2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

කෘෂිකර්මයෙන් විතරක් ආර්ථිකය හදන්න බෑ

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 75
මේ වසරේ අපේ ආර්ථික වර්ධන වේගය සියයට 3.1ක් වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ජිත් කුමාරස්වාමි පසුගියදා ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ 2019 වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථික වර්ධනය සියයට 2.1කින් ඉහළ ගොස් ඇති බවය. මෙම උපකල්පනය යථාර්ථයක් වේ නම් අපට මේ වසරේදී යම් පමණකට හෝ හිස ඔසවා ගැනීමට හැකිවේයැයි සිතිය හැකිය.
 
එසේ වුවද මැදහත් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ පසුගියදා ත්‍රස්ත ප්‍රහාර හමුවේ බිදවැටුණු අපේ ආර්ථිකය තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති බවය. තත්ත්වය යහපත් වීම සෙමින් සිදුවන අතර ඒ සඳහා ඉඩදී සිටිය යුතු බවද ඔවුහු කියති. එසේ නැතිව කල්ඇතිව ඉලක්ක නියම කරගෙන ඒවා සපුරා ගත් බවට දත්ත ඉදිරිපත් කිරීමෙන් යථා තත්ත්වය යටපත් වී ඇති බවද ඔවුහු පවසති.
 
2017 වසරේ අපේ ආර්ථික වර්ධන වේගය සියයට 3.4ක්ම පැවති අතර 2018 වනවිට 3.2 දක්වා සියයට 2කින් පහළ ගොස් ඇත. කෙසේ වුවද මෙම වර්ධනය හෝ ඇතිකර ගතහැකි වූයේ කෘෂිකර්ම කටයුතුවලින් අත්කරගත් සියයට 4.8 වර්ධනය නිසා බව පෙනීයයි. වර්ෂයේ පැවැති යහපත් දේශගුණය නිසා වී වගාව සාර්ථක වූ අතර බලාපොරොත්තු වූ මට්ටමටත් වඩා වී අස්වැන්න ඉහළ ගොස් ඇති බව කිවයුතුය. 2018 ශ්‍රී ලංකා ආර්ථිකය එක්සත් ජනපද ඩොලර් බිලියන 88.9ක් බවට ශ්‍රී ලංකා මහ බැංකුව ඇස්තමේන්තු කර තිබුණද එපමණකට ළඟාවීමට අපොහොසත් විය. 2018 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ අපේ රට සාර්ථක ආර්ථික වර්ධන වේගයක් ඇති කර ගැනීමට අපොහොසත්වීමේ හේතු පිළිබඳ මෙසේ කරුණු දක්වා තිබේ.
 
“අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම අඛණ්ඩව ප්‍රමාද වීම සහ වරින් වර හඳුන්වා දුන් අස්ථාවර හා පුරෝකථනය කළ නොහැකි ප්‍රගතිය අපෙක්ෂිත මට්ටමට වඩා පහළ මට්ටමක පැවතුණි. එවැනි අවිධිමත් තත්ත්වයන් හේතුවෙන් ආර්ථික වර්ධන මාවත අඩාල වූ අතර එමගින් ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් වෙත ළඟාවීමට ඇති අවස්ථාව වැළකී ඇත.
 
මෙම පසුබිම තුළ වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා වූ ජාතික අපනයන ක්‍රමෝපාය සහ නව වෙළෙඳ ප්‍රතිපත්තිය, රාජ්‍ය මූල්‍ය විනය හා රාජ්‍ය ණය තිරසාරභාවය පවත්වා ගැනීම සහතික කිරීම සඳහා 2020 වසර වනවිට මහ බැංකුව නම්‍යශීලී උද්ධමනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම ඇතුළත් වන දැනටමත් හඳුන්වා දී ඇති ප්‍රතිසංස්කරණ සැලැස්ම කඩිනම් කිරීම සඳහා සියලුම පාර්ශ්වකරැවන් විසින් ඒකාබද්ධ ප්‍රයන්තයක් දැරීම ඉතාම වැදගත් වේ.”
(පිට - 4)
 
