2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

පිනට දහමට යොමුවන කාලයක්

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 160

දෙදහස් දහනමයේ දෙසැම්බර් මාසයේ දහසය වැනිදා පස්වරු තුනයි විසි හතට රවි ග්‍රහයා ගුරැ හිමි ධනු රාශියට පිවිසෙන්නේය. එවිට නැගෙනහිර ක්ෂිතිජයෙහි මේෂ ලග්නය උදා වී පවතින්නේය.

තේජෝ භූත ග්‍රහ ත්‍රිත්වය රවි, ගුරු. කුජ යන ග්‍රහ බලවේගය මෙම ධනු රවිය තුළ ක්‍රියාත්මක වීම මේ නිසා සිදුවනවා ඇත.

එනම් තේජෝ බල රවි ග්‍රහයා තම මිත්‍ර රාශි ධනුවට පිවිසීමේදී තම මිත්‍ර රාශි මේෂ රාශිය තත්කාල ලග්නය වී පවතින්නේය.

සමස්ත රටවැසියාටම නව බලයක්, නව ජවයක් මවන්නට මෙම ග්‍රහ ශක්තිය ක්‍රියාමාර්ග ගන්නා බව පෙනේ. ඒ සඳහා තත්කාල ලග්න කුණ්ඩලියේ ගුරු ග්‍රහයා නමවැන්නේ ස්වක්ෂේත්‍ර බලයෙන් යුක්තව තැන්පත් වී රටට විෂ්ණු දෙවියන්ගේ ආශීර්වාදය ලබාදෙන්නට ක්‍රියාකරනු ඇත.

ඒ වාගේම එකී නමවැන්නේම ග්‍රහ මාරුව සිදු කරගත් රවි ග්‍රහයාද ගෝචරය වීම නිසා ජනතා මානසිකත්වය පිනට දහමට යොමුවන්නටත් සෙනසුරැ ග්‍රහයාද එම ස්ථානයේම තැන්පත් නිසා වැඩකරන ජනතාව ක්‍රියාශීලී වීමටත් පසුබිම සැළසෙනු ඇත. මෙම ග්‍රහ මාරුව සිදුවන විට යුරේනස් ග්‍රහයා ලග්නයේත් නැප්චූන් ග්‍රහයා එකොළොස් වැන්නේත් තැන්පත්ව සිටින නිසා පුද්ගල ඥාති මිත්‍රාදීන් අතර යම් යම් කුමන්ත්‍රණකාරී තත්ත්වයන් මතුවීමේ අවදානමක් පවතී. ඉඩකඩම් ගේ දොර යාන වාහන ආදී භෞතික සම්පත් මෙන්ම තනතුරැ තානාන්තර සම්බන්ධයෙන්ද එකී කුමන්ත්‍රණකාරී තත්ත්වයන් මතුවීමේ අවදානම් පවතී.

සමස්ත ජනතාවම තෘෂ්ණාව නිසා ශෝකය උපදී යන බුද්ධ වචනය මෙනෙහි කරමින් කටයුතු කර තමාගේත් තම පවුලේ සාමාජිකයින්ගේත් අභිවෘද්ධිය සළසා ගැනීමට උත්සුක විය යුතුයි. පෘතග්ජන මනසට එය යහපත් ලෙස සිදුකර  ගැනීම අපහසු විය හැකිය. මේ නිසා පැවිදි උතුමන්ලාගේ මෙන්ම බහුශ්‍රැතයින්ගේ අවවාද අනුශාසනා පිළිපැදීම යෙහෙකි.

එමෙන්ම ධනු රාශිය අවසාන වන්නාවූ 20120.01.15 වෙනිදා දක්වාම සමාජය තුළ විවිධ කුමන්ත්‍රණකාරී ක්‍රියාකාරකම් ඉස්මතු විය හැකි බැවින් ආරක්ෂක අංශ මෙන්ම ඔත්තු සේවාවන් අවදියෙන් සිට රටවැසියා කරදරකාරී තත්ත්වයන්ට මුහුණදීමෙන් ඇතිවිය හැකි පීඩාවන් අවම කර ගැනීමට කටයුතු යෙදීම යෙහෙකි.

රවි මාරු තත්කාල ලග්න කුණ්ඩලියේ ලග්නය කටකය වී ඇති චන්ද්‍රයා හතරවැන්නේ වීම නිසා ජ්‍යොතිෂ මතානුකූලව චන්ද්‍රයා ශුභ චන්ද්‍රයා බවට පරිවර්තනය වී දහවැන්න සහ ලග්නය දකී. මේ නිසා රටේ කෘෂි භෝග වගා ව්‍යාප්ත වීම මෙන්ම වගා බිම් සරැසාර වීමේ ප්‍රවනතාවයක් ඇතිවෙයි. එසේ වෙතත් ඍතු විපර්යාසයකට ඉඩකඩද පවතී. මේ නිසා ගොවිතැන වෙනුවෙන් පැරැන්නන් භාවිත කළ කෙම් ක්‍රම ආදිය ප්‍රචලිත කිරීමට වගකිවයුතු අය කටයුතු කිරීමද යෙහෙකි. ඒවායේ මිනිරන් මෙන්ම මැණික් පතල් ආශ්‍රිතවද ගිලාබැසීම් පස් කඩාවැටීම් ආදියට ඉඩකඩ ඇති බැවින් ඒවායේ කටයුතු කරන අය සුපරික්ෂාකාරීව කාර්යවල නිරත විය යුතු බවද පෙනේ.

තත්කාල ලග්න කුණ්ඩලියේ සිකුරැ ග්‍රහයා දහවැන්නේ වීම නිසා ඇණහිට තිබූ බොහෝ මහජන ශුභසිද්ධි කටයුතු නැවත ඇරඹෙනු ඇත. එම ග්‍රහ ශක්තියෙන් ප්‍රයෝජන ගැනීම සඳහා රටම වැඩබිමක් කර ගැනීමට බලධාරීන් උනන්දු වන්නේ නම් පොදු ජනතා සුභසිද්ධියක් ළඟා කරගත හැකි වනු ඇත.

ගාල්ලේ - තලගහ - අක්මීමන
සුරාශ්‍රී ගුණවර්ධන
විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා 
පණ්ඩිත ශිරෝමනී