2020 ජුලි 11 වන සෙනසුරාදා

මහ මඟ අනතුරු වැඩිවේ

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 186

ග්‍රහ මණ්ඩලයේ රජු වූ සූර්යා ජල රාශියක් වූ කටකයට 2020 ජූලි මස 16 වැනි ගුරු දින උදේ 10.47ට පිවිස 2020 අගෝස්තු මස 16 වැනි ඉරු දින රාත්‍රී 7.11 දක්වා කටකයේ ගමන් කරනු ඇත.

මෙම වකවානුව අප රටට එතරම් යහපත් ඵල උදා නොකරන කාලයක් වේ. විශේෂයෙන් මහ මඟ ගමන් ගන්නා අය ඉතා ප්‍රවේශම් විය යුතු අතර, මාරක රිය අනතුරැ, හදිසි විපත් වැඩිවන බව කිව යුතුය. රට තුළ වසංගත රෝග තත්ත්ව වර්ධනය වන අතර, උණ ආශ්‍රිත රෝග ප්‍රචලිත වීමත් සිදුවේ. බන්ධනාගාර පිළිබඳ අශුභ පුවත් ලැබෙන අතර, ආරෝග්‍යශාලාවල සිදුකෙරෙන වංචනික ක්‍රියා ද වාර්තා වන කාලයක් වනු ඇත. රට තුළ අපරාධකරැවන්ගේ ක්‍රියාකාරකම් වැඩිවීමක් සිදුවිය හැකි බැවින් අදාළ අංශ ඒ ගැන අවධානය යොමුකළ යුතු වේ. කාර්මික අංශවල ප්‍රගතියක් ද, නිර්මාණකරැවන්ට යහපත් ඵල ද අත්වනු ඇත.

විදේශීය වශයෙන් බැලීමේදී මගීන් රුගත් විදේශ යාත්‍රාවක් අනතුරට පත්වන අතර, භූමිය ආශ්‍රිතව සිදුවන අනතුරැ, විපත්, ජලගැලීම්, නායයෑම් වැඩිවන කාලයක් වේ. රාජ්‍ය නායකයකුට මාරක අපල ද ඇතිවීමට ඉඩ වැඩිය. තවදුරටත් උණ ආශ්‍රිතව ප්‍රචලිත වන රෝගී වසංගත වර්ධනය වන වකවානුවක් වේ. 

මේෂ - අනුන්ගේ ප්‍රශ්න තමාට

සේවා ස්ථානයේ ගැටලු ඇතිවුවද ඒවා මඟහැරී යන නමුත් හිතේ ප්‍රශ්න ඇතිවනවා ඇත. පිටස්තර අයගේ ප්‍රශ්නවලට මැදි නොවී සිටිය යුතු වන්නේ ඒවා තමාගේ පිටින් යන කාලයක් වන නිසාය.

වෘෂභ - අධ්‍යාපනයට යහපත්

තාක්ෂණික කටයුතුවල නිරත වී සිටින අයට මෙන්ම දේශපාලනයේ යෙදෙන අයට ද යහපත් වන කාලයක් වේ. දුරගමන් යෙදෙන අතර, අධ්‍යාපන කටයුතුවලින් ද ඵල අත්කරගත හැකි වකවානුවකි.

මිථුන - හිසේ රෝග

යම් යම් කටයුතුවලට නොබියව ඉදිරිපත් වන කාලයක් වේ. තම උත්සාහයේ තරමට ඵල අත්කරගත නොහැකි වනවා ඇත. තම අයිතිය රැකගෙන කටයුතු කිරීමට පෙළඹෙන අතර, හිසේ හා ඇස් ආශ්‍රිත පීඩා මතුවනු ඇත.

කටක - හදිසි ලැබීම්

අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වන අතර, හදිසි ලැබීම් ද ඇතිවන කාලයක් වේ. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වෙයි.

සිංහ - ශරීර පීඩා

ඔබගේ කටයුතුවලට අයහපත් බලපෑම් ඇතිවන අතර, ගමන් වලින් ශරීර පීඩා ඇතිවන කාලයක් වේ. සිතේ සහනය අඩුවන අතර ඇස් ආශ්‍රිත පීඩා ද ඇතිවනු ඇත.

කන්‍යා - කැපී පෙනේ

දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. සාර්ථක දුරගමන් යෙදෙන කාලයක් වන අතර, අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වනු ඇත. සමාජසේවා කටයුතුවල නිරත අයට ද ශුභ ඵල අත්වේ.

තුලා - නව රැකියා

සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මඟහැරී යනු ඇත. පිටස්තර ගැටලුවලට මැදි නොවී සිටිය යුතු අතර, ඒවා තමා වෙත එල්ල විය හැකිය. නව රැකියා බලාපොරොත්තුවක් ද ඉෂ්ඨ වනු ඇත.

වෘශ්චික - සාර්ථක ගමන්

තාක්ෂණික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වනු ඇත. උසස් අධ්‍යාපනයේ යෙදී සිටින අයට ද ශුභ වනු ඇත. සාර්ථක කෙටිගමන් ඇතිවේ.

ධනු - ආර්ථික අපහසුතා

ගමන් බිමන් වලින් පරිස්සම් විය යුතු කාලයක් වන අතර, හදිසි ශරීර පීඩා ඇතිවනු ඇත. තමාගේ උත්සාහයේ තරමට ඵල අත්නොවනු ඇත. ආර්ථික අපහසුතා ද ඇතිවන කාලයක් වේ.

මකර - අනුන් හා මත ගැටුම්

ඔබගේ කාලාත්‍රයාට හදිසි ශරීර පීඩා ඇතිවන කාලයක් වේ. සැඟවුණු සතුරැ පීඩා මර්දනය වන කාලයකි. දුරගමන් යෙදෙන අතර, අන් අය සමඟ මතභේද ඇතිවන කාලයක් ද වේ.

කුම්භ - සතුරන් පසුබසී

ඔබගේ පැවති සතුරු උපද්‍රව දුරැකරගත හැකි කාලයක් වේ. දුරගමන් යෙදෙන අතර, හදිසි ශරීර පීඩා ද, ඇස්වල පීඩා ද මතුවන කාලයක් වේ.

මීන - දේශපාලනයට හොඳයි

යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ඇතිවන කාලයක් වන අතර, දේශපාලනයේ නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. හිතමිතුරන්ගෙන් උදව් උපකාර ද අත්වනු ඇත.

රාජ්‍ය නැකැත් කමිටු සාමාජික
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව ගෝනපල