මන්නාරමේ එමිල් නගර ප්‍රදේශයේ සංවර්ධන කටයුත්තක් සඳහා පස් අවශ්‍ය වී තිබුණි. පස් ලබාගැනීමට තීරණය වී තිබුණේ මන්නාරම නගරයේ සතොස තොග ගබඩාව අසල පැරණි ගොඩනැගිල්ලක් කඩා දැමූ ස්ථානයකිනි. එහි සිට රැගෙන ගිය පස්වල ඇටකටු තිබෙන බව කොන්ත්‍රාත්කරුවෝ දුටුවෝය. ඔවුහු ඒ සිද්ධිය ගැන මන්නාරම පොලීසියට පැමිණිලි කළහ. ඒ 2018 මැයි 25දාය.
මන්නාරම පොලීසිය අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී හෙළිවූයේ ඒවා මිනිස් ඇටකටු බවයි. නිත්‍යනුකූල සුසාන භූමියකින් හැර වෙනත් ස්ථානයකින් මිනිස් අස්ථි හමුවුවහොත් ඒ පිළිබඳව පරීක්ෂණයක් කිරීම මෙරට පවතින නීතියයි. මන්නාරම පොලීසිය මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර විනිසුරු ඒ.ජී. ඇලෙක්ස් රාජා එම ස්ථානය පරීක්ෂා කළේය. ඊට පසු වගකිවයුතු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කැණීම් ආරම්භ කරන ලෙස පොලීසියට නියෝග කෙරුණි.
ඒ අනුව මෙම ස්ථානයේ පුරාවිද්‍යා මූලධර්මවලට අනුව කැණීම් කටයුතු කිරීමට තීරණය විය. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව, මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක්, පුරාවිද්‍යා නිලධාරීන් සහ පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීහුද මෙම කැණීමට එක් වූහ. රජයේ රසපරීක්ෂණ නිලධාරිහුද ඒ සඳහා සහභාගි වූහ.
කිසිවකු නොසිතූ පරිදි මන්නාරමෙන් දිගින් දිගටම මිනිස් ඇටසැකිළි මතුවන්නට විය. එය සමූහ මිනීවළක් බව පෙනිණි. මේ වනතෙක් කළ කැණීම්වලදී මළසිරුරු 329ක් හමුවී ඇති අතර ඒ අතරින් 318කට අයත් අස්ථි කොටස් මන්නාරම අධිකරණයේ තැන්පත් කර ඇත. කුඩා දරුවන්ගේ යැයි සැලකෙන සිරුරු කොටස් 29ක්ද ඒ අතර වේ. ශ්‍රී ලංකාවේ විශාලම සමූහ මිනීවළ මෙය බවට පත් විය. එය ශ්‍රී ලංකාවේ දකුණට වඩා උතුර රත්කළ පුවතක් බවට පත්වූ අතර, ජාත්‍යන්තර මාධ්‍යවලද අවධානයට ලක් විය. සූරියකන්ද, මාතලේ, චෙම්මනි, මිරිසවල්, මන්නාරම කෙතීස්වරම් වැනි සමූහ මිනීවළවල් පසුගිය කාලයේ රට පුරා උණුසුම් පුවත් මැව්වේය. සමූහ මිනීවළක් හඳුනා ගන්නේ මළසිරුරු තැන්පත් කර ඇති ස්වභාවයෙනි. දිශානතියකට අනුව විධිමත් ලෙස ඇටසැකිළි මිහිදන් වී තිබේ නම් එම ස්ථානය සුසාන භූමියක් වන අතර, අක්‍රමවත් හා හදිසියේ මිහිදන් කළ බව ඇඟවේ නම් සමූහ මිනීවළකි.
මන්නාරමින් හමුවූ ඇටසැකිළි එක් පසෙක විධිමත් ආකාරයට හමුවී ඇති අතර, එයට නුදුරින් හමුවී තිබෙන්නේ අක්‍රමවත් ලෙසිනි. පසුගිය කාලයේ උතුරේ යුද්ධය පැවති කාලයේ අතුරුදන් වූ පිරිසකගේ අස්ථි කොටස් එහි තිබිය හැකි බවට උතුරේ විශාල මතවාදයක් ඇති විය. ඒ පිළිබඳ නිවැරදි තොරතුරු හෙළිකරන ලෙස ඉල්ලමින් දෙමළ ජාතිකයෝ උද්ඝෝෂණයේ යෙදුණහ. කැණීම් කරන ස්ථානයේ තොරතුරු මාධ්‍යවලට ලබාගැනීමට මුල් දිනවල අවසර ලබාදී තිබුණ ද ඒ ගැන ගැටලුසහගත පුවත් පළවීම නිසා මන්නාරම මහේස්ත්‍රාත්වරයා අදාළ කැණීම් භූමියට ඇතුළුවීම, ඡායාරූප ගැනීම සහ දර්ශන පටිගත කිරීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කළේය.
