හෙරොයින් දිය කර රබර් මිශ්‍ර ෂීට් නිෂ්පාදනය කර, තම ගමන් මල්ලේ ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන පසුගිය සතියේ කටාර් සිට මෙරටට පැමිණි පකිස්ථාන ජාතික තරුණයෙක් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත් විය. එය පසුගිය සතියේ තරමක උණුසුම් පුවතක් බවට පත් විය. ඔහු එලෙස රැගෙන ආ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් පහයි ග්‍රෑම් පන්සියයක් විය. එහි වටිනාකම රුපියල් කෝටි පහ හමාරක් විය.
ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒමට ජාවාරම්කරැවෝ විවිධ උපක්‍රම භාවිත කරති. කලින් කලට විවිධ දේ අත් හදා බලති. විශේෂයෙන් ගුවන් මගින් ගෙන ඒමේදී විශේෂිත වූ උපක්‍රම භාවිත කරති. ඒ උපක්‍රම අලුත් යැයි පැරුණි යයි වර්ගීකරණය කළ නොහැක. අද ගෙන එන ක්‍රමය හෙට වෙනස් කරති. අතීතයේ ගුවන් මගින් ගෙන ඒමේදී බොහෝ විට ගෙන එනු ලැබූවේ ගමන් මල්ලේ පතුලේ හෝ හැඬලයේ සඟවාගෙය. ව්‍යාජ සපත්තු පතුල් වලද, කාන්තා මුදල් පසුම්බි තුළද රැගෙන ආහ. ඉන් පසු හෙරොයින් කුඩු කුඩා බෙහෙත් කරල් ලෙස සකස් කොට කිලෝ ගණනික් ඒවා ගිල දමා පැමිණියහ. එසේත් නැති නම් ශරීරයේ රහස් පෙදෙස්වල සඟවාගෙන පැමිණ තිබූණි. චොක්ලට් බෝල ලෙසින්ද, ළදරු කිරි පිටි පැකට් ලෙසද, තුනපහ පැකට් ලෙසින්ද රුගෙන ආහ.
සුරෑපී විදෙස් තරුණයින් ලෙසද, ගැබිණි මව්වරුන් ලෙසද හෙරොයින්, කොකේන්, මෙතපෙටමීන් වැනි මත්ද්‍රව්‍ය රැගෙන ආ අවස්ථා බොහෝ විය.
මෙවර අත්අඩංගුවට ගත් පකිස්ථාන තරැණයාගේ වයස අවුරුදු 25 කි. ඔහු පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පදිංචි කම්කරැ වෘත්තියේ යෙදෙන්නෙකු බව කරන ලද විමර්ශනවලදී අනාවරණය විය. ඔහු රුපියල් ලක්ෂ පහක් ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුවක් මත මෙම හෙරොයින් තොගය මෙරටට ගෙන විත් ඇති බව වාර්තා වෙයි. ඔහුගේ ගමන් බල පත්‍රය පරික්ෂා කරද්දී අනාවරණය වී ඇත්තේ ඔහු මීට පෙරද මෙරටට පැමිණ ඇති බවයි. සැකකරු එම අවස්ථාවේදීද මේ අයුරින් හෙරොයින් ගෙනවිත් ඇති බවට මේ වන විට සැකයක් පැන නැගී ඇති බවත් වාර්තා වෙයි.
මෙම තරුණයා පකිස්තාන ජාතිකයෙකු වුවත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ කටාර් රාජ්‍යයේ සිටයි. ඒ අනුව පෙනී යන්නේ ආරක්ෂක අංශවල ඇස් වසා ඔහු පකිස්ථානයේ සිට කටාර් වෙත ගොස් එහි සිට මෙරටට පැමිණ ඇති බවයි. සාමාන්‍යයෙන් කටුනායන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාරයංශ නිලධාරීන් මෙන්ම රේගු නිලධාරීන්ද පකිස්ථානයේ සිට එන ගුවන් යානා දෙස ඔවුන්ගේ උකුසු ඇස් රඳවා සිටිති. ඒ බොහෝ විට මීට පෙර අවස්ථාවලදී බොහෝ පකිස්ථානුවන් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත්තේ එරට සිට පැමිණීමෙන් වීමයි.
