2019 ජුනි 22 වන සෙනසුරාදා

අහම්බයකින් බිහිවූ සොඳුරු කලා නිර්මාණ

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:31 426

කවියෝ, කතාකරුවෝ, ගීත රචකයෝ ඇතුළු නිර්මාණකරුවෝ ඇතැම් විට හිටි හැටියේ නිර්මාණ වේෂය ලබා ඇතැම් කෘතිවලට මුලපුරති. කුසලතා පූර්ණ බවෙන් හෙබි නිර්මාණ කරුවකුගේ නිර්මාණයකට වුවද ඇතැම් විට මුල් වන්නේ ක්ෂණික සිද්ධියකි. හදිසියේ දකින දර්ශනයකි. නැතහොත් කන වැකෙන නාදයකි. නිර්මාණයට මුල පුරන්නේ එකී ක්ෂණික අත්දැකීම් වුවද නිර්මාණය පෝෂණය වන්නේ කලාකරැවා කාලයත් සමඟ ගොඩනගා ගත් ප්‍රතිභාව හේතුවෙනි. යම් සිද්ධියක් නිසා නිර්මාණකරුවා තුළ හටගන්නා කම්පනයට ඇතැම්විට නිර්මාණ වේෂය වෙයි. 

ඇතැම් චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, සංගීතඥයන් හිටිහැටියේ ගන්නා තීර්ණ හේතුවෙන් ඒ අයගේ නිර්මාණ සාර්ථක වූ අවස්ථා තිබේ. මෙරටත් වෙනත් රටවලත් සංගීතඥයන්, චිත්‍රපට අධ්‍යක්ෂක හිටි හැටියේ ගත් තීරණ නිසා (පිළිවෙළින්) ගායන ශිල්පීන් හා රංගන ශිල්පීන් බිහිවී තිබේ.

කලාවෙන් මනස පෝෂණය කරගෙන ඉන්නා තැනැත්තා නිර්මාණාත්මකව තම ආවේගය මුදා හරින්නේ කලා කෘතියක් බිහි කරමිනි. සහෘදයෝ ඔහුගේ නිර්මාණය රසවිඳිති. රසවිඳ ගැනීමෙන් ලැබෙන අත්දැකීම පාඨකයාගේ නැතහොත් ශ්‍රාවකයාගේ ජීවිතය පෝෂණය කරනු ලබයි. 

කලාකරුවන්ගේ නිර්මාණ වේෂය උද්දීපනය කළ සිද්ධීන් ගැන කතා කිරීමද ආශ්වාද ජනකය. කලා කෘති රස වින්දනයට ද එයින් යම් පිටුවහලක් ලැබී, යම් අභිප්‍රේරණයක් ඉන් ඇතිවෙයි. අප අතර අපේ කාලයේ ප්‍රචලිත නිර්මාණ කිහිපයක් ඇසුරින් මෙම කරුණු කතා කිරීම වඩා යෝග්‍යය. ඇතැම් කරුණු මෙහිදී උපයෝගී කරගන්නේ සමාජ වෙබ් අඩවිවල පසුගිය කාලයේ සටහන් වූ කරුණු ආශ්‍රයෙනි. එම නිසා එම තොරතුරුවල සත්‍යතාවයේ යම් අඩුපාඩු තිබිය හැකියි. 

කලාකරුවන් රාත්‍රියට, සඳ එළියට, තරු එළියට සහ සොභා සොඳුරු බවට ආශා කරන්නේ නිර්මාණ වේෂය ලැබීමට ඉන් යම් පිටුවහලක් ලැබෙන බැවිනි. එහෙත් බොහෝ කෘතිවලට මූලාරම්භය සපයා ඇත්තේ සෞන්දර්යව නොවේ. අන් අයගේ මරණය ද පුළුල් ජීවන දර්ශනයක් ඇති කෘති බිහිවීමද කලාකරුවන්ට නිර්මාණ වේෂය ලබා දී තිබේ.

