වොක්ස්වාගන් මෝටර් රථය ඉතා පැරැණි මෝටර් රථයකි. එහෙත් අදටත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් අතර එය ජනප්‍රිය මෝටර් රථයක් ලෙස හැඳින්විය හැක. අද වනවිට ලංකාවේ වොක්ස්වැගන් හිමිකරුවන්ගේ සංගමයක්ද පවත්වාගෙන යයි.
මෙම සංගමය ආරම්භ කරන ලද්දේ 1997 වසරේදීය. සාමාජිකයන් අට දෙනකුගෙන් ඇරුඹුණු සංගමය වර්තමානයේදී දෙසීය පනහකටත් අධික සාමාජිකයෝ වෙති. සෑම වසරකදීම මොවුහු ලංකාව පුරා විසිරී තියෙන වොක්ස්වැගන් මෝටර් රථ එකතුකර ප්‍රදර්ශනයක් පවත්වති. මේ ගෙවන්නේ එහි විසිවැනි වසරයි. වසර විස්සක් නොකඩවා මෙම මෝටර් රථ සවාරිය පවත්වාගෙන ඒමට ඔවුහු සමත්ව සිටිති.
මෙවර අපි හිල්ටන් හෝටලයෙන් අරඹා වාද්දුව Haridara Hotel දක්වා ගමන් කරනවා. අපි වෝක්ස්වැගන් කාර් සමඟ වෑන් සීයකට අධික ප්‍රමාණයක් මේ සඳහා සහභාගි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා මහනුවර පැවැති වොක්ස්වැගන් සමාජයකුත් අපිත් සමඟ අත්වැල් බැඳගන්නවා. වාද්දුව Haridara හෝටලයේදී අපි තෑගි ප්‍රදානෝත්සවයක්ද පවත්වනවා. මෙම වෝක්ස්වැගන් මෝටර් රථ සවාරිය මාර්තු මස 31වෙනිදා කොළඹ හිල්ටන් හෝටලයෙන් උදෑසන ආරම්භ කරනවා. යැයි මෙම සංගමයේ සභාපති පීටර් ජාසිංහ මහතා දේශයට පැවසීය.
බොහෝ ශ්‍රී ලාංකිකයන් වොක්ස්වැගන් මෝටර් රථය හඳුන්වන්නේ &ඉබ්බා කාර්, ගෙම්බා කාර් යනුවෙනි. ජර්මනියේ නිෂ්පාදිත වොක්ස්වැගන් මෝටර් රථය 1947 වසරේදී පළමුවරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබීය. ඉන්පසුව බොහෝ ව්‍යාපාරික මෝටර් රථ ලෝලීහු මෙම ඉබ්බා මිලදී ගත්හ.
වොක්ස්වැගන් රථයේ ප්‍රධාන ඉංජිනේරුවා වන්නේ ජර්මනියේ ෆර්ඩිනන්ඩ් පෝෂේය. ඔහු විශිෂ්ට මෝටර් රථ ඉංජිනේරුවෙකි. කාන්තාරවල ගමන් කළ හැකි; ජලය නොමැතිව භාවිත කළ හැකි මෝටර් රථයක් නිර්මාණය කිරීමේ කාර්යය පෝෂේට පවරණ ලද්දේ හිට්ලර් විසිනි. ජර්මනියේ එවකට පැවැති යුදමය වාතාවරණය යටතේ මෙවැනි රථයක අවශ්‍යතාවය හිට්ලර්ට දැඩිව දැනෙන්නට විය. එමෙන්ම එය ඉතා අඩු මුදලකට මිලදි ගත හැකි රථයක් විය යුතු බවත්, ජලය භාවිතයෙන් තොරව සුළඟ සහ ඉන්ධන පමණක් භාවිත කළ යුතු ඉතා වේගයෙන් පැදවිය හැකි මෝටර් රථයක්ද විය යුතු බවත් හිට්ලර්ගේ නියෝගය විය.
හිට්ලර්ගේ හිතේ ඇඳුණු මෝටර් රථය ටික කාලයකින් පෝෂේගේ අතින් නිර්මාණය විය. රේඩියේටරයක් නොමැතිව සුළඟ මඟින් එන්ජිම සිසිල්වන වාහනයක් පෝෂේ සැලසුම් කළේය.
