2020 ජනවාරි 25 වන සෙනසුරාදා

ජනවාරි 28 සිට මාස දෙකක් රටට අපලයි

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 166

ග්‍රහලොව ක්ෂණික විපර්යාස ඇතිකිරීමට සමත් වන්නා වූ නැප්චූන් සමඟ ග්‍රහලොව මනාලිය වූ සිකුරු ග්‍රහයාගේ යුද සංග්‍රාමයක් 2020 ජනවාරි 28 වැනි කුජ දින පාන්දර 1 පසුවී විනාඩි 32ට සිදුවනු ඇත. ඒ කුම්භ රාශියෙහි බ්‍රහස්පතිට අයත් පුවපුටුව නැකතේ ප්‍රථම පාදයෙදීය. සිකුරුද නැප්චූන්ද එකම අංශකයක ගමන් කරමින් ග්‍රහයන් දෙදෙනා එකිනෙකා අභිබවා ගමන් කිරීමට යාම නිසා පීඩාවට පත්ව අයහපත් වූ ග්‍රහ කිරණ පෘථිවියට එල්ල කරනවා ඇත. මෙහි බලපෑම ඉදිරි දින 60ක් යනතුරු බලපවත්වනු ඇත.

මෙම සංග්‍රාමය හේතුවෙන් අප රටට සිදුවන ප්‍රතිඵල සොයා බලමු.

අප රටට මෙම වකවානුව යහපත් ඵල අත්නොවන කාලයක් වනු ඇත. විශේෂයෙන් මෙම ග්‍රහ යුද සංග්‍රාමය සිදුවූ දින සිට දින 60ක් යනතුරැම රට තුළ විවිධ වූ අයහපත් සිදුවීම් ඇතිවීමට ඉඩ වැඩිය. මිනිසුන්ගේ බුද්ධියෙන් තොරව හැසිරීම්ද, අශීලාචාර ක්‍රියාද ඇතිවන අතර, රහසිගත ක්‍රියා, වැඩවර්ජන උද්ඝෝෂණ ක්‍රියා ද ඇතිවන කාලයක් වෙයි. රට තුළ සියදිවි හානිකර ගැනීමේ සිදුවීම්ද වාර්තා වනවා ඇත. ස්ත්‍රීන්ට මෙන්ම දරුවන්ටද මෙය අයහපත් කාලයක් වන අතර, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකළ යුතුය. ඉදිරියේදී මහජනයා රැස්වන ස්ථානවල අයහපත් සිදුවීම් හා භයානක විපත්ද ඇතිවිය හැකි බැවින් අදාළ අංශ ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතුය. කාලගුණික විපර්යාසද ඇතිවිය හැකි අතර, හදිසි ජල ගැලීම්ද, අකුණු ගැසීම් හේතුවෙන්ද, නායයෑම් නිසාද දේපල ජීවිත විනාශ වන කාලයක් වේ. නොසිතූ මොහොතක හදිසි සුළි සුළං හැමීමක්ද ඇතිවිය හැකි අතර, එමගින්ද දේපල හානිවීම් සිදුවනු ඇත.

මීළඟට ඔබට

මේෂ - ප්‍රේමයට බාධා

දේශපාලනික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්නොවනු ඇත. ආර්ථික පාඩුද, ලැබීම් මාර්ගවලට බාධාවීම්ද ඇතිවන අතර, ප්‍රේම කිරීම් පිළිබඳ බාධා ද ඇතිවන්නා වූ කාලයක් වේ.

වෘෂභ - සේවයේ මතබේද

සේවා ස්ථානය ආශ්‍රිතව අනෙකුත් සේවකයන් සමඟ මතබේද ඇතිවන අතර, සේවා ස්ථානය එපාවන කාලයක් ද වන බැවින් කල්පනාකාරීව ඉවසීමෙන් කටයුතු කරන්න. අලුතින් ඉඩකඩම් රථවාහන මිලදී ගැනීම් කිරීමද යහපත් නොවන කාලයක් බව සිහි තබාගන්න.

