2019 මාර්තු 23 වන සෙනසුරාදා

වසර 07කට පස්සේ ආපසු ඇරුණු ඉස්කෝලේ

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 119

ජනතාවගේ බදු මුදලින් යැපෙමින් සියලු දීමනා ලබමින් ජනතාවගේම බදු මුදල් වැය කරමින් පාසල් ගොඩනැගිලි ඉදිකර එම පාසල්වලට තමන්ගේ නම් යෙදූ දේශපාලනඥයන් විසූ පළාතක සත් වසරක ශාපයකට ලක්වී ඉගැන්වීමට ගුරැවරැන්ද නොමැතිකම හේතුවෙන් වසර හතක් (07) වසා දමා තිබූ ඉතා දුෂ්කර ගොවි ජනපදයක පිහිටි ප්‍රාථමික විදුහලක් යළිත් පුනර්ජීවය ලබමින් ප්‍රදේශයේ අසරණ දරුවන්ට යළිත් අකුරු කියවන්නට තක්සලාවක් බවට පත්ව තිබේ.

උඩදුම්බර මැතිවරණ කොට්ඨාසයේ මිණිපේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ කොළොන්ගොඩ ගොවි ජනපදයේ කිඹුලාඇළ ගම්මානයේ ගොවි ජනතාවගේ දරුවන් පළමු වසරේ සිට පහ වසර දක්වා මූලික අධ්‍යාපනය ලබමින් සිටි කිඹුලාඇළ ප්‍රාථමික විදුහල වසා දැමුණේ එම විදුහලේ ඉගැන්වීම් කටයුතු කළ ගුරුවරුන් ප්‍රදේශයේ සේවය කිරීම ප්‍රතික්ෂේප කරමින් වෙනත් ප්‍රදේශ කරා මාරැවී යාම හේතුවෙනි.

ගුරැවරැන් නොමැති වීමත් සමඟ විදුහලේ ඉගෙනුම ලැබූ දරුවන්ද එකිනෙකා අවට පිහිටි පාසල් කරා යාමත් සමඟ කිඹුලාඇළ ප්‍රාථමික විදුහල වැසී යන තෙක්ම ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරීහු කිසිවක් නොදත්වුන් සේ නිහඬ වූහ.විදුහල වැසී යාමත් සමඟ විදුහල් පරිශ්‍රය වල්බිහිවී, ගොඩනැගිලිද දුරාචාර කටයුතුවල යෙදෙන්නන්ගේ වාසභූමියක් බවට පත්විය. මැදරට අධ්‍යාපනය ඉහළ නංවන්නට ජනතා මුදල් ලක්ෂ කෝටි ගණනින් වැඩි කරමින් සම්මන්ත්‍රණ සාකච්ඡා පැවැත්වූ පළාතේ දේශපාලන බලධාරීන් විදුහල වැසී අසරණ දරැවන්ට පාසලද අහිමි වී සැතපුම් හතක් දුර ගිනිකාෂ්ඨක අව්වේ දුෂ්කර ගමන් මඟක් ගෙවා වෙනත් පාසලකට යමින් සිටියදී එම දේශපාලනඥයෝ මොන්ටේරෝ වැනි අතිසුපිරි වායු සමනය කළ වාහනවල නැගී පිම්මේ යති.

වසර හතක් තිස්සේ වසා දමා තිබූ කිඹුලාඇළ ප්‍රාථමික විදුහල් ගොඩනැගිල්ල විනාශ වී යන බැවින් එකී ගොඩනැගිල්ල කිසියම් පොදු කාර්යයක් සඳහා යොදවා ගැනීමට මිණිපේ ප්‍රාදේශීය ලේකම් වත්සලා මාරඹගේ මහත්මියට පැවරිණි. විදුහල වැසී යාම පිළිබඳව ගම්වාසීන් කම්පා වද්දී මිණිපේ ප්‍රාදේශීය ලේකම් වත්සලා මාරඹගේ මහත්මිය මෙම විදුහල යළිත් විවෘත කර ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය නැංවීම පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා දැනුම්වත් කළේ ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් අනුරාධ තෙන්නකෝන් මහතා හරහාය.

