2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

විඳවන හදවත්වලට

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

කලාභවන ඉස්සරහා පාර දිගේ මම ඇවිදින්න කැමතියි. ඒ පාරෙ හොඳට හෙවණ තියෙනවා වගේම යකඩ වැට දිගේ එල්ලලා තියෙන විවිද වර්ගයේ චිත්‍ර බල බලා යද්දී හැමදේම අමතක වෙනවා. ඒ නිසා මම කොහොමත් ඔය පාරෙන් යන්නෙ පයින් මයි. එකම චිත්‍ර ශිල්පියෙක් ඇන්ද එකම විදිහෙ චිත්‍ර වුණත් ඒ හැම එකක්ම එකකට එකක් වෙනස්. එක චිත්‍රයක තියෙන පින්සල් පාරක් අනෙක් චිත්‍රයෙ ඒ විදිහටම නෑ. ඒත් බැලු බැල්මට පේන්නෙ එක වගේම චිත්‍ර කියලා. චිත්‍ර හරියට මිනිස්සු වගේ හුඟක් සමානකම් තිබුණත් එකිනෙකට වෙනස්. හැම කෙනෙක්ටම සුවිශේෂීතාවයක් uniqueness එකක් තියෙනවා. මිනිස්සුන්ගෙ ලස්සන තියෙන්නෙ මේ සුවිශේෂීතාවය නිසා කියලා මට හිතෙනවා. ඒ වගේම හැම චිත්‍රයක් පිටිපස්සෙම, හැම වර්ණයක පිටිපස්සෙම නිශ්චිතවම නොවුණත් එකිනෙකට වෙනස් කතන්දර තියෙනවා. ඒ කතාව හැඟීම් ගොන්නක එකතුවක්. ඒ හැඟීම් ගොන්න.. ඒ කතාව තේරුම් ගන්න නම් චිත්‍රයත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. බලාගෙන ඉන්න ඕනෙ. හරියට මිනිස්සු වගේ සම්බන්ධකමේ තරමට තමයි අනෙකාගේ ගැඹුර හොයාගන්න පුළුවන් වෙන්නෙ. 

දවසක් මම ඔය විදිහට පාර දිගේ යනගමන් ලස්සන චිත්‍රයක් ගාව නතරවුණා. ලස්සන මනුස්ස රූපයක්. මම තව ළංවෙලා බැලුවා. ඇත්තටම ඒ රූපෙ අමුතු ලස්සනක් තිබුණා. මනුස්සයෙක් ඈත බලාගෙන කල්පනා කරනවා. අතේ දුම් නගින සිගරට් එකක්. පොත් කීපයක්. ඈතින් මුහුද. පැහැදිලි අහස. කැඩුන සපත්තු ඔහු බොහෝදුර ඇවිද්ද බව පෙන්නුවා. මුහුණේ ඇඳුන තෘප්තිමත් සිනාව. මේ හැමදේකින්ම චිත්‍රය හුඟක් ලස්සන කළා. මම තවත් ළංවෙලා බැලුවා. චිත්‍රය පුරාවටම තියෙන්නෙ විසිරුන රේඛා, වර්ණ පැල්ලම්, පින්සල් පාරවල් ගොඩක් විතරයි. ඇත්තටම ලස්සන රූපයක් ගෙඩනැගිලා තියෙන්නෙ ලස්සන සුමට කොටස් වලින් නෙමෙයි. ඇද, කැත, අපිළිවෙළ පැල්ලම් වලින්. "මල්ලි, පේන්ටින් එකක් ගන්නද?" චිත්‍ර ගොඩට ටිකක් එහාට වෙන්න වාඩිවෙලා පොතක් කියවමින් හිටපු මැදිවියේ චිත්‍ර ශිල්පියා කියවමින් හිටපු පොතේ පිටු අතරට ඇගිල්ලක් තියාගෙන මා ගාවට එන ගමන්ම ඇහුවා. "අනේ නෑ අයියෙ. මම හැමදාම මෙතනින් යන ගමන් චිත්‍ර බලනවා." "ආ එහෙමද?" "මේ පේන්ටින් එක හුඟක් ලස්සනයි. ඒකයි ළඟට ඇවිත් බැලුවෙ." "ආ.." එක ස්වරයකින් ඔහු උත්තරයක් දුන්නා. 

"ඇතට ලස්සනට පෙනුනට ළඟට ආවහම පේන රූපෙ හුගක් වෙනස්. "ඔහු යන්තම් හිනාවුනා. මම කිව්වෙ ගොන් කතාවක් කියලා මට හිතෙද්දී ඒක කියලා ඉවරයි. කිසිම දෙයක් කියන්නෙ නැතුව මගේ මූණ දිහා බලාගෙන හිටපු ඔහු, "හැම සොල්දාදුවෙක්ම තමන්ගෙ කැලැල් ගැන ආඩම්බර වෙන්න ඕනෙ මල්ලී. මොකද ඒ කැලැල් තමයි තමන් සටන් කළා කියන එකටත් පාරාදවෙන්න නැතිව තමන් ජීවත්වෙනවා කියන එකටත් තියෙන සාක්කිය. හැම මිනිහෙක්ම තමන්ට ආවේණික වුණ සටනක් කරනවා. ඒ සටන කරන තෘප්තිමත් මනුස්සයෙක්ව අඳින්න තමයි මම උත්සහ කළේ. ඉතින් ඈතින් බලද්දී ලස්සන රූපයක් වගේ පෙනුනත්, ළංවෙලා බලද්දි කොච්චර කැලැල් තියෙනවද? ඒ හැම තුවාලයක්ම සනීපෙට දැනුණ ඒවා නෙමෙයි. 

හුඟක් රිදවපු, කෑ ගහලා අඬවපු තුවාල. තුවාල වෙද්දී සතුටු වෙන්නෙ නෑ. අද වීරයන් වුණාට ඒ හැම මිනිහම කොයියම් මොහොතක හරි දුර්වල වුණා, අධෛර්ය වුණා. සටන අතඅරින්න ඕනෙ කියලා හිතපු අවස්ථා අනන්තවත් ඇති. මුල්ලකට වෙලා, හැංගිලා අඬන්න ඇති. උන් වැරදි තීරණ අරගෙන මෝඩ වැඩ කරලා තියෙනවා. වෙනස තියෙන්නෙ උන් ඒ හැම දේකින්ම ඉගෙන ගත්තා. පොත පතින් කියා නොදුන්න දේවල් ජීවිතෙන් ඉගෙන ගත්තා. නොනැවතී ඉස්සරහටම ගියා. ඒ මිනිස්සු හැමෝම පිළිගත්තෙ නෑ. ප්‍රතික්ෂේප කළා. කොන්කළා. පිස්සො කියලා කිව්වා. කුරුසවලට තියලා ඇණ ගැහුවා. මිනිහෙකුට කරන්න පුළුවන් අන්තිම පහත් දේවල් පවා ඔවුන්ට කළා. ඒත් ඒ හැම තැනකදිම තමන් ගැනත්, මේ විශ්වය විසින් තමන්ට දීලා තියෙන අරමුණ විශ්වාස කරගෙන ජීවිතේට මුණදුන්නා. සටන අතහැරලා මැරිලා ගිය මිනිස්සුන්ට වඩා මේ මොහොතේ තෘප්තිමත්ම හැඟීම තියෙන්නෙ හැම වේදනාවම දරාගත්ත මිනිස්සුන්ට විතරයි. එහෙම මිනිස්සු මේ ලෝකෙ ඕන තරම් ඉන්නවා. උන් හැමෝම කැලැල් සහිත මිනිස්සු. යහපත් සටනේ සටන් කරපන් මල්ලී. එතකොට කැලැල් ගැන උඔ කවදා හරි ආඩම්බර වෙයි.

♦ චන්දිම කාරියවසම්