මිථුන - ආගමට ලැදියි

උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින ඔබට විවිධ වූ බාධා ඇතිවන කාලයක් වේ. නිර්මාණ කටයුතුවලද බාධා ඇතිවනු ඇත. ආගමික කටයුතු වෙනුවෙන් වැඩි වශයෙන් කාලය ගත කරනු ඇත.

කටක - වියදම වැඩියි

ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ගෙන දෙන කාලයක් වේ. තැන්පත් ධනය වියදම් වී යා හැකි බැවින් අනවශ්‍ය වියදම් පාලනය කරගත යුතු වේ. පවුල් දිවියේද සමගියට බාධා ඇතිවන කාලසීමාවක් වනු ඇත.

සිංහ - ව්‍යාපාර පාඩුවට

පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන අතර, පවුල් දිවිය රුකගෙන කටයුතු කිරීමට උත්සාහ කළ යුතු කාලයකි. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ද ලාභ අත්නොවන කාලයක් වන අතර, සැඟවුණු සතුරු පීඩාද ඇතිවනු ඇත.

කන්‍යා - සතුරු උපද්‍රව

ඔබගේ කටයුතුවලට විවිධ අයගෙන් බාධා එල්ල වනවා ඇත. විශාල මුදල් පාඩුද ඇතිවිය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබට සතුරු උපද්‍රව ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු වේ.

තුලා - හවුලට හොඳ නැහැ

කලා කටයුතුවල නිරත වී සිටින අයට බාධා මතුවන අතර, හවුල් කටයුතුවලින්ද ඵල අත්නොවන කාලයක් වනු ඇත. ප්‍රේම කිරීම්වලට විවිධ වූ බාධා ඇතිවන අතර, ඒවා නවතින තත්ත්වයට පත්වන කාලයක් ද වනු ඇත.

වෘශ්චික - පදිංචිය මාරුවේ

ඉඩකඩම්වල ප්‍රශ්න තවදුරටත් ඇතිවන කාලයක් වේ. සිතේ සහනය අඩුවන අතර, සේවා ස්ථානයේද ගැටලු මතුවන කාලයක් වේ. තමා පදිංචි ස්ථානයෙන් වෙනස්ව වෙනත් ස්ථානයකට යාමට අදහස් කරගෙන සිටී නම් එම අපේක්ෂා ඉෂ්ඨ වනු ඇත.

ධනු - පවුලේ මතබේද

නිෂ්ඵල කෙටි ගමන් යෙදෙන කාලයක් වේ. නිර්මාණශීලී කටයුතුවලටද බාධා එල්ලවනු ඇත. පවුලේ සහෝදරියන් සමඟ මතබේද ඇතිවනු ඇත. ලැබීම් මාර්ගවලටද බාධා ඇතිවන කාලයක් වේ.

මකර - සෙම් රෝග

තැන්පත් ධනය රැකගෙන කටයුතු කළ යුතු කාලයක් වේ. තමාගේ කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධා ඇති කරනු ඇත. පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන සිදුවීම් ඇතිවනු ඇත. සෙම් ආබාධ ඇතිවනු ඇත.

කුම්භ - හිසේ පීඩා

ඔබගේ කටයුතුවලට බාධා ඇතිවුවද එම බාධා මැඩගත හැකිවනු ඇත. ශරීර ශක්තියට බාධාවීම් ඇතිවනු ඇත. හිසේ පීඩා වරින්වර මතුවනු ඇත. නිශ්ඵල කෙටි ගමන් යෙදෙන කාලයක් ද වනු ඇත.

මීන - මුදල් පිරිමැසුම්

ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා එල්ලවන කාලයක් වේ. පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන ආකාරයේ සිදුවීම් ඇතිවනු ඇත. විශාල ලෙස මුදල් යොදවමින් කටයුතු නොකළ යුතු කාලයක් ද වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල