2017 මාර්තු 11 වන සෙනසුරාදා

කොරියා රස්සා දැන් අත ළඟ

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1157

මේ දිනවල කොරියානු රැකියා වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන්ට අවස්ථා පෑදී තිබේ. බොහෝ තරුණ තරුණියන්ගේ හීනයක් වූ කොරියානු රැකියා සම්බන්ධව තොරතුරු ගෙන එන්නේ ඒ උනන්දුව නිසාමය. මේ පිළිබඳව අප විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ උපුල් දේශප්‍රිය මහතාගෙන් විමසීමක් කළෙමු. කොරියානු රට රැකියාවක් සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මේ ඒ සඳහා සුදුසු කාලයකි. මේ දිනවල ජාතික පුවත්පත්වල ඒ සඳහා ඉල්ලුම් කිරීමට ඉල්ලුම්පත්‍ර පළකර ඇත. මේ පුවත්පත් දැන්වීම් පළකිරීම හරහා මූලික අදියර ආරම්භ වේ.

එයින් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පවත්වන කාලසීමාවත් ඒ සඳහා කරනු ලබන අයැදුම්පත් එම දැන්වීම් හරහා පළකරනු ලැබේ. එමගින් රැකියා අපේක්ෂාවෙන් සිටිනා තරුණ තරුණියන් ප්‍රථමව මෙම අයදුම්පත නිසි ලෙස සම්පූර්ණ කර ලියාපදිංචි වී මෙම කොරියානු භාෂා ප්‍රවීණතාවයට අයදුම්කර එයින් සමත්විය යුතුය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ උපුල් දේශප්‍රිය මහතා මෙසේ පැවසීය.
කොරියානු රුකියා සම්බන්ධව බොහෝදෙනා සිතාගෙන ඉන්නේ ඒක ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් තෝරාගන්නා අයටයි රැකියා ලැබෙන්නේ කියලා. නමුත් අපි කිසිසේත්ම සම්බන්ධ වීමක් වෙන්නේ නෑ. අපි කරන්නේ පහසුකම් සැපයීමක් විතරයි. මේ හැමදෙයක්ම සිදුකරන්නේ කොරියානු රටෙන් නියෝජිතයෝ මෙරටට පැමිණයි. කොරියානු රටේ ඒ සම්බන්ධව ප්‍රධාන නියෝජිතයෙක් ලංකාවේ ස්ථිර පදිංචි වී සිටිනවා, ඒ මේ කර්තව්‍යය සඳහාම. ඔහු හරහා තමයි මේ සියලු දේවල් සිදුවෙන්නේ...

මේ වසරේ 350කට කොරියාවෙන් රැකියා

කොරියානු රටට යාමට තෝරාගන්නා පරීක්ෂණය සඳහා දෙනු ලබන සියලු ප්‍රශ්න පත්‍ර ගෙන එනු ලබන්නේ කොරියානු රටෙනි. පරීක්ෂණය සඳහා දින වකවානු පවා තීරණය කරනු ලබන්නේ එම කොරියානු නියෝජිතයන් විසිනි. පරීක්ෂණය පවත්වන දිනයට කොරියානු නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණ විභාගය අධීක්ෂණ කටයුතු සිදු කරයි. එමෙන්ම පවත්වනු ලබන විභාගයේ ප්‍රශ්න පත්‍ර සියල්ලම කොරියානු නියෝජිතයන් එරටට රුගෙන යති.
අපේ රටේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න පත්‍ර සියල්ලම කොරියානු නියෝජිතයන් කොරියානු රටට රැගෙන යනවා. ඒ සම්බන්ධව කිසිම ශ්‍රී ලාංකික නියෝජිතයෙක්ට සම්බන්ධ වීමක් සිදුවන්නේ නෑ. ප්‍රශ්න පත්‍ර අනුව රැකියා අපේක්ෂක ආපේක්ෂිකාවන්ගේ පරීක්ෂණයේ ප්‍රතිඵල පරීක්ෂණය පවත්වා මාසයක් ඇතුළත ලංකාවේ අප නියෝජිතයන්ට දැනුම් දෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකික නියෝජිතයන් සමත් හෝ අසමත් වීම පිළිබඳව ඒ අදාළ අපේක්ෂකයාට හෝ අපේක්ෂිකාවට දැනුම් දෙනවා... දේශප්‍රිය මහතා මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වීය.

ලිඛිත පරීක්ෂණයෙන් සමත්වූවන්ගේ නාම ලැයිස්තුව නිකුත් වීමත් සමඟ අවුරුදු තුනක් ඇතුළත ඔහුට හෝ ඇයට කොරියානු රජය විසින් රැකියාවක් ලබාදෙයි. ඒ අවුරුදු තුන ඇතුළත කොරියානු රටේ පවතින රැකියා පුරප්පාඩු මත ලංකාවට දැනුම් දීමෙන් ඔවුන් ඒ අදාළ රැකියා අපේක්ෂකයන්ව එරටට ගෙන්වා ගැනීමට කටයුතු සංවිධානය කරයි. එමගින් ලිඛිත පරීක්ෂණය හා අදාළ පරීක්ෂණ සමත්වූවන්ගේ සියලුම සත්‍ය තොරතුරැ කොරියානු රජයේ ලියාපදිංචි වී ඇති බැවින් අදාළ රැකියාවට අනුව සුදුසු රැකියාලාභීන් කොරියානු නියෝජිතයන්ම තීරණය කෙරේ. කොරියානු රජය විසින් කොරියානුවේ පිහිටා ඇති සියලු ප්‍රධාන කර්මාන්ත ශාලා වෙත මෙම රැකියාලාභීන්ගේ සියලු තොරතුරු ඉදිරිපත් කර ඇත. එමගින් එම කර්මාන්ත ශාලාවල පුරප්පාඩු ඇතිවිට ඒ පිළිබඳව කොරියානු රජය වෙත දැනුම්දීමක් කළ පසුව ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂකයන්ට ඒ අදාළ රැකියාව වෙනුවෙන් කොරියානු රටට යාමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු සංවිධානය කෙරේ.
කොරියානු රටට රැකියාව සඳහා යන රැකියාලාභීන්ට වර්තමානයේදී ගුවන් ටිකට්පත් ඇතුළුව සියලු වියදම් සහිතව රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ මුදලක් වැය වේ. ඒ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අවශ්‍ය කරන බැංකු ණය පහසුකම් ලබාදී ඇත.

