2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

කොරෝනා පාලනයට මගක්

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 120

සිකුරු අඟහරුට අයත් මේෂ රාශියට 2020 පෙබරවාරි මස 29 වැනි දින පාන්දර එක පසුවී විනාඩි 33ට පිවිස 2020 මාර්තු මස 28 වන ශනි දින සවස තුන පසුවී විනාඩි 39 දක්වාම එම මේෂ රාශියෙහි ගමන් කරනු ඇත.

සිකුරු මේෂ රාශිගත වීම නිසා අප රටට ඇතිවිය හැකි බලපෑම පිළිබඳව විමසා බැලීමේදී වැඩකරන ජනතාවට ශුභ ඵල ගෙන දෙන කාලයක් බව කිව යුතුය. චිත්‍ර ශිල්පියකුට මෙන්ම ග්‍රන්ථ කර්තෘවරයකුට ලෙඩ රෝග මෙන්ම මාරකද ඇතිවීමක් සිදුවන කාලයක් වේ. වන්දනා හා විනෝද චාරිකා පිරිස් රැගත් වාහන අනතුරට පත්වීමෙන් සිදුවන ජීවිත අනතුරැද බහුල වනවා ඇත. රටතුළ විවාහ වීම් ප්‍රමාණය වැඩි වන සමයකි. ස්ත්‍රීන්ට එරෙහිව සිදුවන අපරාධ ක්‍රියාවන්හි වර්ධනයක්ද පෙන්නුම් කෙරේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් අතර පක්ෂ මාරැවීම් සිදුවන කාලයකි.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු සම්පාදනය වන කාලයකි. විවිධ හිංසක ක්‍රියා මෙන්ම අපරාධ ක්‍රියාවල වර්ධනයක්ද සිදුවෙනවා ඇත. රංගන ශිල්පීන්ට ගෞරවයක් ප්‍රශංසාවක් හිමිවන අතර විදේශීය රාජ්‍ය සමග සහයෝගීතාවයන් වර්ධනය කර ගැනීමටද හැකිවේ. මරණ සංඛ්‍යාව ඉහළ යාමක් පෙන්නුම් කරන නමුත් රටවල් කිහිපයක පැතිර යන්නාවූත් කොරෝනා වෛරසය මර්දනය කිරීමට පාලනය කිරීමට හැකි වන්නාවූත් ක්‍රමවේදයක් සොයාගන්නට හැකිවෙන බව පැවසිය යුතුය.

මේෂ - ආර්ථික වාසි

ඔබගේ උත්සාහය මත කටයුතු රුසක් සාර්ථක බවට පත් කරගන්නාවූත් කාලයක් වේ. ආර්ථික වාසි අත්වන අතර අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට ඔබව පත්වනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වීම පමාවනු ඇත.

වෘෂභ - මුදල් පාඩු

ඔබගේ කටයුතුවලට විවිධ බාධා ඇතිවනු ඇත. පවුල් දිවියේද ප්‍රශ්න මතුවන කාලයක් වේ. විශාල වශයෙන් මුදල් යොදවා කටයුතු කිරීමේදී ප්‍රවේසම් විය යුතු අතර විශාල මුදල් පාඩු අත්විය හැක.

මිථුන - මුතු මැණික් එළියට

ඔබට යහපත් ඵල අත්වන අතර භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ඉතා ශුභවෙයි. පතල්වලින්ද මුතු මැණික් හිමිවන කාලයකි. හවුල් කටයුතුවලින්ද හිත මිතුරන්ගෙන්ද උදව් උපකාර අත්වනු ඇත. අන් අය අතර ජනප්‍රිය වනු ඇත.

කටක - හොඳ හිත මෝදුවේ

සේවා ස්ථානයේ අන් සේවකයන් සමග හොඳ හිත වර්ධනය වනු ඇත. අලුතින් ඉඩමක් වාහනයක් මිලදී ගැනීමට යහපත් වන කාලයක්ද වේ. අලුත් හිත මිතුරන් දැන හැඳින ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

සිංහ - කෙටි ගමන්

විරැද්ධ ලිංගික ආකර්ෂණයට ලක්වන අතර කලා කටයුතුවල මෙන්ම නිර්මාණශීලී කලාවේ නිරත වී සිටින අයට ශුභඵල ගෙන දෙන කාලයක්ද වේ. සාර්ථක කෙටි ගමන් යෙදෙන වකවානුවකි.

කන්‍යා  - යාන වාහන

ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා ඇතිවන කාලයක් වන අතර ආර්ථික දුෂ්කරතාද පැනනැගී අලුතින් ඉඩමක් හෝ වාහනයක් මිලදී ගැනීමටද යහපත් වෙනවා ඇත.

තුලා - මංගල සීනු

ඔබගේ කලත්‍රයාට හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි කාලයක් වේ. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වන අතර පවුල් දිවියේ සමගිය වර්ධනය වන අතර හවුල් කටයුතුවලින්ද ඵල අත්වනු ඇත.

වෘශ්චික - සෙම් රෝග

ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශ්වවලින් බාධා ඇතිවන අතර කෙටි ගමන් යෙදන කාලයකි. පවුල් දිවියේ සමගිය වර්ධනය වන අතර ශරීරයේ සෙම් රෝග පීඩාවන් ඇතිවනු ඇත.

ධනු - දේශපාලනයට හොඳයි

විරැද්ධ ලිංගික ආකර්ෂණයට ලක්වන කාලයක් වේ. කලා කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල අත්වන අතර දේශපාලනයේ නියැලෙන අයටද ශුභ වේ. ඔවුන් අතිශයින් ජනප්‍රිය වනවා ඇත.

මකර - වාහන ලාභ

අලුතින් ඉඩමක් හෝ වාහනයක් මිලදී ගැනීමට යහපත් වන කාලයක් වේ. හිතේ සතුට ඇතිවන අතර සේවා ස්ථානයේද අනිකුත් සේවකයන් සමගද හොඳහිත වර්ධනය වනු ඇත.

කුම්භ - උදව් උපකාර

නිර්මාණශීලී කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වන අතර ඔවුන්ගේ නිර්මාණශීලී අදහස් කළඑළි බසිනවා ඇත. අන් අයගෙන් උදව් උපකාර ලැබීමට හිමිකම් තිබේ. දේශපාලනික කටයුතුවල නිරත වී සිටින අයටද ශුභඵල අත්වනු ඇත.

මීන - ආර්ථික වාසි

පවුල් දිවියේ සමගිය වර්ධනය වන අතර ආර්ථික වාසිද අත්වනු ඇත. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වය ටපත්වන අතර සේවා ස්ථානයේද අනිකුත් සේවකයන් සමග සුහදත්වය වර්ධනය වෙයි.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල