2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

බුදුන් උපන් මාලවී යෝගය

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 3012

කිසියම් ජන්මියෙකු මීන ලග්නයෙන් ජන්ම දායාදය ලබා මීන රාශිය සිකුරු ග්‍රහයාගේ උච්ඡ රාශියද වී ඒ මොහොතේම ලග්නයේ අනෙකුත් ග්‍රහයන්ගෙන් තොරවෙමින් සිකුරු එතැනම යෙදීමෙන් මාලවී යෝගය ලැබීමේ අවස්ථාව උදාවේ. 

තවද ජන්මියා කන්‍යා ලග්නයෙන් ඉපදුණු විට හත්වැනි රාශිය මීන රාශිය වන්නේය. තවද සිකුරු ග්‍රහයා ද එම මීන රාශිය වෙයි. සිකුරු ග්‍රහයා එම මීන රාශියේ හත් වැන්නේ උච්ඡක්ෂේත්‍රව සිටීම ද මාලවී යෝගය ජනිත වීමකි.

ලොව නව තාක්ෂණයේ විද්‍යුත් ශක්තීන් හී ආකර්ෂණ බලය සුබවාදී වී සුබ ග්‍රහයෝගයන් ජන්මියාට උදා කරන්නා සේ අසුබවාදී වූ විට අසුබ ග්‍රහයෝගයන් ජන්මියාට උදාකරවන බව විශේෂයෙන් මතකයට නැගිය යුතු වේ. මාලවී යෝගය පංච මහා පුරැෂ ලක්ෂණවලින් එකක් වන්නේය. ගෞතම බුදුරජාණන් වහන්සේ උත්පත්තිය ලැබුවේද පංච මහා පුරුෂ ලක්ෂණවලින් එකක් වූ මෙම මාලවී යෝගය ද තුරැළු කරගෙනය. කෙසේ වෙතත් මාලවී යෝගය ලබා සුබවාදී ග්‍රහයෝගයන් නිසා බැබලුණු ජනතාවාදී නායකයින් මෙන්ම උතුමන්ට ද අසුබ ග්‍රහයෝග යෙදීමෙන් කරදර කම්කටොලුවලට මුහුණදීමට සිදුව ඇත.

මාලවී යෝගය කිසියම් ජන්මියෙකුට උරුම වූයේ නම් ඔහු හෝ ඇයට ප්‍රභූන්ගේ හා උතුමන්ගේ ගරු සැළකිලි තාන්න මාන්න එමට ලබන්නට වාසනාව පෑදෙන්නේය. කෙත්වතු, භවභෝග ඉතා සශ්‍රීක ලෙස ලබන්නට මාලවී යෝගය යෙදුණු ජන්මියා සමත් වේ. තමා වෙසෙන සමාජයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ගරුබුහුමන් ලැබීමේ ඉමහත් වූ භාග්‍යය ලැබීමට සැප සම්පත් ආධ්‍ය කර ගැනීමට ද ඔවුහු වාසනාවන්තයෝ වෙති. මෙම ජන්මීන්ගේ කතා විලාශයන් මෙන්ම අඟපසඟද අන්‍යයන් ආකර්ෂණය කිරීමේ නැතහොත් වශීකෘත කිරීමේ හැකියාවද උදා කෙරේ. මාලවී යෝගය යෙදුණු ජන්මිහු නිදහස් පරිසරයක නිවිහැනහිල්ලේ නිවහල්ව ජීවත්වීමට දැඩි ලෙස ප්‍රිය කරති. මෙම ජන්මීන්ට මිනිසුන් වශීකෘත වන්නේය. එසේම පිරිස් බලය ඔවුන් වටා රොක් වේ. නිතරම ප්‍රනීත ආහාර පානවලට, රසයට ප්‍රිය වන්නේය. මොවුන්ට මිතුරන් අඩු නැත. මිතුරියන් ද වැහි වැහැලාය. එසේම කෙළි බිමට, කෙළි සෙල්ලම්වලට ආශාව දක්වති. මෙම යෝගය යෙදුණ විට ජන්මීන් රාගයෙන් මත්වන අවස්ථා ද දැකිය හැකිය. එසේම කාමෝද්දීපනය වන ලෙස හැඟීම් දනවයි. කොටින්ම කියතොත් සෙසු ග්‍රහයින්ගේ යම්කිසි මැඩ පැවැත්මක් නොතිබුණහොත් අසුබවාදීව ජන්මියා තම ජීවිතය පරදුවට තබා කෙළිසෙල්ලම්වල නිරත වෙයි. මාලවී යෝගයෙන් උපන් ජන්මියා තම ජීවිතය ඉතා වාසනාවන්ත කර ගැනීමට සමත්කම් දැක්වුවද අනෙකුත් ග්‍රහයින්ගේ චිත්ත පීඩාවට, පීඩනයට ලක්නොවී සිටියහොත් පමණක් සුබවාදීව වාසනාව කරපින්නා ගත හැකි වන්නේය.

කිසියම් ජන්මියෙකු ජන්ම දායාදය ලබා ජන්න්ද්‍ර, ලග්නය, හතර, හත, දහය යන්නා වූ කේන්ද්‍රස්ථානයක බලවත්ම සිකුරැ ග්‍රහයා සිට එනම් උච්ඡක්ෂේත්‍රව එසේත් නැතිනම් ස්වක්ෂේත්‍රව යෙදී ඇත්නම් මාලවී යෝගය යෙදී තිබෙන බව සක්සුදක් සේ ප්‍රකාශ කළ හැකිය. මාලවී යෝගය යෙදී තිබුණත් කිසියම් ජන්මියෙකුට අසුබවාදී ග්‍රහචාරයනටද මුහුණ දීමට සිදුවීම වළකාලන්නට නොහැකි වේ.

කිවි ග්‍රහයාගේ බලසම්පන්න තේජෝ බල පරාක්‍රම මහිමය නිසා මාලවී යෝගය යෙදෙන්නේය. ග්‍රහ මණ්ඩලයේ ඉතා ශෘංගාරාත්මකව හැසිරෙන සිකුරු වඩාත්ම ඇලුම් කරන්නේ ජන සමාජයට, සුපිරිසිදු පරිසරයට, ආදර බන්ධනයට, කාමාස්වාදයට සහ විසිතුරැ ඇඳුමට, පැළඳුමටය. මාලවී යෝගය ලබා ඇති ජන්මියාට ඉහත කී ලක්ෂණ සුවිශේෂ වේ.