පෘථිවිය තම ඉතිහාසය තුළ න්‍යෂ්ඨික යුද අත්දැකීමක් වින්දේ එකම එක වතාවක් පමණි. ඒ දෙවැනි ලෝක යුද්ධය අතරතුරදීය. න්‍යෂ්ටික ශක්තිය භාවිත කළ එවැනි එක් සිදුවීමක් නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි දැවැන්ත සංවිධානයක් පවා බිහිවුණේ න්‍යෂ්ඨික අවි යනු මිනිසා විසින්ම මිනිසාගේ වළ කපාගැනීමක් බව ඉන් මනාව පසක් වූ නිසාය. ලොව අංක එකේ ධන කුවේරයා වන බිල් ගේට්ස් පසුගියදා ජර්මනියේ මියුනිච් නුවර පැවැති ආරක්ෂක සමුළුවකට එක්වෙමින් පැවසූයේ න්‍යෂ්ටික යුද්ධයකට වඩා භයානක ප්‍රතිඵල ගෙනදෙන ජෛව රසායනික ත්‍රස්ත ප්‍රහාර අවදානමකට ලෝකය ගොදුරු වී ඇති බවය.
මීට අවුරුදු විස්සකට පෙර මම මගේ සමාජ සේවා ක්ෂේත්‍රය ලෙස ගෝලීය සෞඛ්‍යය තෝරාගනිද්දි මෙවැනි ආරක්ෂක සමුළුවකට සහභාගී වෙලා අදහස් දක්වන්න ලැබේවි කියල හීනෙකින් වත් හිතුවෙ නැහැ. හැබැයි ගොඩක් දෙනෙක් හිතනවාට වඩා අපේ ලෝකය ඉතා තදින් එකිනෙක හා යා වූවක්. මම විශ්වාස කරන අන්දමට මීළඟ වසංගතය ඇතිවිය හැක්කේ ඩිජිටල් අවකාශයක් භාවිත කරමිනුයි. ජාන ඉංජිනේරැ තාක්ෂණය භාවිත කරමින් ලක්ෂ ගණනකට මරැ කැඳවන වෛරස නිපදවන්නට ත්‍රස්තවාදීන්ට ඉඩ තිබෙනවා. සියරාලියොන් හා ලයිබීරියාවෙන් ඉබෝලා පැතිර ගිය අන්දමත් කොංගෝවෙන් කොළරාව ව්‍යාප්ත වුණු හැටිත් අපට මතකයි.
මා කියන්නට උත්සාහ කරන්නේ අපි සෞඛ්‍ය ක්ෂේත්‍රය හා බැඳුණු විධිමත් ආරක්ෂණ වැඩපිළිවෙළක් පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කරලා නැහැ. වසංගත රෝග විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ වායුගෝලය හරහා පැතිර යන එවැනි වෛරසයක් වැනි ජෛව ත්‍රස්ත ප්‍රහාරයක් මගින් වසරකට අඩු කාලයකදී ලක්ෂ 300කට වැඩි ජනතාවක් මරාදැමීමේ හැකියාවක් පවතින බවයි. එවැනි සිදුවීමක් මීළඟ අවුරුදු 10ත් 15ත් අතර කාලයේදී සිදුවිය හැකි බවටත් ඔවුන් මත පළකරනවා. ගේට්ස් ප්‍රකාශ කළේය.
මෙවැනි වසංගත පැතිරයාම ත්‍රස්තවාදී ක්‍රියාවක් මෙන්ම ස්වභාවිකව ද සිදුවීමේ ඉඩක් පවතින බව මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ ගේට්ස් පවසා තිබේ. 2015 ඉබෝලා වසංගතය පැතිර යාම බටහිර අප්‍රිකාවෙන් ඇරඹෙද්දීම බිල් සහ මිලිණ්ඩා ගේට්ස් පදනම විසින් ප්‍රකාශ කර තිබුණේ මෙවන් වසංගත ව්‍යාප්තියකට මුහුණ දීමට ලෝකය තවමත් සූදානම් නැති බව ය.
1918 කාලයේදී ස්පාඤ්ඤයේ පැතිර ගිය උණ සන්නිපාත රෝගයක් නිසා මිලියන 50කට වැඩි ජනතාවක් ජීවිතක්ෂයට පත්වූහ. එය කෙතරම් විශාල ප්‍රමාණයක් ද කියතොත් පළමු ලෝක යුද්ධයෙන් අහිමි වූ සමස්ත ජීවිත ප්‍රමාණය මෙන් තෙගුණයකි.
ප්‍රශ්නය පෙන්වා දීමට අමතරව ප්‍රශ්නයට විසඳුම් සපයාගන්නේ කෙසේද යන්න පිළිබඳවද බිල් ගේට්ස් තම අදහස් ඉදිරිපත් කළේය. එහීදී ඔහු යෝජනා කරන ප්‍රධාන පිළියමක් වන්නේ එන්නත් වැඩිදියුණු කිරීමය. කෙසේ නමුත් වර්තමානයේදී නව එන්නතක් නිෂ්පාදනය කිරීම හා ඊට අවශ්‍ය බලපත්‍රය ලබාගැනීම සඳහා වසර 10කට ආසන්න කාලයක් ගතවීම එහිදී බරපතළ ගැටලුවක් බවද මතු කර තිබේ. එය වේගවත් ක්‍රියාවලියක් බවට පත්කිරීමේ අවශ්‍යතාවක් මේ සමඟ පැන නැඟී ඇත.
ගේට්ස්ගේ තවත් යෝජනාවක් වනුයේ වසංගත ආරක්ෂණ පද්ධතියක් තුළින් ලෝකයේ සියලු රටවල් ආරක්ෂාකාරී කරගැන්මට පියවර ගතයුතු බවය. සරලව කිවහොත් අන්තර්ජාලයෙන් හෝ වෙනත් පරිගණකයකින් වෛරස තම පරිගණකය තුළට ඇතුළුවීම වළක්වන වෛරස් ආරක්ෂණ පද්ධතියක් මෙන් සියලු රටවල් බැහැරින් පැමිණෙන වසංගත රෝග හඳුනාගැනීමටත් වළක්වාගැනීමටත් පුළුල් අවධානයක් යොමු කළ යුතුව තිබේ. වසංගත ස්වරූපයෙන් පැමිණෙන අර්බුදකාරී අවස්ථාවන්ට යුද්ධයකට සැරසෙන්නාක් මෙන් සූදානම් විය යුතු බැව් ද ඔහු අවධාරණය කර සිටියේය..
අතීතයේ පැවැති මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ඨාචාරය හිටි හැටියේ විනාශ වී ගිය අයුරු අප අසා ඇත්තෙමු. නමුත් ඒ කෙසේද කුමන හේතුවක් මතද යන්න අදටත් උභතෝකෝටිකයකි. තාක්ෂණ ශිෂ්ඨාචාරයකට අවතීර්ණ වී සිටින මුත් වර්තමාන ලෝකයද මොහෙන්ජොදාරෝ හරප්පා තරම් අනාරක්ෂිත බව බිල් ගේට්ස්ගේ අනතුරු හැඟවීමත් සමඟින් දැනී යයි. එබැවින් මනුෂ්‍ය වාසයට වෙනත් ග්‍රහලෝක සොයාගැනීමට පෙර පෘථිවිය තුළ මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම තහවුරු කරගැනීමට සියලු පියවර ගැනීම ලෝක නායකයන්ගේ ප්‍රමුඛතාවය විය යුතුය.
♦ රජිත ජාගොඩආරච්චි