2020 ජනවාරි 04 වන සෙනසුරාදා

2020දී අලුතින් උණුවතුර ළිං මතුවේ

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 134

කලකට පසුව උදාවුණේ අපූරුතම වර්ෂයකි. මේ නිසා ශ්‍රී ලංකාවට පෙරලි පිට පෙරලි මතු වෙනවා ඇත. එකී වෙනස්කම් පොදුජන යහපතට පරිවර්තනය කර ගැනීමට නම් සමස්ත රට වැසියාම තම වර්ගයාගේ යහපත මෙන්ම අභිවෘද්ධිය සළසා ගැනීම සඳහා පෞරාණික හෙළයා ජාතිමාමකත්වයෙන් යුතුව භාවිත කළ සියලු ශාස්ත්‍රීය මෙන්ම මානසිකත්ව උපක්‍රමවලට යොමුවීම අත්‍යාවශ්‍යය.

ග්‍රහ යුද්ධ යනු දෙපිට කැපෙන ක්‍රියාදාමයකි. ග්‍රහ යුද්ධයකින් ග්‍රහයෙකු ජය ගත්විට ලෝකායතන ජ්‍යොතිෂයට අනුව එකී යුද්ධ භූමිය නිරීක්ෂණය කරනු ලබන තත්කාල ලග්න කුණ්ඩලියට වැඩි වටිනාකමක් දිය යුතුයි. යුද ජය ලැබූ ග්‍රහයා නිවේදනය කරන ක්ෂේත්‍රවල සංවර්ධනයක් බොහෝ විට අපෙක්ෂා කළ හැකිය. නමුත් පරාජය ලැබූ ග්‍රහයා විසින් මෙහෙයවනු ලබන විනාශකාරී නස්පැත්තිය පිළිබඳව අමතක කළ නොහැක.

2020.01.02 වෙනිදා යුද්ධයෙන් බුධ ග්‍රහයා පරාජය කොට ගුරැ ග්‍රහයා ජය ලබන්නේය. මාර්තු 20 වෙනිදා පවතින යුද්ධයෙන් කුජ ග්‍රහයා පරදා ගුරැ ග්‍රහයා ජය හිමිකර ගනී. අප්‍රේල් 05 වෙනිදා පවතින යුද්ධයෙන් ප්ලුටෝ ග්‍රහයා පරදා ගුරු ග්‍රහයා ජය ලබයි. ජුනි 30 වෙනිදා පවතින යුද්ධයෙන්ද ප්ලුටෝ පරාජය කොට ගුරැ ග්‍රහයා ජය ලබයි. නොවැම්බර් 13 වෙනිදා පවතින යුද්ධයෙන් ද ප්ලුටෝ ග්‍රහයා පරාජය කොට ගුරු ග්‍රහයා ජය ලබයි.

මෙලෙස ග්‍රහ යුද්ධ පහකින්ම ජය ගන්නා ගුරු ග්‍රහයා දෙසැම්බර් මාසයේ 21 වෙනිදා පවතින යුද්ධයෙන් පරාජය වී සෙනසුරැ ග්‍රහයා ජය ලබන්නේය.

මේ නිසා වර්ෂය පුරාවට බුධ - කුජ - ප්ලුටෝ යන ග්‍රහයින් යුද්ධ පරාජයෙන් කුපිත වෙනවා ඇත. මේ අනුව ජනතවගේ තීක්ෂණ නැණ නුවණ මෙන්ම ස්ථානෝචිත ප්‍රඥාව හීනවී ගොස් වැරදි තීන්දු තීරණ ගෙන පසුතැවිල්ලට ගොදුරැ විය හැකි වෙනවාද ඇත.

පරාජයෙන් කුපිත වන ලේ පිපාසිත අඟහරැවා සහ ප්ලූටෝ පරිසරය විකෘති කරන්නට මාන බලන්නේය. ඉඩෝරයක් මවා පොළොව නිස්සාරත්වය ඇතිකරයි. භවභෝග ඵලදාව විනාශ කර දමනවා ඇත. මෙම තත්ත්වය වසර ගණනාවකට පරිහානියක් ගෙනදෙනු ව්‍යසනයක ආරම්භයකි.

මේ නිසා රාජ්‍ය හෝ ස්වේච්ඡා සංවිධාන මැදිහත් වී මානසික විප්ලවයක් සිදුකොට ජනතාවගේ කුසගිනි නිවන රැල්ලක් මැවීම අත්‍යවශ්‍ය වනවා ඇත.

මල් පොච්චිවල හෝ අමු මිරිස් - කොච්චි - මාළු මිරිස් - බණ්ඩක්කා - වම්බටු - දඹල වැනි භෝග වගාවකට ජනතාව පෙළඹවිය යුතුයි.

සමස්ත මනුෂ්‍ය මෙන්ම සත්ව කොටස්වලට කුසට අහරක් සපයන අඹ - වෙරළු - අනෝදා - කොස් - දෙල් - පුවක් වැනි ආර්ථික භෝග වගාවක් මහා මාර්ග දෙපස කේන්ද්‍ර කරගෙන පාසල් - පන්සල් - ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදී ස්ථානද භූමීන් ද ඇතුළුව වගා ව්‍යපෘතියක් වහාම රටට හඳුන්වා දිය යුතුයි.

මෙම ක්‍රමවේදය කෙටිකාලීන සහ දිගුකාලීන වශයෙන් ක්‍රියාත්මක වී තට්ටු මාරු ක්‍රමයට ආණ්ඩු පෙරළා දමන බඩගින්න මට්ටු කරන ක්‍රමවේදයක් බවට පරිවර්ථනය වනු ඇත.

ඉදිරියේදී ඊශ්වර දෙවියන්ගේ ප්‍රබල බලපෑමක් ශ්‍රී ලංකාවට එල්ල වීමට නියමිතය. එම නිසා ඊශ්වර දේව ශක්තිය රටට සාපයක් වන ලෙසට ක්‍රියාත්මක වීමට ඉඩ නොදී එය ආශිර්වාදයක් වන ලෙසට පරිවර්ථනය කර ගැනීමට ජනතා මානසිකත්වය හරවා ගත යුතුයි.

සුදුසු පවුල් තෝරා ගෙන කිරි එළදෙනක නඩත්තු කිරීමට උපදෙස් සහ අනුබල ලබාදිය යුතුයි. මන්දපෝෂණයෙන් දරැවන් ගලවා ගන්නවා වගේම පිළිකා සෛල මවන කෘත්‍රීම පිටිකිරි වර්ග විපතින් ජනතාව මුදවා ගැනීමට එය පිටුවහලක් වනු ඇත.

සඳුගේ නැතක්වල මෙන්ම දෙනට - සියාවස යන නැකත්වල හිමිකරැවන්ද සංවේදී ස්ථානවල විශේෂයෙන්ම පාප ග්‍රහයින්ගේ බලපෑම් එල්ල වීම නිසා ඵල රහිත දේ කෙරේ යොමුවීමට ඉඩකඩ පවතී.

මෙම තත්ත්වය නිසා මනුසිත වල්මත් වීමට පසුබිම් නිර්මාණය වීම වැළැක්වීමට දැඩි වෙහෙස මහන්සියක් ගත යුතු වෙනවාද ඇත. මෙසේ අවැඩදායක දේ කෙරෙහි යොමුවන පිරිස අතර යෞවන යෞවනියක් පෙරමුණ ගනු ඇත. රාහු ග්‍රහ බලවේගය විසින් රටේ ජීවනාලිය විනාශ කර දමන්නට තරුණ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම ගිලගන්නා අලුත් මත්ද්‍රව්‍යයක් සමාජ ගත කරනු ඇත.

බොහෝ විට එය ටොෆි චොක්ලට් එකක් වීමට ඉඩ ඇත. කෙසේ වෙතත් අනවසර මත්පැන් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම වළක්වා ලන්නට රාජ්‍ය ආරක්ෂත අංශ මෙන්ම සමාජ සේවා අංශ බාර ක්‍රියාකාරීන් විසින් නව වැඩපිළිවෙළක් සකසන්නේ නම් මැනවි.
කෙසේ වෙතත් ගුරැට අමතරව බුධ ග්‍රහයා ද ශනි ග්‍රහයාද අවස්ථා කීපයකදීම යුද ජයග්‍රහණය ලැබීම රටේ සහ රටවැසියාගේ යහපතට සිදුවන කටයුත්තක් බව පැහැදිලිය. මේ නිසා සමහරැන්ගේ විකෘති වෙස්මුහුණු ගැලවී යාමේ අවදානමකට ලක්වෙනවාද ඇත.

මේ තත්ත්වය යටතේ බොහෝ අපරාධකරැවන් නීතියේ රුහැනින් ගැලවී ගොස් සුදනන් සේ විජයග්‍රහී ලිලාවෙන් උදම් අනන අවස්ථා සමාජ ගත වන්නේය. නමුත් එය තාවකාලික අස්වැසිල්ලක් යයි පෙන්වා දෙමින් ස්වභාව ධර්මයා නිසි දඬුවම් ලබා දෙනු ඇත.

මේ අනුව සමාජ විරෝධී ක්‍රියාකාරකම් සිදුකළ අය කුමන හෝ උපක්‍රමයකින් යම් යම් ස්ථානවලට ඒකරාශී කරවීමට ස්වභාව ධර්මයා විසින් කටයුතු කරනු ලබන්නේය. එසේ සිදුකොට දැඩි ලෙස මානසික සහ ශාරීරික දැඩි දඬුවම් ලබාදීමට සොබාදම් විසින් පියවර ගනු ලබනවා ඇත. ඒ නිසා හොඳම දේ වන්නේ අපරාධකාර සමාජවිරෝධී පව්කාරයන් හඳුනාගෙන ඔවුන්ගෙන් වෙන් වී සිටීමට වගබලා ගැනීමය.

ලොව පුරා ගිනිකඳු සක්‍රීය වීමේ අවදානම 2020 වර්ෂයේදී බලවත් වනු ඇත. ශ්‍රී ලංකාවේ පවා උණුවතුර ළිංවල ජලයේ රස්නය ඉහළ යනු ඇත. තවත් අලුතින් උණුවතුර ළිං මතුවනු ඇත. අනාගතයේ යම් දිනක ගිනිකන්දක් මතුවීමේ පෙර සූදානමක් දැයි යන්න පිළිබඳව අවධානය යොමු විය යුතුයි.

මේ දක්වා ශ්‍රී ලංකාවේ කිසිදු ජ්‍යොතිර්වේදියෙකු හෝ භූ විද්‍යා හා පතල් කර්යාංශ කිසිදු ඉංජිනේරුවකු මේ ගැන පෙර සඳහනක් සිදුකොට නැත. අප පවා සිදුවන ග්‍රහ ගමන ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍රම්* ක්‍රමවේදය හරහා පරීක්ෂා කොට 2020 දී මෙවැනි අදහසක් පවා ප්‍රකාශ කරනුයේ ප්‍රථම වතාවට දේශය පුවත්පත තුළින් පමණකි.

ඒ වාගේම මුහුදු - ගුවන් - මාර්ග යන ක්ෂේත්‍රවල ඉතිහාසය ගතවන අනතුරැ වාර්තා වීමට නියමිතය. විශේෂයෙන් ගුවන් යානා නිරන්තර තත්ත්ව පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් සිදුවිය හැකි මාරාන්තික අනතුරැ අවම කර ගත හැක. බස් රථයන්හි පාපුවරැවලට සවිකර ඇති ආධාරක ශක්තිමත් දැයි පරීක්ෂා කර තිබුණහොත් බසයෙන් ඉවතට විසිවීමෙන් සිදුවන අනතුරැ අවම කර ගත හැක.

විශ්වවිද්‍යාල ප්‍රමුඛ කර ගන්නාවූ උසස් අධ්‍යාපන ආයතනයන්හි ශිෂ්‍ය ප්‍රජාව අතරෙහි මතුවිය හැකි නවතම ප්‍රශ්නයක් නිසා සමස්ත ජනතාව පීඩාවට පත්විය හැක. දැන් සිටම විශ්වවිද්‍යාල කෙරෙහි අවධානය යොමුකළ යුතුයි.

ගාල්ලේ - තලගහ - අක්මීමන
සුරාශ්‍රී ගුණවර්ධන
විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා 
පණ්ඩිත ශිරෝමනී

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00