2018 වසරේ ආර්ථික වර්ධනයේ 2017 සමඟ සංසන්දනය කිරීමේදී ඇතිවූ සුළු පසුබෑමට වඩා 2019 වසරේ එය විශාල ලෙස පහළ යනු ඇතැයි අපෙක්ෂා කළහැකිය. එයට හේතුව පසුගිය දිනවල අනපේක්ෂිකව සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයි. මේ ප්‍රහාර නිසා රටට වැඩ කළහැකි ශ්‍රමිකයන් අහිමි වූ අතර දේපළ සහ යටිතල පහසුකම් විශාල ලෙස හානියට පත්විය. එසේම හානිවූ අයට වන්දි ගෙවීම සඳහා ද රජයට විශාල මුදලක් වැය කරන්නට සිදුවූ බව පැවසිය යුතුය. එම වියදම නිසා මෙන්ම රටේ නිෂ්පාදන ක්‍රියාවලියට පසුගිය සමයේ ඇති වූ බාධා නිසා සෑහෙන ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදුවිය. රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයට සිදුවූ මෙම බලපෑම නිසා නිෂ්පාදනය බිඳවැටුණි. ප්‍රධාන වශයෙන් විදේශ ආදායම් මාර්ගය ලෙස සලකනු ලැබ තිබූ සංචාරක ව්‍යාපාරයට හානි සිදුවූ අතර ඒ ආශ්‍රයෙන් ගොඩනගා තිබූ බොහෝ ආදායම් සැලසුම් බිඳවැටිණි. මේ වනවිට සංචාරකයන්ගේ පැමිණීම මඳ වශයෙන් වැඩි වුවද මුලින් තිබූ තත්ත්වයට පත්වීමට මෙම වසර තුළදී නොහැකි වනු ඇතිබවට එම අංශවලින් අනාවැකි පළවේ.
 
ශ්‍රී ලංකා මහබැංකු අධිපති බලාපොරොත්තු වන මට්ටමට මේ වර්ෂයේ ඉදිරි මාස 3-4 තුළ රටේ ආර්ථිකය ගොඩනැගිය හැකිද යන්න පිළිබඳ පුරෝකතනයක යෙදෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියෝ මෙසේ ප්‍රකාශ කරති.
 
“රට සංවර්ධනය කර ගැනීමට සෑම කුටුම්භයකට ආදායම වැඩි කරගත යුතු වෙනවා. ගෙදරක ආදායම සරිකර ගැනීමට ඒ ගෙදර අය විවිධ කාර්යවල නිතර වෙනවා. රටක් සමන්විත වන්නේ එවැනි කුටුම්භයක් රාශියකින්. එසේම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනද රට තුළ තිබෙනවා. මේවායින් ලැබෙන ආදායම ඉහළ යන්නේ නම් රට සංවර්ධනය වූවා යැයි කියන්නට පුළුවන්. මෙම අංශවලින් සිදු කෙරෙන නිෂ්පාදන ඉහළ යා යුතුයි. කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා යන අංශ තුනේම ආදායම වැඩිවිය යුතු වෙනවා.
 
මේ වතාවේ දේශීය කෘෂිකර්මයේ නිෂ්පාදන සතුටුදායක මට්ටමක පැවතුණා. මෙවර මහ කන්නයේ වී වගාව සාර්ථක වීමට දේශගුණික සාධක බලපෑවා. ඒ එළවළු හැරුණු විට වැවිලි අංශය සහ ධීවර කටයුතුද කෘෂිකර්මයට අදාළයි. කෙසේ වුවද අපට වී වගාවෙන් ජාතික නිෂ්පාදිතයට එන්නේ සියයට 1ක් වැනි සුළු ප්‍රමාණයක්. ධීවර කටයුතුවලින් සියයට 2 පමණ ජාතික නිෂ්පාදිතයට එනවා. ව්‍යාපාර සහ වැවිලි වගාවලින් ද සියයට 1ක් පමණ තමා ලැබෙන්නේ. පසුගිය කාලවල මේ අගය ඍන මට්ටමෙයි තිබුණේ. සමස්ත කෘෂි අංශයෙන් සියයට 8ක් විතර ප්‍රමාණයක් තමා ආර්ථිකයට එකතු වෙන්නේ. ඒ නිසා රට සංවර්ධනයේදී කෘෂිකර්මාන්තයට වඩා කර්මාන්ත සහ සේවා අංශවලට වැඩි අවධානයක් යොමු කළ යුතු බව මගේ වැටහීමයි.
මෙම වසර “ආසියාවේ ශතවර්ෂය” ලෙස හඳුන්වනවා. ආසියාව ලොව වේගයෙන් සංවර්ධනය වෙනවා. 2019-2020 වසර තුළ ආසියාවේ ජාතික ආදායම අවශේෂ රටවලට වඩා ඉහළ යනවා. සමස්ත ගෝලීය ආදායමෙන් ආසියාව ලබන පංගුව වැඩි වෙනවා. අවශේෂ රටවලට වඩා අනාගතයේ හොඳ මට්ටමකට අවතීර්ණ වෙයි. මේ තත්ත්වය ඇතිවුණේ අප නිසා නොවෙයි. වෙනත් රටවල් නිසයි. අපේ ආර්ථික වෘද්ධිය ඉහළ වන්නේ යුද්ධවලින් විනාශ වූ ඇෆ්ගනිස්තානයට වඩා පමණයි. සෙසු රටවල් සියල්ල අපට වඩා වේගයෙන් ඉහළ යනවා. දකුණු ආසියාවේ 2019 සාමාන්‍ය ආර්ථික වෘද්ධිය සියයට 6.8ක් වෙනවා. සෙසු රටවල වර්ධනය මෙසේයි.
 
බංගලිදේශය 8
මාලදිවයින 7.5
ඉන්දියාව 7.2
වියට්නාමය 6.8
නේපාලය 6.3
චීනය 6.3
පාකිස්තානය 3.9
ශ්‍රී ලංකාව 3.1
ඇෆ්ගනිස්තානය 2.5
 
මේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ තත්ත්වය හොඳ හැටි අවබෝධ කරගත හැකි වෙනවා.
 
කෘෂිකර්මයේ පමණක් අපේ රටේ විශාල ආර්ථික පර්වර්තනයක් කළ නොහැකියි. ලොව අංක 1 කෘෂි නිෂ්පාදකයා චීනයයි. ඒත් ජාතික නිෂ්පාදනයෙන් වැඩිකොටස ලැබෙන්නේ කෘෂිකර්මයෙන් නොවෙයි. සියයට 40ක්ම කාර්මික අංශයෙන් ලැබෙනවා. චීනයේ ආදායම ඩොලර් ට්‍රිලියන 4ක්. ලොව දෙවැනි තැන ගන්නා අමෙරිකාවේ කෘෂිකර්ම ආදායම සියයට 1ක් පමණයි. එරට මුළු නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 22කි.
 
2018 වසරේදී කෘෂිකර්ම අංශයේ ආදායම වැඩිම රට චීනය වන අතර දෙවැනි තැන ඉන්දියාවට ද අමෙරිකාවට තෙවැනි ස්ථානය ද ලැබී තිබුණි. එසේම කර්මාන්ත අංශයෙන් චීනය 1, අමෙරිකාව 2 හා ජපානය 3 ස්ථාන ලබාගෙන තියෙනවා. සේවා අංශයෙන් අමෙරිකාව 1 ස්ථානය, චීනය 2 ස්ථානය හා ජපානය 3 වන ස්ථානය ලබාගෙන තිබෙනවා. මේ අනුව පැහැදිලි වන්නේ රටක් දියුණුවන්ට කෘෂිකර්මයට වඩා කර්මාන්ත සහ සේවා අංශ වැදගත් බවයි.
 
එහෙත් අවාසනාවකට වගේ නිදහසින් පසු අපි කෘෂිකර්ම අංශය ගැන පමණයි අවධානය යොමුකර ඇත්තේ. අපට දියුණු රටවලට වාගේ මහා පරිමාණ නිෂ්පාදන ගොවිපළවල් තිබුණේ නැහැ. අපේ කෘෂිකර්මය තවමත් පවතින්නේ කුටුම්භ මට්ටමෙයි. පසුගිය ආණ්ඩු විසින් දේවේශ සහගත ලෙස රටේ කෘෂි වගා අංශය විනාශ කළා. වතු ජනසතු කළා. කොටස් කඩා විකුණන්න පටන් ගත්තා. ව්‍යාපාරත්මක කෘෂි අංශය අඩපණ වුණා. ඉඩම්වල ගෙවල් හැදුණා.
 
අප ඉදිරියට යනවා නම් කාර්මික අංශය ප්‍රවර්ධනය කළයුතු වෙනවා. Economic Take – Off ආර්ථිකය ඉහළට තල්ලු කිරීමේ ප්‍රතිපත්තියට ගොස් සුදුසු කර්මාන්ත ඉහළට ගත යුතුයි. යැපුම් කෘෂිකර්මය නොව මධ්‍ය හා මහා පරිමාණ ගොවිපළවල් වැඩිකළ යුතු වෙනවා. මේ සඳහා පෞද්ගලික අංශයට උදව් කළ යුතු අතර රජය මගින්ද ගොවිපළවල් ආරම්භ කළයුතුයි. කෘෂි අපනයන ඉහළ නැංවීම වැදගත්. ලොව වසරක සමස්ත කෘෂි අපනයනය සියයට 10ක් තරමේ පහළ මට්ටමකයි ඇත්තේ. මේ නිසා අපට මෙය නගා සිටුවීමට කටයුතු කළහැකියි. ඉදිරිය බලා ආර්ථිකය සැලසුම් කළ යුතු අතර සාම්ප්‍රදායිකව ගමන් කළයුතු නැහැ.
 
