2020 මාර්තු 14 වන සෙනසුරාදා

14 වැනිදා සිට වසරක් පුරා රටේ දුර්භික්ෂයක්

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 186

දෙදහස් විස්සේ මාර්තු දාහතර වෙනිදා (ඊයේ) පෙරවරු 11.53ට රවි ග්‍රහයා මීන රාශියට සම්ප්‍රාප්ත විය. එවිට නැගෙනහිර ක්ෂිතිජයේ වෘෂභ රාශිය උදාවී තිබුණි. එහි අටවැන්නේ කුජ-ගුරැ තැන්පත් වෙද්දී දහවැන්න බුධ, නැප්චූන් විසින් දූෂණය කරනු ලබයි. මේ නිසා රටපුරා දැවැන්ත පීඩාකාරී තත්ත්වයක් නිර්මාණය කරනු ඇත.

ඕනෑම ආගමක පූජ්‍ය පක්ෂය පීඩාවට පත් කරන්නට ගුරැ ග්‍රහයා අටවැන්නේ සිටිමින් ක්‍රියා කරයි. ඒවාගේම ධනවතුන්ට, බැංකු අධිපතීන්ට, රාජකීයයන්ට මාරක පීඩාවන් මතු කරනවා ඇත. තත්කාල කේන්ද්‍රයේ මාරක අටවැන්නේ කුජ-ගුරැ පීඩාව රාහු-කේතු අක්ෂයේ වීම නිසා මෙකී අශුභ තත්ත්වයන් කුමන්ත්‍රණකාරී ස්වරැපයක් ගනු ලබනවාද ඇත.

නමවැන්නේ පිහිටි සෙනසුරා නැප්චූන්ට සහ කුජට මැදි වී පාපකාරී වන්නේය. මෙම පිහිටීම දියඹේ යාත්‍රාවලට අශුභ ඵල උදාකරනවා ඇත. නැව්, ඔරැ, පාරැවල සිදුවන සමූහ මිනිස් ඝාතන, ගිනි විපත්ති තුළින් සමාජයේ ලොමුදැහැ ගැන්වී බියකරැ ස්වභාවයක් මවන්නට සෙනසුරැ බලවේගය ක්‍රියාකරනු ලබනවා ඇත.

තත්කාල කේන්ද්‍රයේ රවි ග්‍රහයා එකොළොස් වැන්නේ තැන්පත් වී සිටී. එවිට ඔහු යුරේනස්ට සහ නැප්චූන්ට පාපකාරී වන්නේය. ඒ වාගේම සතුරැ සෙනසුරැගේ දෘෂ්ටියෙන් පීඩාවන්නේය. කුජගේ දෘෂ්ටියෙන් හෙම්බත් වන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ගේ පමණක් නොව රටපුරා පවතින පුංචි පාර්ලිමේන්තු පවා නොසන්සුන් වීමේ පසුබිම් නිර්මාණය වන්නේය.

සිකුරැ ග්‍රහයා කේතුගේ දෘෂ්ටියද ලබාගෙන යුරේනස් සමඟ වැයස්ථාන ගතවී සිටී. රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනවල සේව්‍ය සේවක ගැටලුවක් මවන්නට මෙම ග්‍රහ පිහිටීම විසින් ක්‍රියාකරනු ලබන්නේය. මේ නිසාම කම්කරැ අරගලයක් දියත්වීමේ පසුබිමක් ගොඩනැගෙනවා ඇත.

පොදුවේ ගත් විට හිංසනය භීෂණය මතු වී පාතාලය හිස එසවීමේ අවදානමක්ද මතුවන්නේය. ආහාරපාන අහේනියක ආරම්භය පවා 2020 මාර්තු 14 වෙනි දින සිට ප්‍රබල ලෙස උත්සන්න වී වර්ෂයක් පමණ ඉදිරියට බලවන්ත වෙනවා ඇත. දුර්භික්ෂයක උදාවක් නිසා ආහාර මෙන්ම ජලයද හිඟ වී යාමෙන් රටපුරා තැන තැන සත්වයින් පවා මැරී වැටෙනවා ඇත. ඒ අතර ගිනි විපත්ද බහුල වෙනවා ඇත.

විශාලා මහනුවර තුන්බිය හටගත්තා සේ සමස්ත දිවයිනම භීතියෙන් වෙලීයාමේ අවදානම මතුවෙයි. භෞතිකවාදීන්ගේ කුරිරැ අදහස් උදහස් කරපින්නා ගන්නා අකුසල් පිරි ජනතාව ආගම දහම ප්‍රතික්ෂේප කරමින් සිට වැළලී යාමේ පසුබිමක් නිර්මාණය වනවා ඇත.

ඒ නිසා තුන්වෙනි ඇස අවදි කරන ජ්‍යොතිෂ ශාස්ත්‍රයද බුදුන් වහන්සේ පවා අනිමිස ලෝචනය කළ බෝධි වෘක්ෂයද, ත්‍රිවිධ රත්නයද අග්‍රස්ථානයේ ලා තබාගෙන ධර්මය රකින මනුෂ්‍යයකු බවට පත්වී ධර්මය මගින් ආරක්ෂාවන කෙනෙකු සේ බබලන්නට ඔබටද ආරාධනා කරමු. එහිදී රතන සූත්‍රයද, අටවිසි මහා පිරිතද, ජයමංගල ගාථාද, සූරිය පිරිතද, චන්ද පිරිතද මුල්කර ආරක්ෂක පිරිත් දේශනා කර ගනිමින් ඔබටත් පවුලේ සැමටත් විශ්ව ආරක්ෂාව සළසා ගන්නට උත්සාහ කිරීම මැනැවි.