වසා දමා තිබූ පාසල් ගොඩනැගිල්ල පිළිබඳව සොයා බැලීමට පළාත් ආණ්ඩුකාරවරයා මිණිපේ ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ද මිණිපේ ප්‍රාදේශීය සභාවේ සභාපති සුමිත් අබේසිංහ ඇතුළු ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද කිසිදා නැති උනන්දුවකින් කිඹුලාඇළ ගම්මානයට පැමිණියහ.

 


ගම්වාසීන් එකාවන්ව පැවසුවේ අවුරුදු හතක් තිස්සේ වසා දමා තිබෙන තම ගමේ පාසල පිළිබඳව සොයා බලන්නට දේශපාලනඥයන් පැමිණීම පිළිබඳව තමන් මවිතයට පත්වන බවයි.

මැතිවරණ සමයේ තම ඡන්දය කොල්ලකා ගැනීමට ගමට පැමි‍ණෙන දේශපාලනඥයෝ ඡන්දෙ නිමාවූ පසු ගමට නොපැමිණෙන බවත් ඔවුන් කොයි මොහොතක හෝ පැමිණෙන තෙක් තමන් බලා සිටියේ ඔවුන් හමුවේ වචනයක් දෙකක් කීමට බවත් ගම්වාසීහු කිඹුලාඇළ ගමට පැමිණි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාටත් අනෙකුත් ප්‍රාදේශීය දේශපාලනඥයන්ටත් පළාතේ රාජ්‍ය නිලධාරීන්ටත් පැවසූහ.

වසා දමා තිබෙන ගමේ පාසල කඩිනමින් විවෘත කර තම දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ගම්වාසීන් කරන ලද ඉල්ලීමට සවන් දුන් පළාත් ආණ්ඩුකාරවරයා විදුහල කඩිනමින් විවෘත කර දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් සලසන්නැයි පළාත් අධ්‍යාපන බලධාරීන්ට හා මිණිපේ ප්‍රාදේශීය ලේකම්වරියට උපදෙස් දුන්නේය.

සත් වසරක දේශපාලන ශාපය නිසා වසා දැමුණු කිඹුලාඇළ පාසල පසුගිය මාර්තු 12 වැනි දින සියලු පහසුකම් සපුරා දී විවෘත කිරීම සිදුවූයේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ සතුටු කඳුළු මැදිනි.

ගමේ පාසල් දරු දැරියන් 12 දෙනකුද එදිනම අලුතෙන් ආරම්භ වූ කිඹුලාඇළ ශ්‍රී රතනපාල ප්‍රාථමික විදුහලට ඇතුළත් කරනු ලැබුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ අත්සනින් යුත් පාසල් සිසු නාමලේඛනයේ ඔවුන්ගේ නම් ලකුණු කිරීමෙනි. එම අවස්ථාව ඉතා අනුවේදනීය වූ අතර දෙමව්පියෝ සතුටු කඳුළු වගුරුවමින් තම දරුවන් වෙනුවෙන් පාසල යළි ආරම්භ කිරීමට පුරෝගාමී වූ මිණිපේ ප්‍රාදේශීය ලේකම් වත්සලා මාරඹගේ මහත්මියටත් පළාත් ආණ්ඩුකාරවරයාටත් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුළු අධ්‍යාපන නිලධාරීන්ටත් තම ප්‍රණාමය පුද කළහ.

