මුළුමනින්ම සුදුවතින් සැරසුන පිරිසක් නිසා කොළඹ නගරය මේ දිනවල කැළඹී ගොසිනි. අරාබිත් නොවන හින්දිත් නොවන අමුතු බසක් කතාකරන සරැසාර පෙනුමෙන් යුතු මේ උදවිය නිසා නගරය තුළ හටගන්නා වාහන තදබදය ඔවුන් කවුරුන්දැයි යන කුතුහලය තදින්ම මතුකරන්නට සමත්වී හමාරය. උපන්දා සිට මරණය දක්වාම සුදුවතින්ම සැරසෙන බවට පරසිදුව ඇති මේ උදවිය බෝරා ජාතිකයන්ය. අපිට තේරෙන බාසාවෙන් “බායි”වරුන්ය. ලංකාවේම පදිංචි ජන කණ්ඩායමක නියෝජිතයන්ය. සැබවින්ම මොවුන් නියෝජනය කරන්නෙ සල්ලිකාර වෙළඳ ප්‍රජාවකි. ඔවුන් මුස්ලිම් ආගමික විශේෂ ජන කාණ්ඩයකි.
හදිසියේම කොළඹට මේ උදවිය කඩා වැදී ඇත්තේ ලෝකය පුරා ජීවත්වන බෝරා මුස්ලිම්වරුන්ගේ “බෝරා සමුළුව” මෙවර පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ නිසාය. සැප්තැම්බර් මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා දින දහයක් පුරා මෙම සමුළුව පවත්වනු ලබන්නේ කොල්ලුපිටිය ප්‍රධාන බෝරා මුස්ලිම් පල්ලිය කේන්ද්‍ර කොටගෙනය. මොවුන්ගේ අධ්‍යාත්මික නායකයන්ගේ ප්‍රධානත්වයෙනි. ලෝක “බෝරා සමුළුව” සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම බෝරාවරුන්ට නවාතැන් පහසුකම් ලබාදී ඇත්තේ කොළඹ ඉහළ පෙළේ හෝටල් ඇතුළු ගාල්ල හා මීගමු ප්‍රදේශයේ සුපිරි හෝටල්වලය. මීට පෙර 2008 වසරේ දී මෙවැනිම බෝරා සමුළුවක් ශ්‍රී ලංකාව තුළ පැවති අතර එම සමුළුවට සහභාගී වූ බෝරාවරැන්ට වඩා වැඩි පිරිසක් මෙවර සහභාගී වී සිටිති. මෙම සමුළුවට රටවල් 40ක බෝරා මුස්ලිම්වරුන් විසිඑක්දාහක් පමණ සහභාගි වේ යැයි අපේක්ෂා කෙරේ.
මුහම්මද් නබිතුමන්ගේ ඇවෑමෙන් පසු කලීෆා හෙවත් මුස්ලිම් ජන නායකත්ව තනතුර සඳහා හටගත් මතභේද හේතුවෙන් ඉස්ලාම් අදහන සමාජය සුන්නි හා ෂියා යන කොටස් දෙකකට බෙදී වෙන්ව ගියේය. ඒ අතරින් ෂීයාවරු දැඩි ආගමික මත නොදරන වඩාත් නවීන අදහස් දරන පිරිසකි. එහෙත් ඔවුන් ලෝක මුස්ලිම් ජන නියෝජනයේදි ඉතා සුළු පිරිසකි. බෝරාවරු පැවත එන්නේ එකී ෂියා පාර්ශවයෙනි. ලොවපුරා වාසය කරන බෝරා ජනතාව මිලියන 1.5 පමණ බව කියයි. ඔවුන්ගේ වාසභූමි ලෙස සැලකෙන්නේ උතුරු ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයයි. 13 වැනි සියවසේදී යේමනය, ඊජිප්තුව ආදී රටවලින් පැමිණි ෂියා නිකායට අයත් මුස්ලිම්වරු හින්දු ආගමික ඉන්දියානුවන් සමඟ මුසුවීම හේතුවෙන් බෝරා ජන කොට්ඨාශය නිර්මාණය වී තිබේ.