අසාහය ලේඛක ඇන්ටන් චෙකෝෆ් අතින් ගුසෙව් නම් කෙටි කතාව බිහිවෙන්නේ මිනිසුන් ලෙඩ වන හැටි මරණයට පත්වන හැටි අත්දකින නිසාය. 1890 දී ඔහු සතාලින් නම් දූපත කරා ඇදෙන නැවත ගමන් ගනිමින් සිටියේය. මේ නැවේ ගමන් කළේ ඈත පෙරදිග යුද සේවයට ගොස් ආපසු එමින් සිටි තුවාල ලැබූ සහ ලෙඩ රෝගවලට භාජනය වූ සොල්දාදුවන්ය. නැවේදී මිය ගිය රෝගියකුගේ සිරුරක් රුවල් කඩක ඔතා මුහුදට විසිකරනු දුටු ඔහුගේ සංවේදී සිත කම්පනයට පත්වූයේය. 1890 දෙසැම්බර් 25 වැනි දින ඔහු පළකළ ගුසෙව් කෙටි කතාව රචනා කරන්නට ඔහුට නිර්මාණ වේෂය ලබාදෙන්නේ එම සිද්ධියයි. 

ඒ සියවසකටත් පෙර ලෝක පූජිත රචකයකු ලැබූ අත්දැකීමකි. මෑත කාලයේ අප රටේ පොදු ජනයා අතර ජනප්‍රියත්වයට පත්වූ සේනානායක වේරලියද්ද ගායනා කරන “පෙරුම් පුරා ගෙන ආ සංසාරේ” ගීතය ලියන්නට මා දැනගත් පරිදි මහකණුමුල්ලේ වජිර හිමියන් ආවේශය ලබා ඇත්තේ මරණය පිළිබඳ සිදුවීමකිනි. ඒ හිමියන් අනුරාධපුරයේ සිට කොළඹට දුම්රියෙන් එන ගමනේදී වෙනදා නොනවත්වන තැනක හදිසියේ දුම්රිය නතර කොට තිබේ. කුමක් නිසා දුම්රිය නතර කළේද යන්න විමසා ලැබූ වජිර හිමියන් දැනගත්තේ තරුණ කාන්තාවක් දුම්රියට පැන පණ නසාගත් බවයි. එම පුවත ඇසීමෙන් ලද කම්පනයම එවැනි සාර්ථක ගීතයක් ලියන්නට ඒ හිමියන්ට නිර්මාණ වේෂය ලබාදුන් බව කියවේ. “කාටද රිදුණේ කවුරු ද හැඬුවේ - දුම්රිය මොහොතක් නතර වුණේ..”

දුම්රිය ගැන එම ගීතයේ කියවෙන්නේ ඒ ටික පමණකි. තරුණියක් ගැන කිසිදෙයක් එම ගීතයේ නැත. එහෙත් දුක, සැප දෙකම අපගේ ජීවිතයට අයත් බවත්, ඒ දෙකම විඳදරාගෙන ජීවිතය තුළ සුන්දරත්වය දැනහඳුනා ගැනීමේ වගකීම පිළිබඳ කියවෙන අරුතක් ඒ ගීයේ පවතී. එම පද තුන හතරෙන් අසන්නාගේ හිතට දෙන ජීවන දෘෂ්ඨිය, පත්තර පිටු ගණනකින් එම පුවත ගැන කරන වාර්තාවකින් පාඨකයාට දිය නොහැක්කේමය. 

“වරක් නෙතඟ කඳුලැලි පිරුණාදෝ
සිතට දරා ගනු බැරි දුක් වීදෝ
දිවිය මොන තරම් සුන්දර දෝ
දුකම කොයි තරම් සතුටක් දෝ”

තමා අත්දුටු දේ ගැන ශ්‍රාවකයා ඉදිරියේ වර්තාවක් නොතබා, පොදු ජනයාට ඉවහල් වන ජීවන දෘෂ්ඨියක් ලෙස ගීතය නිර්මාණ වන්නේ කාලයක් පුරා ඒ හිමියන් ගොඩනගා ගෙන සිටි කාව්‍යමය පරිචය නිසා වගකිව හැකිය. 

කුරිරු වෙඩි පහරකින් මිය ගියත් අපේ ගීත ශ්‍රාවකයන්ගේ සිත් තුළ කිසිදා මිය නොයන ප්‍රේම කීර්ති ද අල්විස් ඇතැම් ගීතවලට මුලපිරූ හැටි ගැන කියවෙන කතා රාශියක් සමාජ මාධ්‍යවල පළවේ. “සඳ කැන් වැසිලා” ගීතයට මුල්වූ අතිශය සංවේදී පෞද්ගලික අත්දැකීමක් ගැනද එම කතාවල පළවී තිබේ.