පසුව මන්නාරම නව මහේස්ත්‍රාත් පදවිය බාරගත් ටී. සරවනරාජ් නව නියෝගයක් ලබා දී තිබුණි. එයට අනුව සමූහ මිනීවළේ කැණීම් හා වෝහාරික පරීක්ෂණ පිළිබඳ තොරතුරු ඍජුවම මාධ්‍යවේදීන්ට ලබාදීමට එහි පරීක්ෂණ කරන විශේෂඥයන්ට තහනම් වේ. මාධ්‍යවේදීන්ට අවශ්‍ය තොරතුරු ලබාගත හැක්කේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාගෙනි.
මිනීවළෙන් ලැබෙන මිනී ප්‍රමාණය අධික වනවිට මන්නාරමේ දරුවන් අතුරුදන් වූ දෙමාපියන්ගේ සැකය ද ඉහළ යන්නට විය. ඒ අහිමි වූ තම දරුවන්, සැමියන් විය හැකි බවට ඔවුහු විශ්වාස කළහ. මේ නිසා පුරාවිද්‍යාව වෙනුවට දේශපාලනය එම ස්ථානයට ආරූඪ විය. මන්නාරම් වැසියෝ මේ සම්බන්ධයෙන් අතුරුදන්වූවන් සෙවීම සඳහා පත්කර ඇති ආයතනයට (OMP) පැමිණිලි කළහ. ඊට පසු අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය මන්නාරම මිනීවළ සම්බන්ධ කැණීම් කටයුතුවලට දායකත්වය සැපයීය. මෙම මළසිරුරුවල කාල නිර්ණය පිළිබඳවද උතුරේ ජනතාව විශාල උනන්දුවක් දැක්වීය. මේ නිසා විද්‍යාත්මක කාල නිර්ණයක් ලබාගැනීමට අධිකරණ නියෝගය පරිදි අස්ථි සාම්පල් 6ක් අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ ඇමරිකාවේ ෆ්ලෝරිඩාවේ පිහිටි බීටා ඇනලිටික් ආයතනයට පසුගිය ජනවාරි 25දා බාර දුන්නේය. ඒ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ දායකත්වයෙනි. එම කාර්යාලයේ සාමාජිකයෙක් සහ අතුරුදන්වූවන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් දෙදෙනෙක්ද නිරීක්ෂකයන් ලෙස එම ගමනට එක් වූහ. එක් සාම්පලයක රේඩියෝ කාබන් කාල නිර්ණය සඳහා වැයවූ මුදල ඩොලර් 700කට ආසන්නය. ගිය පිරිසේ වියදමද සමඟ විශාල මුදලක් ඒ සඳහා වැයවී ඇත. තවත් කොටසක කැණීම් කිරීමටද ඉතිරි වී තිබේ.
කවුරුත් නොසිතූ අන්දමට ඉන් ලැබුණේ අපරාධ කටයුත්තකට සම්බන්ධ ප්‍රතිඵල නොවේ. ඉතිහාසයේ අඳුරු අහුමුලු සිසාරා යාමට කවුරුත් පොළඹවන පුරාවිද්‍යාත්මක කාල නිර්ණයකි.
ඒ අනුව 1 වැනි සාම්පලය ක්‍රි.ව. 1477-1642 (පෘතුගීසි සහ ලන්දේසි යුග) අතර විය හැකි බවද, දෙවැනි සාම්පලය ක්‍රි.ව. 1538-1635 අතරටද, තුන්වැනි සාම්පලය ක්‍රි.ව. 1404-1450 අතරටද, හතරවැනි සාම්පලය ක්‍රි.ව. 1416-1490 අතරටද, පස්වැනි සාම්පලය ක්‍රි.ව. 1426-1516 අතරටද, හයවැනි සාම්පලය ක්‍රි.ව. 1404-1450 අතරටද අයත් විය හැකි බව හෙළිවී තිබේ. ඒ අනුව මෙම මළසිරුරු එකම කාලයක මිහිදන් කළ ඒවා නොව, 1404 සිට 1642 දක්වා සියවස් දෙකහමාරකට අධික කාල අන්තරයක් ඇතිව මිහිදන් කළ ඒවා බවට විද්‍යාත්මකව හෙළිවී ඇත. ඒ අනුව අතුරුදන්වූවන්ගේ කතාව ලත්තැනම ලොප් වී ගොසිනි. කෙසේ වුවත් පුරාවිද්‍යාත්මකව ස්වර්ණමය අවස්ථාවක් උදාවී තිබේ. ඒ දකුණු ආසියාවෙන්ම හමුවූ විශාලම පුරාවිද්‍යා සමූහ මිනීවළ ලෙසිනි.
