2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

රට කණපිටෙන් හොඳ පිටට

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 118

ග්‍රහ බලය පුදුමය. වරෙක මනුසතා මෙන්ම රටක් රාජ්‍යයක් කණපිට යවයි. නැවත හොඳ පිටට ගනී. වර්තමානය ශ්‍රී ලංකාවටද එසේමය. මෙතෙක් කල් රටටම මුදල් අර්බුදයක් තිබුණේය. එහෙත් ඒවායේ ගැඹුරැ පීඩාව හැංගී හැංගී වෙස්මූණු බැන්දා වාගේය. මේ වනවිට ඒකපුද්ගල ආදායම වාගේම රටේ ජාතික ආදායමද බිංදුවට බැස ඇති බව ප්‍රචලිතය. ඒකත් හරියටම එකී හැංගි බැඳි වෙස්මූණු එළිපිට නටනවා වාගේය.

මීට විසඳුම් දෙන්නට ග්‍රහ බලය විසින්ම පිඹුරුපත් සකසමින් සිටී. 2020.02.13 වැනිදා ප.ව.03.02ට රවි ග්‍රහයා සෙනසුරැ හිමි කුම්භයට මාරැවී ගියේය. එවිට මතුවූ තත්කාල ලග්න කුණ්ඩලියේ හත්වැන්නේ දිග් බලයෙන් සෙනසුරා තැන්පත්ව සිටියේය. සිකුරා බලයෙන් නමවැන්නේ සිටියදී චන්ද්‍රයා කන්‍යා රාශි ගතවිය.

දේශයට මුදල් ගලාගෙන ඒමේ නවතම ක්‍රම උත්පාදනය වන්නේය. විදේශ ණය මෙන්ම ආධාර ඊට බලපානවා ඇත. දේශීය නිෂ්පාදන සම්බන්ධයෙන් විදේශීය මෙන්ම දේශීය වෙළෙඳපළක් නිර්මාණය වනු ඇත. අවශ්‍ය වන්නේ මේ බව දැනගෙන රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශ ක්‍රියාත්මක වීම පමණි. එමෙන්ම උගතුන් බුද්ධිමතුන් ඊට පෙරමුණ ගෙන පෞද්ගලික වශයෙන් තම තමන් යම් යම් උත්සාහයන් ගත යුතුයි.

මෙම ග්‍රහචාරයෙන් එසේ ප්‍රයෝජන ගැනීමට රටත් ජනතාවත් පෙරමුණ ගතහොත් ඒකපුද්ගල ආදායමත් රාජ්‍ය ආදායමත් බලවර්ධනය වී ජාතික ආදායම ඉහළ නංවාගත හැක. තනියෙන් අත්පොඩි ගැසිය නොහැක. ග්‍රහ බලය විසින් තම හස්තය දිගුකළ මේ අවස්ථාවේදී තම හස්තයද දිය කිරීමට ජනතාව වගබලා ගත යුතුයි.

මෙය මෙසේ සිදුවෙද්දී අප්‍රේල් 15 වෙනිදා දක්වාම කාලසීමාව තුළදී රේල්ලුවට හා තැපෑලටත් කණකොකා හඬවන්නට ග්‍රහ බලය දොර විවර කර සිටින බව එකී අංශවල සියලු දෙනාම අවබෝධ කරගත යුතුයි.

ඒ අතරේදී දුම්රිය දෙපාර්තමේන්තුවට මූල්‍ය පාඩුවක් සිදුකරන්නට ග්‍රහ බලය කුමන්ත්‍රණය කරයි. ඉතිහාසගත වන දුම්රිය අනතුරක් මවන්නට ග්‍රහබලය සැළසුම් කරයි. මේවා වළකා ගන්නට දැන් සිටම දුම්රිය බලධාරීන් උත්සුක විය යුතුයි. ඒ විතරක් නොවේ. තැපෑල අවුල් කරන්නටද යුරේනස්, කුජ, සිකුරු, සඳු යන චතුර්ග්‍රහ බලය කටයුතු සම්පාදනය කරමින් සිටී. එම අවදානමද අප්‍රේල් මැද දක්වාම පවතී. මේ පිළිබඳව අවධානය යොමුකර සමස්ත තැපැල් දෙපාර්තමේන්තුව වාගේම ඊට අදාළ අමාත්‍යංශයද සීරැවෙන් සිටීම මැනවි.

ග්‍රහ බලයේ දුබල ශක්තිය නිසා මෙවර වෙනදාටත් වඩා ස්ත්‍රීන් සහ ළමයින් පීඩාවට පත්වෙනවා ඇත. ඒ නිසා දෙමාපියන් තම දූවරැන් කෙරෙහි වැඩි අවධානය යොමුකළ යුතුයි. ස්වාමිපුරැෂවරැන් තම භාර්යාවන්ට නිරන්තර ආරක්ෂාව සළසා දීමට වගබලා ගතයුතුයි. විශේෂයෙන්ම උසස් කුල කාන්තාවන් රැක ගැනීමට රටම උනන්දු විය යුතුයි.

පවතින අපලකාරී තත්ත්වයන් මඟහරවා ගැනීමට තුන් සූත්‍ර දේශනාවද ජය පිරිතද සීවලී පිරිතද සූරිය පිරිතද භාවිත කිරීමට පෙළඹෙනවා නම් යම් යම් සහන සහ ආශීර්වාද සැළසී තම අනාගත අභිවෘද්ධිය සළසා ගත හැක.

ගාල්ලේ - තලගහ - අක්මීමන
සුරාශ්‍රී ගුණවර්ධන
විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා 
පණ්ඩිත ශිරෝමනී