2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

චන්ද්‍ර හා සූර්ය ග්‍රහණ කොරෝනාවට බලපෑවා

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 252

විවිධ කාලවලදී මනුසතා සමඟ තිරිසනා ද ගහ කොළද විවිධ විපත්තිවලට ගොදුරැ වෙයි. වර්තමාන ලෝක ප්‍රජාවම උණ විපත්තියක් වසංගතයක් ලෙස පැතිරී යාම නිසා භයංකර තත්ත්වයකට මේ වනවිට පත්වී සිටී. ශ්‍රී ලංකාවට ද එම භීතියෙන් ගැලවීමට නොහැක. නමුත් ශ්‍රී ලංකාවට මෙවැනි විපත්තිවලදී පිහිටක් ලබාගැනීමට ආගම ධර්මය මෙන්ම ගුප්ත ශාස්ත්‍ර පිළිවෙත් ද අනුගමනය කරගත හැකි බව නොරහසකි.

මෙවැනි කෙටි ලිපියකින් උණ වසංගතයට ජ්‍යොතිෂ දැක්ම සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කළ නොහැක. එහෙත් කෙටියෙන් හේතුව දක්වමින් ගතයුතු ආරක්ෂිත පියවර පිළිබඳ ජ්‍යොතිෂ මතානුකූලව මෙන්ම සම්මා සම්බුද්ධ දේශනාවට පරිදි සහනයක් සළසා ගැනීමේ ක්‍රමවේදය හඳුන්වා දීමයි මෙම ලිපියේ අරමුණ.

සූර්ය ග්‍රහණ සහ චන්ද්‍ර ග්‍රහණ සිදුවීම නිසා පෘථිවියට චන්ද්‍ර - සූර්ය දෙදෙනාගේ පීඩිත බලපෑමක් එල්ල වන බව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. එම ග්‍රහණය සිදුවීමට ගතවන කාලය - තත්කාල ලග්නය - ග්‍රහණය සිදු වූ රාශිය - ග්‍රහණය සිදු වූ නැකත - එමෙන්ම ග්‍රහණය සිදුවූ තත්කාල දෙර්කාණය ආදිය ඇසුරැ කරගෙන මිනිස් සමාජයේ කුමන කුමන අංශවලට කොපමණ කාලයක් පුරාවට මොන විදිහේ විපතක් ගෙනෙන්නේදැයි ප්‍රකාශ කළ හැක.

වර්තමාන විපත්තිකාර උණ වසංගතය පමණක් නොව හදිසි අනතුරු - කල කෝලාහල, රාජ්‍ය නායක මරණ පවා පසුගිය ග්‍රහණ හේතු කොට ගෙන සිදු වූ බව සිහිපත් වේ.

මිථුන - තුලා - කුම්භ යන වායු ත්‍රිත්වයේ රාශිවලදී ග්‍රහණය සිදු වූ විට සාගතයක් - මාරාන්තික රෝග භීතියක් - පැතිරී යන වසංගතයක් - පරිසරය වෙලාගන්නා සුළි කුණාටු ආදියෙන් ජනී ජනයා විපතට පත්වීම නියමයි.

ඒ වගේම මෙම ග්‍රහණය සිදුවීමට ගත වූ කාලය අනුව ප්‍රථිඵලය දින ගණනකින් - මාස ගණනකින් - අවුරැදු ගණනකින් ආදී ලෙස ක්‍රියාත්මක වීම ඉඩ වැඩිය. සූර්ය ග්‍රහණය අවුරුදු ගණන්වලින්ද මනු ග්‍රහණය මාස ප්‍රමාණවලින්ද ගණනය කෙරේ.
2019.07.17 වැනිදා චන්ද්‍ර ග්‍රහණයක් සිදුවිය. එය සිදුවූයේ තත්කාල කුම්භ ලග්නයෙනි. 2019.12.26 වැනිදා සූර්ය ග්‍රහණයක් සිදුවිය. එයද තත්කාල කුම්භ ලග්නයෙන් සිදුවිය. 2020.01.11 දින සිදු වූ චන්ද්‍ර ග්‍රහණයක් ද තත්කාල තුලා ලග්නයෙන් සිදුවිය.

මෙම ග්‍රහණවල තත්කාල ලග්න වායු රාශිවලින් සිදුවිය. එමෙන්ම චන්ද්‍ර ග්‍රහණවල දෙර්කාන දෙවැනි දෙර්කානයට අයත් විය. ප්‍රතිඵලය වූයේ වසංගතයක් සමාජගතවීමය. මෙවර එය කොරෝනා ලෙස ව්‍යාප්ත වෙමින් පවතී.
2019.01.06 වැනිදා මකර ලග්නයෙන් සූර්ය ග්‍රහණයක් සිදුවිය. වර්ෂ ගණනාවකට එම සූර්ය ග්‍රහණය අනිෂ්ඨ ප්‍රතිඵල ලැබෙන එකක් විය. එය මකර රාශියේ ප්‍රථම දෙර්කාණයෙන් සිදුවූ අතර සෑම අතින්ම කරදර ගෙන දෙන පීඩාකාරී ග්‍රහණයක් ලෙස ක්‍රියාත්මක වෙයි.

මෙම ව්‍යසනවලින් බේරීමට පිළියම් නැද්ද? අතිසාර්ථක පිළියම් ඇත. චන්ද්‍ර ග්‍රහණ සූර්ය ග්‍රහණ සිදුවන විට මිනිසුන්ට පමණක් නොව ග්‍රහ දෙවි දේවතාවුන් වහන්සේලාට පවා ඉන් මිදීමට බුදුරජාණන්වහන්සේ ක්‍රමවේද හඳුන්වා දී ඇත.
ග්‍රහ විපත්තිවලින් සූර්ය චන්ද්‍ර දෙදෙනාට පවා මිදීමට සූරිය පිරිත මෙන්ම චන්ද්‍ර පිරිත දේශනා කිරීමට වරක් බුදුරජාණන් වහන්සේට සිදුවිය. මෙවැනි භයංකර කාල සීමාවන් මතුවන බව දැනගන්නා පැරණි ශ්‍රී ලාංකිකයා ග්‍රහණයක් සිදු වනවිට එවැනි පිරිත් දේශනා කර ගත්තේය. එවිට තමනුත් තම අඹු දරුවනුත් - ගහකොළත් - හරකා බානත් - සතා සීපාවත් ආරක්ෂා විය.

එමෙන්ම දරුණු උණ වසංගත පැතිරී යනවිට ජ්වර - පිරිත, වට්ටක පිරිත දේශනා කර ගත්හ. උණ වසංගතය වැළඳීමෙන් ඔවුහු බේරැනහ. වර්තමානයේදී අප දිවයිනේ ඈත ප්‍රදේශවල පමණක් නොව විදේශගතව සිටින හිතමිතුරන් පවා මෙවැනි රෝගවලට ගොදුරු වූ විට ඔවුන්ගේ නම කියමින් එකී පිරිත් වාතලයට මුසුකර ඇත. තුන් වේලෙන් උණ බැස ගියේය. මෛත්‍රී භාවනාව වඩා ඔබත් මෙය අත්හදා බලා විනාශයට පත්වන ජීවිතයක් බේරා ගැනීමට පෙරමුණ ගන්න. ඔබේ ආරක්ෂාව ද සලසා ගන්න.

ගාල්ලේ - තලගහ - අක්මීමන
සුරාශ්‍රී ගුණවර්ධන
විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා 
පණ්ඩිත ශිරෝමනී