මේ වනවිට කොරියානු රටට ශ්‍රී ලාංකිකයන් විසිපන්දහසකට අධික රැකියාලාභීන් පිරිසක් ගොස් සිටිති. 2016 අවුරුද්දේ හයදාස් හයසියයක රැකියාලාභීන් එරටට ගොස් ඇත. මේ වසරේදී දැනට තුන්සීය පනහකට පමණ යාමට අවස්ථාව ලැබී ඇත.
කොරියානු රට මැදපෙරදිග රටට සමාන නොවේ. කොරියාව ඉතාම දියුණු සියලු පහසුකම්වලින් සමන්විත රටකි. කොරියානු රටට රැකියාවකට යන සියලු ශ්‍රී ලාංකිකයකුටම අවුරුදු හතරයි මාස දහයක වීසා කාලයක් හිමිවේ. කොරියානු රටට රැකියාවක් සඳහා යනු ලබන ශ්‍රී ලාංකිකයකුගේ මාසික වැටුප අවම වශයෙන් රුපියල් ලක්ෂ දෙකකි. මීට අමතරව වෙනත් දීමනා සහිතව මසකට ලක්ෂ තුනහමාරක් වැනි මුදලක් පවා ගනු ලබන ශ්‍රී ලාංකිකයෝද කොරියාවේ ජීවත් වෙති. කොරියානු රටේ පිරිමි පාර්ශ්වයට මෙන්ම කාන්තා පාර්ශ්වයටද රැකියා සඳහා අවස්ථා ඇත.
කොරියාවට යාමට පෙර සෑම රැකියාලාභියකුගෙන්ම බැඳුම්කරයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්සන් කරගනු ලබයි. එය ලක්ෂ විස්සක වටිනාකමකින් යුත් බැඳුම්කරයකි. ඔහු හෝ ඇය වෙනුවෙන් රජයේ සේවකයෙක් හෝ ඥාතියෙක් අත්සන් කළ යුතුයි. යම් හෙයකින් වීසා අවසානයේදී ඔහු කොරියානු රටේ හොරෙන් අස්ථානගත වුවහොත් එම බැඳුම්කරයේ ඇති මුදල අයකර ගනු ලබන අතර, අත්සන් කළ ඥාතීන්ට නඩු පැවරීමත් සිදුවේ.
මේ පිළිබඳව දේශප්‍රිය මහතා මෙසේ පැවසීය.

කොරියානු රජය ශ්‍රී ලංකාවට මේ ලබාදෙන්නේ අනගි අවස්ථාවක්. ඒක ශ්‍රී ලාංකිකයන් විදිහට අප රැකගත යුතුයි. නමුත් අපේ රටෙන් කොරියාවට ගොස් දැනට පන්දාහකට වැඩි සංඛ්‍යාවක් හොරෙන් ඒ රටේ දැන් ජීවත්වෙනවා වීසා නැතිව. මේ අය හොරෙන් පැනලා වීසා නැතිව අඩු වැටුපකටයි රැකියා කරන්නේ. වීසා නැති අයට කොරියානු කර්මාන්ත  හිමියන් විශාල වැටුපක් ගෙවන්නේ නෑ. හොරෙන් පනින සංඛ්‍යාව වැඩි වූ විට කොරියානු රජය අපිට ලබාදෙන අවස්ථාව අඩු කරනවා. ඒක කොරියානු යන්න බලාපොරොත්තුවෙන් ඉන්න තරුණ තරුණියන්ට විශාල පාඩුවක්. ඉදිරියේදී මේ සම්බන්ධව නීති රීති දැඩි කිරීමට අපි කටයුතු සංවිධානය කරමින් පවතිනවා...
කොරියාවට යන රැකියාලාභීන් අවුරුදු හතරයි මාස දහසේ කාලසීමාව අවසන් වීමත් සමඟ නැවත ලංකාවට පැමිණිය යුතුයි. එමෙන්ම දෙවැනි වරටත් නැවතත් ඔහුට හෝ ඇයට කොරියාවට යා නොහැකියි. ඒ සඳහා නැවතත් ඔහු හෝ ඇයට යාමට අවශ්‍යනම් නැවතත් කොරියානු පරීක්ෂණයට ඉදිරිපත් වී සමත් වීමෙන් පසු නැවත යා හැක. නමුත් ඒ සඳහා වයස අවුරුදු හතළිහ නොඉක්මවා සිටීම අවශ්‍යය.

♦ දිශානි ජයමාලි කරුණාරත්න  

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00