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ වී අධ්‍යාපන නිලධාරීන් රැසක් සේවයේ යෙදෙන අතර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරු මෙන්ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුද සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුද තොග ගණනින් ජනතා බදු මුදලින් වැටුප් හා දීමනා මෙන්ම රාජ්‍ය වාහනද භාවිත කරමින් මධ්‍යම පළාතේ අධ්‍යාපනය ඉහළ නැංවීමට සිටියද වසර හතක් තිස්සේ මිණිපේ කොළොන්ගොඩ කිඹුලාඇළ ප්‍රාථමික විදුහල වැසී තිබිණි. රජයේ ඉහළම දේශපාලන ප්‍රධානීන් කිසිවකු හෝ එය නොදැන සිටීමද මවිතයට කරුණකි.


අධ්‍යාපන අමාත්‍යවරු මෙන්ම රජයේ අමාත්‍යවරුද තොගයක් මධ්‍යම පළාත තුළ සිටියදී මෙම පාසල වසා දමා තිබීම සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයාද පුදුමය පළ කළේය.

ජලය, විදුලිය, ඩෙස් බංකුද සපයා දී විදුහලට විදුලි පංකාද සවිකර කිඹුලාඇළ ගම්මානයේ දිවිගෙවන අසරණ ගොවි ජනතාවගේ දරුවන්ට මූලික අධ්‍යාපනය ලබාගැනීම සඳහා විදුහල යළි විවෘත කිරීම පිළිබඳව ගම්වාසීහු සතුට පළ කළහ. මෙම විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ දරුවන් අද වනවිට සමාජයේ ඉහළ තලයේ රාජ්‍ය සේවාවන්හි නිරත වී සිටින බවද ගම්වාසී පිරිසක් පැවසූහ.

විදුහල්පතිවරයකු සමඟ අමතර ගුරැ මහත්මියක්ද විදුහලට පත් කරනු ලැබ සිටින අතර ජනදිරිය පදනමේ සභාපති හර්ෂණ වික්‍රමනායක, සෙව්වන්දි වික්‍රමනායක යන පරිත්‍යාගශීලීන් විසින් විදුහල් දරුවන්ට අවශ්‍ය පානීය ජලය සපයා දීමට අනුග්‍රහය දක්වා තිබිණි.

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගාමිණී රාජරත්න, මිණිපේ ප්‍රාදේශීය ලේකම් වත්සලා මාරඹගේ, කිඹුලාඇළ දුටුගැමුණු ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති එච්.එම්.කේ.ජී. ගුණරත්න බණ්ඩා, විදුහල්පති ඩී.එම්.එන්.කේ. දිසානායක, මිණිපේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.සී. කපුකොටුව, මිණිපේ ප්‍රාදේශීය සභාවේ සභාපති සුමිත් අබේසිංහ, උප සභාපති ඩබ්ලිව්. ප්‍රේමචන්ද්‍ර (මිණිපේ ප්‍රාදේශීය සභාව) ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් අනුරාධ තෙන්නකෝන් යන මහත්ම මහත්මීන්ද ප්‍රදේශයේ තරුණ කැළද, අනෙකුත් රාජ්‍ය නිලධාරීන් (ග්‍රාමසේවා නිලධාරීන්) නිලධාරිනියන්ද, මිණිපේ කිඹුලාඇළ ප්‍රාථමික විදුහල යළිත් ගමේ ගුරුවරුන්ට ලබාදීමට දායක වූහ.

1993 පෙබරවාරි මාසයේ මෙම ප්‍රාථමික විදුහල ආරම්භ කරන විට ළමුන් 65ක් මෙහි අධ්‍යාපනය ලැබූ අතර පසුව ක්‍රමක්‍රමයෙන් ගුරුවරු ස්ථානමාරු වී යාමත් සමඟ විදුහලට ළමුන් නොපැමිණීමෙන් විදුහල වසා දැමිණි. ඉන් වසර හතකට පසු ගමේ දරු දැරියන්ගේ හඬ පාසල තුළ අවදි වූයේ 2019 මාර්තු 12 වැනි දින පෙරවරුවේය.

►ජේ.ඒ.එල්. ජයසිංහ
ඡායාරූප: තෙල්දෙණිය චන්දන උඩුවාවල 

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00