එල්ලුම් ගහ සහ එල්ලා මැරීම පසුගිය වකවානුවේදී රටේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබිණ. ඒ වෙනකක් නිසා නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රබල ප්‍රකාශනයක් නිසාය. රටට නව ප්‍රවෘත්තියක් වන මෙකී කතාව ජනතාවට කතිකාවක් වුවද මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරගතව ඉන්නා සිරකරුවන්ට එය බියජනක පුවතක් විය.
මේ කතාවෙන් මරණීය දණ්ඩනය හෝ එල්ලුම් ගහ ගැන නොකීවත් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වරදකරුවන් වී දැනට බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසකට මරණ බිය හා නොසන්සුන්තාව ඇති කිරීමට සමත්ය. ඊට ප්‍රධාන හේතුව වශයෙන් අනාවරණය වී ඇත්තේ දැනට බන්ධනාගාරගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනකු බන්ධානාගාරය ඇතුළදීම ඝාතනය කිරීමට මෙරට හා පාකිස්තානයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රබලයන් පිරිසක් සූදානම්ව ඇතැයි වාර්තා වීමත් සමඟය. මෙම සැලසුමට ආසන්නතම හේතුව වශයෙන් හෙළි වී ඇත්තේ මත් කුඩු ජාවාරම අඩාල කිරීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තු ලබාදුන් සිද්ධියකි. ඒ අනුව ඉහත කී සැලසුමට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශ්වාස කරන්නේ පසුගිය සමයේ දිගින් දිගටම කොටු වූ මත්ද්‍රව්‍ය තොග සම්බන්ධයෙන් සාර්ථකව තොරතුරු ලබා දී තිබුණේ දැනට බන්ධනාගාරගතවී සිටින මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරැවන් වූ පිරිස් බවය. මේ නිසා දැනට බන්ධනාගාරගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනකු ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය මගින් හෙළිකරගෙන ඇතැයි වාර්තා වේ.
විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් අනාවරණය කරගෙන ඇති තොරතුරු පදනම් කොටගෙන සැකසූ වාර්තාවක් එම බළකාය මගින් වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට යොමු කළ බවද දැනගන්නට ඇත. පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සනාථ කරන පරිදි විශේෂ කාර්ය බළකාය ලබාදුන් වාර්තාව හරහා මරණීය තර්ජනයට ලක්ව සිටින පිරිස් වැලිකඩ බන්ධනාගාරයේ පමණක් රඳවා නොසිට අගුණකොළපැලැස්ස හා බූස්ස වැනි බන්ධනාගාරවලට යොමුකර සෙසු සිරකරුවන් හා එක්ව තැබීම සුදුසු බව සඳහන්ය.
පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වාර්තා කරන පරිදි වැඩ බලන පොලිස්පතිවරයා විසින් අදාළ වාර්තාවට පදනම් වන කරුණු පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දැනුම්වත් කිරීමට කටයුතු කර ඇත. එහෙත් එම දෙපාර්තමේන්තුව අදාළ කරුණ සම්බන්ධයෙන් තවමත් ක්‍රියාත්මක වී නැතැයි ද එබැවින් අදාළ රැඳවියන් පිළිබඳව අනාරක්ෂිත බවක් ඇතිව තිබෙන බවද දැනගන්නට තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු සෙවීමේදී අනාවරණය වී ඇත්තේ බන්ධනාගාරයේ හිටපු ඉහළ පෙළේ නිලධාරියකු මත්කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතාවයක් පවත්වන බවත් ඔහු මේ සැලසුමට සබඳතාවයක් දක්වන බවත්ය.
මෙසේ මරණීය තර්ජන එල්ල වූ රැඳවියන් අතර හෙරොයින් ජාවාරම, කප්පම් ගැනීම හා මිනීමැරුම්වලට චෝදනා එල්ලවූවන් සිටින බවද වාර්තා වේ. පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ හඳුනාගෙන තිබෙන තොරතුරුවලට දුරකථන සංවාද මගින් තොරතුරු රාශියක් හෙළිකරගෙන ඇතැයි ද වාර්තා වේ. ඉකුත් මාස කිහිපයේදී ජනාධිපතිවරයාගේ උපදෙස් මත මත්ද්‍රව්‍යවලට එරෙහි වැටලීම් රාශියක් සිදුකෙරිණි. ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා විශේෂ කාර්ය බළකාය එක්ව සාර්ථක වැටලීම් ගණනාවක් සිදු කළේය. එහිදී විදේශ රටවලින් මෙරටට රැගෙන ආ සහ මුහුදු මාර්ගයෙන් රටට ගෙනඒමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොග පිටින් වටලනු ලැබීය. ඒ අතර පකිස්තානෙය් සිට රැගෙන ආ බවට අනාවරණය වූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය විශාලය. එසේ අත්අඩංගුවට පත් වූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් දහස ඉක්මවන බව පොලීසිය සඳහන් කළේය.
මේ ආකාරයට සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම හේතුවෙන් දිවයින පුරා දැඩි ලෙස මත්ද්‍රව්‍ය හිඟයක් පවතින බව වාර්තා වේ. එම නිසා මේ වනවිට හෙරොයින් කිලෝ ග්‍රෑමයට රුපියල් කෝටි තුනක පමණ වටිනාකමක් ලැබී ඇතැයි ද දැනගන්නට තිබේ. විශේෂ කාර්ය බළකාය දිගින් දිගටම සිදු කරන වැටලීම් නිසා හෙරොයින්වල අඩුවක් පැවතිය ද කේරළ ගංජා අලෙවි වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග වාර්තා කරයි. එසේ සිදුකළ වැටලීම් අතරතුර මන්නාරම සිට කොළඹට කේරළ ගංජා රැගෙන එන ජාවාරමක් අනාවරණය කර ගැනීමට විශේෂ කාර්ය බළකාය සමත්ව සිටිති.
දින ගණනාවක් සිදුකළ මෙහෙයුමකදී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පොළ භූමියේ මාළු ලෑල්ලක් පවත්වාගෙන යන අතරතුර කේරළ ගංජා විකිණීමේ ජාවාරමක් කොටු කරගෙන ඇති අතර එහිදී කේරළ ගංජා කිලෝ 8. ග්‍රෑම් 500ක් අත්අඩංගුවට ගෙන තිබුණේ සැක සහිත ත්‍රිරෝද රථයක් ද සමගිනි.
මත්ද්‍රව්‍යවලට එරෙහි වැටලීම් නිසා හෙරොයින් හිඟයක් පවතින බවත් හෙරොයින් අලෙවියේදී ඊට වෙනත් ද්‍රව්‍ය බහුල වශයෙන් මිශ්‍ර කිරීම සිදුකරන බවද හෙළිව තිබේ. ඒ අනුව දැනට අලෙවි කෙරෙන හෙරොයින් සියල්ල විවිධ වර්ගයේ පිටි කලවම් කළ ඒවා බවද වාර්තා වේ.
► සමන්ත ප්‍රදීප් විල්තෙර