හෙරොයින් දිය කර අඟල් බාගයක් පමණ ඝනකම රබර් කාපට් තුනකට වක් කර ගමන් බෑගයේ පතුලේ රෙක්ෂීණය තුළට දමා ඒ මතින් සැකකාර පකිස්ථාන තරුණයාගේ ඇඳුම් පැලදුම් හා බඩු බාහිරාදිය අසුරා තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ උසස් නිලධාරියෙක් පැවුසුවේය. ඔහු වැඩිදුරටත් පැවසූවේ බැලූ බැල්මෙන්ම මෙම කාපට් බෑගයේ පතුල ශක්තිමත් කිරීමට යොදා ඇති ද්‍රව්‍යයක් ලෙස දිස් වූ බවයි. කෙසේ වෙතත් මෙවැනි සූක්ෂම ක්‍රමයක් අනුගමනය කරමින් විදේශයක සිට මෙරටට මත් කුඩු ගෙන විත් අසු වු ප්‍රථම අවස්ථාව මෙය බවත් ඔහු කීවේය.
සැබැවින්ම මෙය සුවිශේෂී වැටලීමකි. රටේ අනාගත තරැණ පරම්පරාව විනාශ කිරීම යම් පමණකින් හෝ නවතා ගැනීමට හැකිවීම පිළිබඳ ගුවන්තොටුපොළ මත් ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි.
මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමේදී අපට අනාවරණය වූයේ මෙම කාපට් කුඩා කැබලිවලට කපා රුපියල් දෙදහසත් තුන්දහසත් යන මිළ ගණන් යටතේ අලෙවි කරන බවයි. මේවා පුලුස්සා එහි දුමාරය ආඝ්‍රාණය කීරීමට මත් ලෝලීන් ක්‍රියා කරන බවත් දැන ගත හැකි විය. මෙයින් එක් කැබැල්ලක් පුලුස්සා මත් ලෝලීන්ට සමුහ වශයෙන් එක්ව පාවිච්චි කිරීමට හැකි වීම නිසා නාගරික තරුණයින් අතර ජනප්‍රියත්වයට පත්ව ඇති බවත් අනාවරණය විය.
කෙසේ වෙතත් හෙරොයින් මත් ද්‍රව්‍යවලට අමතරව රබර් කැබිලි පිලිස්සීමෙන් ඒවායේ ඇති රසායනික ද්‍රව්‍ය සහිත දුමාරය ආඝ්‍රාණය කිරීමෙන් මත් කුඩු ලෝලීන් විවිධ රෝග වලට ලක් වීම මෙහි ඇති භයානකකමයි. මුදල් මත සියලු දේ තීරණය වන මේ සමාජයේ මිනිසුන් මරා හෝ මුදල් සෙවීම මෙය හොඳ උදාහරණයකි.
බොහෝ විට මෙරටට මත් ද්‍රව්‍ය ගෙන එන්නේ ඇෆ්ගන් බෝඩරයේ සිට පාකිස්ථානය හරහා වෙයි. තායිලන්තයේ බැංකොක් සිට පේරු රාජ්‍ය හරහාද ගුවන් මගින් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන එති. ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය ජාවාරමේ එක් කේන්ද්‍රස්ථානයක් ලෙසද ශ්‍රී ලංකාව තෝරාගැනීමටද ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ක්‍රියා කරති.
ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව මත් උවදුරට හා මත් ප‍්‍රවාහනයට ගොදුරු වන ප‍්‍රබල ස්ථානයක අප රට පිහිටා ඇත. ලොව බහුල වශයෙන් මත් ද්‍රව්‍ය නිපදවන රන් ත‍්‍රිකෝණය (තායිලන්තය, බුරුමය හා ලා ඕසය) සහ රන් චන්ද්‍රවංකය (ඉරාණය, ඇෆ්ගනිස්ථානය හා පාකිස්තානය) ලෙස හඳුන්වන රටවල් අතර ශ‍්‍රී ලංකාව පිහිටා ඇති නිසා මෙකී මත්ද්‍රව්‍ය ගොදුරට පත් විමේ අවදානම වැඩිවී ඇත.