දැන් තරුණයන්ගේ ළමා කාලයේ අපේ තරුණ කාලයේ රූපවාහිනියෙන් ප්‍රචාරය වූ දොස්තර හොඳ හිත සැකිලි රූ කතාංගයකට ප්‍රේමකීර්ති රචනා කළ “බෑයි කියලා බෑයි කියලා බෑ” ගීය රචනා කළ ආකාරය ගැනද අපූරු කතාවක් ඇත. මෙම වැඩසටහන් අධ්‍යක්ෂණය කරමින් මහඟු මෙහෙවරක් කළ ටයිටස් තොටවත්තයන් එකී කතාංගය සඳහා තේමා ගීයක් ලියන ලෙස ප්‍රේමකීර්තිට කියා තිබුණ බව කියවේ. ටික කලක් ගත වුණත් ප්‍රේමකීර්ති අතින් යෝජිත ගීය ලියවුණේ නැතිලු. 
“උඹට බැරි නම් බැහැයි කියපන්” ටයි මහත්තයා ප්‍රේමකීර්තිට එසේ කීවේලු. ප්‍රේමකීර්ති එකී ගීය පටන් ගෙන ඇත්තේ කනට ඇසුණ එම වචන කිහිපයෙනි. 

“බැහැයි කියලා බැහැයි කියලා බෑ
බැහැයි කියලා බැහැයි කියලා බෑ
බෑ කියලා බැරිය මලේ බෑ කියලා 
බැරිය නගේ
බැහැයි කියලා බැහැයි කියලා බෑ”

ධනාත්මක චින්තයක් ගැන පෑ ගණනක දේශනයකින් අත්නොවිඳින දෑ එම ගීතයෙන් උකහා ගතහැකිය.

තමාගේ නැගනියකගේ දුවක අතින් අල්ලාගෙන පාර පැන්න ප්‍රේමකීර්ති සිතේ උපන් දාරක ස්නේහය නිසා සැම රසවිඳ ගතහැකි ගීයක් රචනා කළේය. එය නිරංජලා සරෝජනී මනබඳින ආකාරයෙන් ගායනා කළාය.

“පුංචි දුවක් ඉස්කෝලෙට පාර පනිනවා
මගේ හිතෙන් පුංචි දුවෙක් පාර පනිනවා
පුංචි දුවක් ඉස්කෝලෙට එක්කන් යනවා
හිත ඇතුළෙන් මමත් දුවෙක් එක්කන් යනවා

දුවක ලබන්නට ඇති ආසාව එදිනෙදා කතා කරන වචනවලින් සැමට සංවේදී ගී පද බවට පෙරළී ඇත්තේ එසේය.

බඹරු ඇවිත් චිත්‍රපටයේ තේමා ගීතය ලියූ ඩබ්ලිව්. ජයසිරි බොහෝ දෙනා හඳුනන්නේ රංගන ශිල්පියකු ලෙසයි. එහෙත් ඒ හා සමාන දක්ෂතා ඇති ගීත රචකයෙක් හා විචාරකයෙක් ඔහු තුළම ජීවත් වෙයි. සෑබෑ අරුතින්ම ඔහු කුසලතා පූර්ණ කලාකරුවෙකි. සනත් නන්දසිරි ගායනා කරන “නිදි කුම්බා මල් කැකුලී” ගීතයත් ඊට හාත්පසින් වෙනස් වූ සුනිල් පෙරේරා ගයන “ලොරෙන්සෝ ද අල්මේදා කොළොම් තොටට යහපත් නාවිකයා” ගීයත් ඔහුගේ රචනාය. බඹරු ඇවිත් තේමා ගීතය රචනා කරන ලෙස ධර්මසේන පතිරාජ ශූරින් ඔහුට ආරාධනා කර තිබුණත් ටිකක් කල්ගත වන තුරු ඔහු ලියූ ගීතයක් නැත. දවසක් ධර්මසේන පතිරාජ ශූරීන් ඇතුළු මිතුරු නිර්මාණවේදීන් ඔහුව කාමරයකට දමා දොරගුළු ලෑ බව කියවේ. ඔහුට අවශ්‍ය නම් ගන්නට මධු විතද කාමරය තුළට දැමුණේය. “සින්දුව ලියලා මිසක් උඹට එළියට එන්න බෑ..” පතිරාජයෝ කීහ. ඩබ්ලිව්. ජයසිරි ලියන ලියන පද පෙළ දොරේ යටින් එළියට ආයේය. එන එන ඒවා ප්‍රතික්ෂේප විය. 1978 වසරේ හොඳම චිත්‍රපට ගියේ පද පෙළ දොර යටින් එළියට ආයේය. ඔහුව දමා අගුලු ලෑ කාමරයේ දොර හැරුණේ එවිටය.

“උදුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා” 

එකී පද පෙළට කේමදාසයන්ගේ සංගීතය මුසුවිය. ටී.එම්, අයිවෝ, සුනිලා, සුනේත්‍රා යන ගායන ශිල්පීන්ගේ ප්‍රතිභාපූර්ණ හඬ ඊට එක්විය. 

උදුම්බරා ගීය ලියන්නට ඩබ්ලිව්. ජයසිරි නිර්මාණ වේෂය ලබා ඇත්තේ එසේය. රඟපාන්නට නොදී ඉඳහිටවත් කඩදාසියක් පෑනක් සහ මී විත සමඟ ඔහු දොරගුළු දමා සිරකරණු වටී. 

මෑතකදී විශ්වවිද්‍යාල සිසුවෙක් තම පෙම්වතිය කෙරෙහි උරණ වී ඇයට පිහියෙන් ඇන්නේය. තම පෙම්වතිය තවකෙකු සමඟ සමීප විම ඊට හේතුවූ බව කියවේ. මෙවැනි සිද්ධියක් මීට අවුරුදු 15කට පමණ පෙර එකී විශ්වවිද්‍යාලයේම සිදුවූයේය. සෑම තරුණයෙකුම නිර්මාණ රසවිඳගන්නා අයකු හෝ නිර්මාණ කරුවකු වී නම් මැනවයි මේ සිද්ධිය නිසා සිතේ. බොහෝ නිර්මාණ බිහි වී ඇත්තේ ආදරය නිසා සිතේ හටගත් විරහ වේදනාව නිසාය. විරහ වේදනාව නිසා නිර්මාණ වේෂය ලද නිර්මාණකරුවන් බොහෝය. නිර්මාණකරණය පුද්ගලයකුගේ ආත්ම ශික්ෂණය ඇති කරයි. ඔහුගේ හැඟීම් ශික්ෂණයෙන් යුතුව මුදාහරින්නට නිර්මාණ කුසලතාව ඔහුට මඟ පාදයි. කලා කෘති පරිශීලනය කරන සහෘදයා ජීවිත කාලයක් පුරා ලබන අත්දැකීම් කෙටි කාලයකදී ලබාගනී. එදිනෙදා ජීවිතයට මුහුණ දෙන්නට අවශ්‍ය දැනුම ජීවිතාවබෝධය ඒ මගින් සහෘදයාට ලැබේ. 

හොඳ නවකතා විස්සක් පමණ කියවන විසි වැනි වියේ පසුවන තරුණයා අවුරුදු 100ක මිනිසකුගේ ජීවිත අත්දැකීම් කෙටි කාලයකදී ලබන බව මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් කියා ඇත්තේ ඒ නිසාය.

අපේ ජීවිත කාලය පුරා බොහෝ අපූර්ව අත්දැකීම් විඳගන්නට කලා කෘති අපිට මඟ පාදයි. ක්ෂණිකව සිතට එන සිතුවිල්ලකින් තම ජීවිත පරිඥානය ඉවහල් කරගෙන නිර්මාණකරුවෝ නිර්මාණ කරති.

එදිනෙදා සිතට එන ක්ෂණික සිතුවිලි නිර්මාණාත්මකව විඳගන්නට අවශ්‍ය ජීවිත පරිඥානය අපට ලැබෙන්නේ කලා කෘතිවලිනි. චිත්තාවේගය විනාශයට නොව නිර්මාණයට හේතු සාධක වීම කොයිතරම් වටන්නේද?

 සමන් පුෂ්ප ලියනගේ