ඇතැම්හු මෙම මෝටර් රථයේ හැඩය පිළිබඳ විවිධ කතා කීහ. ගර්භනී කාන්තාවන් උඩුකුරැව නිදා සිටින ආකාරයෙන් පෝෂේ වොක්ස්වැගන් මෝටර් රථය නිෂ්පාදනය කරන්නට ඇතැයි සමහරැ පැවසූහ. නමුත් බොහෝදෙනා මෙම ඉබ්බා මෝටර් රථයේ හැඩයට කැමැති වූහ. වොක්ස්වැගන් මෝටර් රථයේ වේගය වැඩිකර ගැනීම සඳහා මෝටර් රථයේ එන්ජිම පිටුපසට සවිකර තිබුණි. වොක්ස්වැගන් බොහෝ මෝටර් රථවල පිටුපස දොරවල් නොමැතිව නිෂ්පාදනය වී ඇත්තේ එහි ශක්තිමත් බව මෙන්ම නිෂ්පාදනයේදී වියදම අඩුකර ගැනීමටය.
දෙවැනි ලෝක යුද සමයේදී භාවිතා කළ බොහෝ වොක්ස්වැගන් රථවල රියැදුරු අසුනට පිටුපස කරකවා වෙඩි තැබිය හැකි පරිදි තුවක්කු සවිකර තිබුණි. එය හිට්ලර්ගේ සංකල්පයයි.
ජර්මන් භාෂාවට අනුව Volkswagen ලෙසින් හඳුන්වන්නේ People’s Car 31 යන්නය. මේ නිසා මෙය පසුකාලීනව මහජනතාවගේ මෝටර් රථය ලෙස හඳුන්වනු ලැබීය. සැබැවින්ම පසුකාලයේදී වොක්ස්වැගන් මෝටර් රථයට විශාල ඉල්ලුමක් ලැබුණි. වර්තමානයේදී මෙය මිලෙන් අධික ඇන්ටික් වාහනයක් ලෙසද හැඳින්විය හැක. මේ අතර වොක්ස්වැගන් මෝටර් රථවලට කැමැති අය මෙන්ම තමන් සතු පැරණි වොක්ස්වැගන් මෝටර් රථය කිසිවිටෙකත් විකිණීමට අකමැති වෝක්ස්වැගන් ලෝලීහුද ශ්‍රී ලංකාවේ ඕනෑතරම් සිටිති.
මුල් කාලයේදී ඇතැම් වොක්ස්වැගන් මෝටර් රථවල වෘක පෙනුමක්ද දිස්විය. මේ නිසාම ජර්මනියේ වොක්ස්වැගන් නිෂ්පාදනය කරනා ප්‍රධාන සමාගමක් පිහිටුවා ඇති නගරයට වුල්ෆ්බර්ග් යන නාමයද තබනු ලැබීය. වොක්ස්වැගන් මෝටර් රථය හඳන්වා දුන් මුල් කාලයේදී එහි පැති කණ්ණාඩිය පැවැතියේ දකුණු පස පමණි.
අද වනවිට වොක්ස්වැගන් මෝටර් රථයට ඇත්තේ විශාල ඉල්ලුමකි. බොහෝ වොක්ස්වැගන් හිමිකරුවෝ තම මෝටර් රථය අපූරැවට නවීකරණය කර නවීන මාදිලියේ මෝටර් රථයක් සේ පරිහරණය කරති. වර්තමානයේ වොක්ස්වැගන් රථයේ ජනප්‍රියම රථය හඳුන්වනු ලබන්නේ Volkswagen Beetle නමිනි. කුරැමිණියෙකුගේ හැඩය ගන්නා බැවින් එය මේ නමින් හැඳින්වීය.
මාර්තු මස 31 වැනිදා දිවයින පුරා විසිරී තිබෙනා වොක්ස්වැගන් මෝටර් රථ කොළඹ සිට වාද්දුව දක්වා සවාරියක් යාමට නියමිතය.
දිශානි ජයමාලි කරුණාරත්න