හෙරොයින් ප‍්‍රවාහනය කරන මාර්ග අතර පකිස්ථානය, ඉන්දියාව, තායිලන්තය, බංග්ලාදේශය ඉන්දුනීසියාව හා ශ‍්‍රී ලංකාව එක් මාර්ගයක් බව දැනගන්නට ඇත.
එසේම පකිස්ථානයේ සිට අප‍්‍රිකානු රටවල් එනම් නයිජීරියාව, ගිනියා, අයිවරි කෝස්ට් දකුණු අප‍්‍රිකාව තවත් මාර්ගයකි. අනිත් මාර්ගය නම් පකිස්ථානයේ සිට එක්සත් අරාබි රාජ්‍යය වේ.
මෙම මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය ශ‍්‍රී ලංකාවට වැදගත් වන්නේ ඉන්දියාවේ සිට ශ‍්‍රී ලංකාවට හෝ බංගලි දේශය හරහා කෙරෙන ගමන් මාර්ගය නිසාය. චීනයේ සිට මැකාවේ රටටත්, මියන්මාරයේ සිට චීනයටත් තවත් ගමන් මාර්ග දෙකක් පවතී.
අප රට තුළ පවතින නීති පද්ධතිය තුළ මෙම ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටු වුවද ඉන් බේරී යන අවස්ථා සුලබ බව මෙම වැටලීම් සිදුකරන දක්ෂ නිලධාරියෝ පවසති. මෙසේ අත්අඩංගුවට පත් වන සැකකරුවන් තමන් මත් ද්‍රව්‍ය රැගෙන ආ බවට පිළිගත්තද නඩු කටයුතුවලදී ඇති වන සුළු අඩුපාඩුවකින් හෝ තාක්ෂණික දෝෂයක් ඉස්සරහට ගෙන නිදහස් වී යන අවස්ථාද ඇති බවට ඔවුහු පවසති.
නඩු කටයුතුවලදී නඩු කල්යත්ම මත් ද්‍රව්‍යවල රසායනික සංයුතිය වෙනස් වීම මෙන්ම මේවා අස්ථාන ගත වීමද සිදු විය හැකි බැවින් මත් ද්‍රව්‍ය නඩු ඉක්මනින් අවසන් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් රටට අවැසි බවද ඔවුහු පෙන්වා දෙති.
එසේම කෝටි ගණන් මුදල් වැය කර නීතිඥයින් අල්ලා මත් ද්‍රව්‍ය සැකකරුවන් බේරා ගැනීමට ජාවාරම්කරුවන් පෙළඹී සිටින බැවින් රටක අනාගතය විනාශ කිරීමට විවිධ වේශයෙන් පැමිණෙන මෙම අපාරාධකරුවන්ට බුරුලක් ලබා දීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බවද ඔවුහු පවසති.
එසේම මත් ද්‍රව්‍ය වැටලීම් සඳහා යොදනු ලබන පලපුරුදු නිලධාරීන් ගුවන්තොටුපොළ වැනි ස්ථාන වලින් මාරුවීම් සිදුනොකර තබා ගත යුතුය.
මත් කුඩු ජාවාරම මහා පරිමාණ ව්‍යසනයක් ලෙසින් ඉදිරියේදී අප රට ගිලගන්නා බව නම් ඉතා පැහැදිලි කාරණාවකි. එවන් ව්‍යසනයකට පත්ව ඇත මෙවන් මොහොතක ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමුන් හා නීති විරෝධී මත් ද්‍රව්‍ය ප‍්‍රවාහනය අකර්මණ්‍ය කිරීමට අවශ්‍ය මත් ද්‍රව්‍ය සංහාරය සඳහා දැනට වඩා ප‍්‍රබල හා සාර්ථක නෛතික ක‍්‍රියාමාර්ගවල අවශ්‍යතාවයක් ඇති බව ඉතාම පැහැදිලව පෙනෙන කරුණකි.
♦ දීපා අධිකාරි