ශ්‍රී ලංකාවේ ජීවත්වෙන මුස්ලිම් ආගමික ප්‍රජාව ප්‍රධාන වශයෙන් මුවර්, මරක්කල, මැලේ, මෙමොන් හා බෝරා යනුවෙන් කොටස් 5 කට වෙන්කර දැක්විය හැකිය. බෝරා යන්නහි තේරුම “වෙළඳ කටයුතු සඳහා වූ පාර්ශවය” යන්නයි. ඒ අනුව, ඔවුහු පාරම්පරික සරුසාර වෙළෙන්දෝය.
ලොව බෝරා සමාජ වර්ග පහක් ඇති බව සඳහන් වේ. එනම්, දාවුදි බෝරා (Dawoodi Bohra), සුලෙයිමානි බෝරා (Suleiimani Bohra) හා ආල්වි බෝරා (Alvi Bohra), නිසායි බෝරා (Nisai Bohra), තයියබ් බෝරා (Tayyibi Bohra) හැටියටය. මෙම බෝරා වර්ග පහෙන් ලංකාව තුළ දක්නට ඇත්තේ ඉන්දියානු මූලයක් සහිත දාවුදි බෝරාවරුන්ය. මෙම බෝරා මුස්ලිම්වරුන්ගේ අමුතු භාෂාව දවාත් නී සබාන් ලෙස හැඳින්වේ. එය ගුජරාටි උප භාෂාවකි.
ඉතිහාසය ගත්කළ ලංකාවට මුල්ම බෝරාවරයා පැමිණ ඇත්තේ 1830 වසරේදීය. මෙම බෝරාවරයා ජැෆර්ජි ඊසාජි (Jafferiee Easajee) ය. ඊසාජිගේ වෘත්තිය වූයේ වෙළෙඳාමය. ඔහු ඉන්දියාවේ සිට මාලදිවයිනට සහල් රැගෙන ගිය අතර නැවත මාලදිවයිනේ සිට ඉන්දියාවට කරවල රැගෙන විත්, වෙළෙඳාම් කළේය. මෙම වෙළෙඳ ගමන් අතර හදිසියේ එක් දිනෙක ඇති වූ කුණාටුවකට නැව හසුවීමෙන් ගාලු වරායට ගොඩ බැස ඇත. ඊසාජි ගුජරාටයේ වැසියෙකි. ඔහු ලංකාවට ආ මේ වකවානුව තුළ ඉන්දියාවේ එම පළාතේ දැඩි නියඟයක් පැවතුණි. මේ නිසා ඔහු තම පවුලේ ඥාති සගයන්ටද ශ්‍රී ලංකාවේ පදිංචි වන්නට එන්නට යැයි යෝජනා කළේය. මෙම යෝජනාවත් සමඟ ඊසාජිගේ පවුලේ සැම හා හිතවතුන් ලංකාවට පැමිණියහ. මෙහි පදිංචි වූහ. මොවුන් මුල් කාලයේදී ගාල්ල ප්‍රදේශයේ පදිංචි වුවද කල්යත්ම ඔවුහු ලංකාවේ තැනින් තැන තම වාසභූමි කරගත්හ. වෙළෙඳාමට ඉතා ශූර වූ මෙම බෝරාවරු ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ලෝකය ජයගත්හ. ශ්‍රී ලංකාවේ ප්‍රථම බෝරා පල්ලිය ගාල්ල නගරයේ ගොඩනගන ලද්දේද ඊසාජිගේ පුතනුවන් වූ කරිම්ජි ජෙෆර්ජි Carimjee Jefferjee ය. වෙළෙඳාමට ඉතා ශූර තැනැත්තකු වූ කරීම්ජීව “වෙළෙඳ කුමරු” නමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ ඒකාලයේ ප්‍රසිද්ධ වූ බව සඳහන්ය. ගාල්ල ප්‍රදේශයේ ජීවත් වූ බෝරාවරුන්ගෙන් ඇතැමුන් පාකිස්ථානයේ සිට සිමෙන්ති මෙරටට ගෙන්වා ලංකාව පුරා විකිණීමේ ව්‍යාපාරයක්ද, යකඩ උණු කිරීමේ ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගොස් ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි. ඒ හැර බෝරාවරුන් සීනි, භූමිතෙල්, සහල්, විවිධ ධාන්‍ය වර්ග මෙන්ම රෙදිපිළිද ආනයනය හා අපනයනය කර ඇත. මේ බොහෝ ව්‍යාපාර ඉතා දියුණු විය. මුල් යුගයේදී ගාල්ලට පමණක් සීමා වූ බෝරාවරුන් පසුකාලීනව දිවයින පුරා සංක්‍රමණය වීමට මෙම ව්‍යාපාර දියුණු වීම තදින්ම බලපෑවේය.
