳහා බලපාන නිසා සිත සැහැල්ලුවෙන් තබාගැනීමද වඩා වැදගත්ය.
ඇස් වටා කළුපැහැවීම රෝගයක්ද?
ඇස් වටා කළුපැහැවීම ද සමේ පැහැපත් බව අඩුකරන තවත් කාරණාවකි. මෙය වැඩිපුරම දක්නට ලැබෙන්නේ ඇසේ යටි ඇසිපියට පහළිනි. ඇස් වටා ඇති මෘදු පටකයන්ට හොඳ රුධිර සම්පාදනයක් නොමැති වීමෙන් මෙම තත්ත්වය ඇතිවන අතර අධික ලෙස නිදිමැරීම, ඇස් වෙහෙසීම, එකදිගට වැඩි වේලාවක් පරිගණකය දෙස බලා සිටීම, පීනස වැනි රෝග තත්ත්වයන් මේ සඳහා හේතු වේ. ඇස් වටා කළුපැහැ ගැන්වීමට අමතරව ඇස් ඇතුළට ගිලායාමක්ද මෙහිදී සිදුවිය හැකිය.
මේ සඳහා ප්‍රතිකාර කිරීමේදී මුලින්ම සොයා බැලිය යුත්තේ ඇස් වටා කළුවීමට බලපෑ හේතු පිළිබඳවය. අනවශ්‍ය ලෙස නිදිමැරීම නතර කිරීම, එකදිගට පරිගණක ආශ්‍රිත ක්‍රියා නොකිරීම මෙන්ම සෙම්රෝග සඳහා ප්‍රතිකාර කිරීමද මෙහිදී වැදගත් වේ.
ඇස් වටේ කළුපැහැවීම සඳහා තෙල් සාත්තුවක්ද සිදුකළ හැකි අතර එය සිදුකළ යුත්තේ සෙම්රෝග නොමැති අවස්ථාවලදීය. මීට අමතරව ඇස්වට පත්තුවක් ආලේප කිරීමටත් හැකියාවක් ඇති අතර වෙනිවැල්ගැට, කොකුම් පොතු, අරළු ගලගා ආලේප කිරීම මෙහිදී සිදුකෙරේ. එම ප්‍රතිකාරය මගින් ඇස් යට කළුවීම නවතී. මෙම ප්‍රතිකාර සිදුකරන අවස්ථාවන්වලදී ඔබේ අතේ ඇඟිලිවල පිරිසුදුකම පිළිබඳවත්, ගලගෑමට යොදාගන්නා උපකරණ, වතුර ආදියෙහි පිරිසුදුකම පිළිබඳවත් සැලකිලිමත් වන්න.
ඇස් ආශ්‍රිතව ඇතිවන තැලීම් නිසාද ඇස් අවට නිල්පැහැ ගැන්වී තිබිය හැකි අතර හදිසි අනතුරක් වැනි තත්ත්වයකදී ඇතිවන තත්ත්වයක් හමුවේ කූඩැල්ලන් භාවිත කර සිදුකරන ප්‍රතිකාර ක්‍රම හරහා යහපත් ප්‍රතිඵල අත්කරගත හැක. මේ සඳහා පළපුරුදු වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි.
සම රැලිවැටීමට විසඳුමක්
වයසට යනවිට සමෙහි දක්නට ලැබෙන ප්‍රධානම ලක්ෂණය නම් සම රැලිවැටීමයි. මෙය ස්වභාවිකවම සිදුවන්නක් වන අතර ඖෂධීය තෙලක් භාවිත කිරීම මගින් මෙම තත්ත්වය අවම කරගැනීමේ හැකියාව ඇත. මීට අමතරව තරබාරුව සිටි ඇතැම් පිරිස් ගන්නා සමහර ඖෂධ මගින්ද අනවශ්‍ය ලෙස කෙට්ටු වී සම රැලිවැටීමේ තත්ත්වයක් මතුවිය හැකිය. මෙය අහිතකර තත්ත්වයකි. එබැවින් කෙට්ටුවීමේ අදහසින් හිතුමතේට ප්‍රතිකාර ලබාගැනීම සිදුනොකළ යුත්තකි. මුහුණ සම්බාහනය කිරීම හරහා මුහුණේ ඇතිවී තිබෙන රැලිවැටීම් නතර කරගත හැකි අතර එම සම්බාහනය වුවද නිවැරදිව කරගත යුතුය. වැරදි ලෙස සම්බාහනය කිරීමෙන් අනවශ්‍ය රැලිවැටීමක් වුවද හටගත හැක.