ශ්‍රී ලංකා මහ බැංකුව වසර මුලදී පුරෝකතනය කළේ 2019 ආර්ථික වර්ධන වේගය සියයට 4ක් වන බවයි. එහෙත් අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාර නිසා එය 2.9ට අඩු වුණා. දැන් කියන්නේ සියයට 3.1කට නැංවිය හැකිබවයි. කවුරු මොනවා කිව්වත් මේ වසරේ අපේ ආර්ථික වර්ධන වේගය සියයට 3ක ආසන්න මට්ටමේ තමා තිබිය හැක්කේ. විශාල ලෙස පහළ යාමක් හෝ ඉහළ යාමක් සිදුවේ යැයි සිතිය නොහැකියි. අපේ සංචාරක ව්‍යාපාරය කඩාගෙන වැටීම විශාල හානියක් වුණා. දැන් වුවද ආර්ථිකය නංවාලීමේ නායකත්වයක් නිර්මාණය වී නැහැ. එක එක අංශ වෙන් වෙන්ව විවිධ පියවරවල් තමා ගන්නේ. කෙසේ වුවත් දැන්වත් කෘෂිකර්මය පසුපසම නොගොස් කාර්මික අංශය නගා සිටුවිය යුතුයි. අලුත් පරම්පරාව සේවා පැත්තට යොමු කළ යුතු වෙනවා.
 
පසුගිය ආණ්ඩුව සමයේදී රටේ අනවශ්‍ය ලෙස වැය වැඩි වුණා. ආර්ථිකයේ තිරසාර බව නැති වුණා. විශාල ලෙස ණය අරගෙන අලෙවි කළ නොහැකි දේවල් තැනුවා. නැව් නොඑන වරායවල්, ගුවන් යානා නොඑන ගුවන් තොටුපළවල්, සම්මන්ත්‍රණ නොපවත්වන සම්මන්ත්‍රණ ශාලා. උදාහරණ ලෙස ගතහැකිය. එහෙත් කළ යුතුව තිබුණේ ගත් ණයවලින් ආදායම් ලබන ව්‍යාපෘති ඇතිකර ඒම ආදායමෙන් ණය ගෙවීමයි. එහෙත් අද ගත් ණය ගෙවීමට තවත් ණය ගන්නට සිදුවෙලා.
 
කෙසේ වුවද මුලින් පැවසූ පරිදි සියයට 4.2 මට්ටමට ආර්ථික වර්ධනය ගෙනආ නොහැකි බව පැහැදිලියි. ජනතාවගේ ඇඟට දැනෙන සංවර්ධනයක් අවශ්‍යයි. එහෙම නැතුව සංඛ්‍යා ලේඛන ඉහළ දැමුවාට වැඩක් නැහැ. රටේ ආර්ථික සංඛ්‍යා ලේඛන ඉහළ දැමුවාට වැඩක් නැහැ. රටේ ආර්ථික සංවර්ධන වේ නම් ජනතාවගේ ආර්ථිකයද වර්ධනය විය යුතුයි.
 
දැනට ඇති අයහපත් දේශපාලන වාතාවරණය ද ආර්ථික දියුණුව පහළ බැසීමට හේතුවෙලා. අවිනිශ්චිත දේශපාලන තත්ත්වය නිසා ආයෝජකයන් ආයෝජනයට බියවෙලා. පුද්ගලික අංශය ආර්ථික වර්ධනයට කැපවෙන්නේ නැහැ. සිදුවෙන්නේ මොකක්ද කියලා බලා ඉන්නවා. ව්‍යාපාරික විශ්වාසය පහළ බැහැලා. කුටුම්භ අංශයද තීරණාත්මකව වැඩි කරන්නේ නැහැ. කවුරු කවුරුත් ලබන වසර වනවිට සිදුවන තත්ත්වය ගැන තමයි බලාගෙන ඉන්නේ. ඒ නිසා වැඩි ආර්ථික වර්ධනයක් ගැන සිතන්න බැහැ.
 
►  යසවර්ධන රුද්රිගු
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00