හොඳට පිරිසුදුවට අඳින පළඳින මෙම බෝරාවරුන් එකල සිටම බොහෝ දෙනකු හැඳින්වූයේ මහත්තයා හෙවත් “බායි” නමිනි. ශ්‍රී ලංකාවේ වැඩිපුර ජීවත්වන දාවුදි බෝරාවරුන්ගෙ ඥාතීන් බොහෝ දෙනෙක් ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු ආසියාතික රටවල ජීවත් වෙති. දාවුදි බෝරාවරුන්ගේ වැඩි පිරිසක් ජීවත්වන්නේ කරච්චි නගරයේය.
ගාල්ල නගරයෙන් වෙළෙඳාම් කටයුතු ඇරැඹි බෝරාවරු පසුව දිවයිනේ බොහෝ ප්‍රධාන නගරවල විසිර ගියහ. දැනට මෙරට ජීවත්වන බෝරාවරුන්ගේ වැඩි ප්‍රතිශතයකගේ ව්‍යාප්තිය කොළඹ දිස්ත්‍රික්කයට ප්‍රධාන වශයෙන් සීමාවී තිබේ. පිටකොටුව ඉන් ප්‍රධානය. පිටකොටුවේ ව්‍යාපාරික කටයුතු කරන බෝරාවරුන් අදටත් දක්නට ඇත. එහි හතර වැනි හරස්වීදියේ බෝරා පල්ලියක් පිහිටා ඇත. මීට අමතරව කොල්ලුපිටිය බෝරා පල්ලිය අසලද ඔවුහු ජීවත් වෙති. මොවුහු එම පල්ලිය අසල පිහිටා ඇති සුපිරි මහල් නිවාස මිලදී ගෙන හෝ කුලී පදනම මත ලබා ගෙන ජීවත් වෙති. කොළඹ, පිටකොටුව, කිරුලපන, බම්බලපිටිය, දෙහිවල හා ගල්කිස්ස යන ප්‍රදේශවල බෝරා ජාතික මුස්ලිම්වරු වාසය කරති. ඔවුන්ගේ ආගමික මෙහෙයවීම මත මස්ජිදය ආසන්නයේම සිය වාසස්ථාන පිහිටා තිබීම ඊට හේතුවයි. පල්ලිය සමග නිරන්තර සම්බන්ධතා පැවැත්වීම බෝරා සමාජයේ වැදගත් ලක්ෂණයකි.
බෝරාවරු සාමාන්‍ය මුස්ලිම් ජනතාව යන පල්ලිවලට යන්නෙ නැත. ඔවුන් ආගමික වතාවත් සිදුකරනු ලබන්නේ තමන්ටම වෙන්වූ බෝරා පල්ලියකටම ගොස්ය. බෝරාවරුන්ට අයත් ප්‍රධාන ආගමික ස්ථාන හතරක් මෙරට ස්ථාපිත කර තිබේ. ගාල්ල, යාපනය, පිටකොටුව හා කොළඹ යන ප්‍රදේශ සතර කේන්ද්‍ර කරගනිමින් ඔවුහු එම පල්ලි නිර්මාණය කර ඇත.