අසාත්මික දේවලින් හැකිතාක් මිදෙන්න
ඡවි කල්‍යාණයට බලපෑම් කළ හැකි තවත් කාරණාවකි අසාත්මිකතාවය. අපේ සම රැකගැනීමට නම් අපගේ සිරුරට අසාත්මික වන දේ සම්බන්ධයෙන්ද අපි අවධානයක් යොමුකළ යුතුය. ඒ අනුව සමේ වැඩිපුර අසාත්මිකතා ඇතිවන දේවලින් හැකිතාක් ඈත්විය යුතුය. අප ගන්නා ආහාර මෙහිදී වැදගත් වන අතර වරක් අසාත්මික (ඇලජික්) වූ ආහාර නැවත ලබාගැනීම සිදුනොකළ යුතුය. එපමණක්ද නොව, අපගේ ඇවතුම් පැවතුම්ද නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යා යුතුය. යම් පුද්ගලයකු රෑට නෑම නුසුදුසු නම් එම පුද්ගලයා රෑට නෑමෙන් වැළකී සිටිය යුතුය. එසේම පීනස්, ඇදුම වැනි රෝගවලින් පෙළෙන්නේ නම් පූසන්, බල්ලන් වැනි සුරතල් සතුන් ළඟට ගෙන සුරතල් කිරීමෙන්ද වැළකී සිටිය යුතුය.
පැහැපත් සමකට ස්වේද හෙවත් දුම් ඇල්ලීම
මුහුණ පැහැපත් කරගැනීම සඳහා විවිධ ආයුර්වේදීය ප්‍රතිකාර ක්‍රම යොදා ගතහැකි අතර දුම් ඇල්ලීමද ඉන් එක් ක්‍රමයකි. මෙහිදී ඖෂධීය ද්‍රව්‍ය මිටක් හෝ දෙකක් ගෙන වතුර පයින්ට් 1කට මිශ්‍රකර තම්බා ගැනීමෙන් පිටවන වාෂ්පයට මුහුණ ඇල්ලීම සිදුකළ හැකිය. මූඩිය වැසූ මුට්ටියක මෙම ද්‍රව්‍ය තම්බා යෝග්‍ය ස්ථානයක තබා මූඩිය ඉවත් කළ විට පිටවන වාෂ්පයට මුහුණ ඇල්ලීම මෙහි වඩාත් නිවැරදි ක්‍රමයි. මෙම ක්‍රියාවේදී රෙද්දකින් මුහුණද ඇතුළුව හිස ප්‍රදේශය රෙද්දකින් ආවරණය කරමින් විනාඩි 5ක් පමණ දුම් ඇල්ලීම ප්‍රමාණවත්ය. මෙහිදී මුහුණ තබාගත යුත්තේ අඩියක්, අඩි එකහමාරක් පමණ දුරකිනි. මේ සඳහා ඖෂධ ලෙස සුදුහඳුන්, වැල්මී, දොඩම් ලෙලි, දස මූලවලට අයත් ඖෂධ ආදිය භාවිත කළ හැකිය. මෙම ප්‍රතිකාරය මගින් සමේ පවතින අපවිත්‍ර ද්‍රව්‍ය ඉවත්වීමෙන් සමට හොඳ රුධිර සම්පාදනයක් ලැබේ. මෙහිදී සමේ සිදුරු හොඳින් විවෘත වීම නිසා සමට තවත් ප්‍රතිකාරයක් කරන්නේ නම් ඒවා උරාගැනීම පහසු කරයි. දුම් ඇල්ලීම සතියකට වරක් හෝ දෙවරක් සිදුකළ යුතු අතර දිනපතා දුම් ඇල්ලීමෙන් සම වියළි ස්වභාවයකට පත්වීමට පුළුවන.
සමෙහි තෙත් බව වැදගත්
පුද්ගලයාගෙන් පුද්ගලයාට සමේ ස්වභාවය වෙනස් වන අතර මේ සෑම වර්ගයකම සමක් සඳහා තෙත් ගතිය තිබීම අවශ්‍යය. කෙනකුට ස්වභාවයෙන්ම තෙල් සහිත සමක් පිහිටියද එම සමෙහිම තෙත් ගතිය ආරක්ෂා විය යුතුය. එමගින් සමට බැක්ටීරියා ඇතුළු වීම වළකී. විෂබීජ, දුම්, දූවිලි ආදියට ප්‍රතිරෝධයක් ඇති කරයි. සමෙහි තෙත් ගතිය ආරක්ෂා කර ගැනීමට කෘත්‍රිම ආලේපන භාවිතයට වඩා ස්වභාවික ද්‍රව්‍යයන්ගෙන් සකසා ගත් මොයිස්චර්රයිස් වඩාත් සුදුසු වේ.
හේමමාලා කුමාරි රාජකරුණා