ඔවුන් වැඩි දෙනෙක් උර්දු භාෂාව කතා කරන අතර හින්දි හා පාකිස්ථාන් භාෂාවද කතා කරති. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන බොහෝ බෝරාවරුන් කතාකරනු ලබන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. එමෙන්ම සිංහල භාෂාවට හුරුවූ බෝරාවරුද ශ්‍රී ලංකාවේ ජීවත් වෙති. බෝරාවරුන්ගේ මව් භාෂාව හඳුන්වනු ලබන්නේ දවාත් නි සබාන් (Dawaitnizaban) යන නමිනි.
බෝරාවරු උදෑසන ආහාර වේලට මුල් තැනක් ලබාදෙති. එමෙන්ම තේ පානයට ද වැඩි නැඹුරුකමක් දක්වති. රොටි, චපාති, බුරියානි, පාන් මොවුන් වඩාත් කැමැති ආහාරය.
බෝරාවරුන්ගේ පිරිමි පාර්ශ්වය බොහෝ විට අඳිනු ලබන්නේ මුස්ලිම්වරුන් අඳිනු ලබන ඇඳුමට සමාන ඇඳුම්ය. ධනවත් බෝරාවරු වැඩි වශයෙන් තම ඇඳුමට පැළඳුමට වැඩි මුදලක් වැයකරලීමට පෙළඹෙති. නමුත් ඇඳුම්වල පිරිසිදුතාවය පිළිබඳව ඔවුහු සැලිකිලිමත් වෙති. ඔවුන්ගේ හිස පළඳනාව රන් නූලකින් ගෙත්තම් කර තිබීම විශේෂත්වයකි. එයද ඉතා වටිනා තොප්පියකි. කාන්තා පාර්ශ්වය කළු වර්ණයෙන් යුත් ඇඳුම් අදින්නේ නැත. ඉතා වර්ණවත් ඇඳුමකින් සැරසෙන මොවුහු ඇඳුමේ වටිනාකම වෙනුවෙන් විශේෂ තැනක් ලබාදෙති. ඔවුන්ගේ ජාතික වස්ත්‍රය “කොමිලිබාස්” නමින් හඳුන්වයි. බෝරා පිරිමියාගේ “ටෝපි” ලෙස හඳුන්වන හිස් පලඳනාව ඔවුනටම අවේනික වූවකි. බෝරා කාන්තාව අදින “රිදාව” ඔවුන්ගේ සමාජයට පමණක් සුවිශේෂී වූවකි. කාන්තාවක් රීදාව ඇදීම ආරම්භ කරන්නේ මිසාක් උත්සවයෙනි. බෝරා සමාජයේ දැරියක් වැඩිවියට පත්වීමත් සමඟ ආගමානුකුල ජීවන රටාවන පුහුණු කිරීම සඳහා පවත්වන මිසාක් උත්සවයේ රිදාව ඇදීම අනිවාර්ය කෙරේ. කාන්තාවන් චර්මජේදනයද මේ උත්සවයට ඇතුළත්ය.
බෝරා ජාතික මුස්ලිම්වරු අනෙකුත් මුස්ලිම් ජනවර්ග සමඟ කොයි ආකාරයකින්වත් මුහුවීමක් පෙනෙන්නට නැත. ශ්‍රී ලංකාවේ ජීවත්වන බෝරාවරුන් මෙරට පදිංචිවීමට තුඩුදුන් හේතු කිහිපයකි. තම වෙළඳ ව්‍යාපාර කටයුතු නිදහසේ මැනවින් පවත්වාගෙන යාමට ඇති හැකියාවත්, මෙරට සුන්දරත්වයට ඇති ප්‍රියතාවයත්, පාකිස්ථානය ආදී අනෙකුත් කලාපීය රටවල්වල පවතින ගැටලුකාරී තත්වයත් හේතුවෙන් ඔවුහු මෙරට පදිංචිව සිටිති.
► සුගත් පී.කුලතුංග ආරච්චි