මෙම කැණීම්වලට සම්බන්ධ වූ මහාචාර්ය රාජ් සෝමදේව වාරණය පැනවීමට පෙර මාධ්‍යවලට ප්‍රකාශ කර ඇත්තේ මෙම ස්ථානයේ කොටසක හින්දු සුසානයක් තිබූ බවට සාධක පැවති බවය. එම කොටසේ ක්‍රමවත්ව සිරුරු තැන්පත් කර තිබූ බවත්, එහි වළං කැබලි, අඟුරු කැබලි ආදිය හමුවූ බවත් දෑත් තබා තිබූ ආකාරය ආදී ලක්ෂණ ගණනාවක් අනුව එය හින්දු චාරිත්‍ර වාරිත්‍රවලට අනුව කළ පැරණි සුසානයක් විය හැකි බව ඔහු තීරණය කර තිබේ. එහෙත් ඊට පසුව කැණීම් කළ කොටසේ අස්ථි අපිළිවෙළකට විසිරී තිබෙන බව නිරීක්ෂණය වී තිබුණි. එමෙන්ම හිස්කබල් ආදියට හානි වී තිබෙන බවත් නිරීක්ෂණය විය.
මේ වනවිට මීටර් 13ක් දිගට සහ මීටර් 11ක් පළල ප්‍රදේශයක කැණීම් සිදුකර තිබේ. ඉදිරියටත් කැණීම් කිරීමට තරම් විශාල ප්‍රදේශයක ඇටසැකිලි පැතිරී තිබෙන බව පැවසේ.
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සම්මානිත ඉතිහාස සහ පුරාවිද්‍යා මහාචාර්ය ටී.ජී. කුලතුංග සඳහන් කරන්නේ මෙම මිනිස් ඝාතනය එවකට යාපනයේ පාලක පරරාජසේකරම්ගේ ක්‍රියාවක් බවය. ඔහු පවසන්නේ 1550 ගණන්වලදී විය හැකි බව සඳහන් ඒ මහා මිනිස් සංහාරයේදී 600ක් ඝාතනය කර තිබෙන බවයි. &පෘතුගීසින් ලංකාවට පැමිණි පසු 1540 ගණන්වලදී මන්නාරමේ හා යාපනයේ සිටි දේශීය ජනතාව ක්‍රිස්තියානි ආගමට බරපතළ ලෙස හරවාගෙන තිබෙනවා. ඒ වැඩේට යාපනේ හින්දු පාලකයන් දැඩි ලෙස විරුද්ධ වී තිබෙනවා. ස්වදේශිකයන් ක්‍රිස්තියානියට හරවා ගැනීමටත්, ක්‍රිස්තියානිය පැතිරවීමටත් එරෙහිව යාපනේ පාලකයන් ක්‍රිස්තියානි පූජකයන් මරලාත් තිබෙනවා. පල්ලි කඩා දමලා තිබෙනවා. වෙනත් වැදගත් අය ඝාතනය කර තිබෙනවා. ස්ත්‍රී පුරුෂ ළමා වැඩිහිටි නොතකා 600ක් දෙනා කපා කොටා ඝාතනය කළ බව පෘතුගීසි ලේඛනවල සඳහන්ය. 1739 දී ලියන ලද යාල්පාන වෛපමාලෙයි නම් ග්‍රන්ථය සඳහන් කරන්නේ මේ ඝාතනය යාපනයේ සංකිලි රජුගේ පාලන කාලයේ සිදුවූ බවයි. සංකිලිගේ රාජ්‍ය කාලය නිමවන්නේ 1561දීයි.”
මහාචාර්යවරයා පවසන පරරාජසේකරම් යාපනය පාලනය කළේ 1478-1519 අතර කාලයේදීය. සංකිලි 1519 සිට 1561 දක්වා පාලනය කර තිබේ. එහෙත් බීටා ඇනලිටික් කාබන් 14 කාල නිර්ණ වාර්තා 1550ට ආසන්න කාලයක සිදුවූ එක් මිනිස් සංහාරයක් සමඟ ගැලපීමට නොහැක. තාල නිර්ණ වාර්තාවලින් සංකිලි හෝ පරරාජසේකරම් සමය සමඟ ගැලපෙන්නේ 1 වැනි හා 2 වැනි සාම්පලය පමණි. එසේ නම් අනෙක් මළසිරුරු අයත් වන්නේ කුමන සංහාරයටද යන ගැටලුව මතුවේ.
මේ නිසා මෙම සිරුරු නිශ්චිතව එකිනෙක පරීක්ෂා කර බලා වාර්තා කිරීමද නිගමනයක් ලබාදීමද පුරාවිද්‍යාඥයන්ට බාර කළ යුතුය. මෙය අප රටේ මතු නොව ජාත්‍යන්තර පුරාවිද්‍යා ක්ෂේත්‍රයටද වැදගත් සොයාගැනීමක් විය හැකිය. ඉතිහාසයේ සැඟවුණු මේ අස්ථි අයත් කාටද, කුමන සිදුවීම්වලටද යන්න විමර්ශනය කිරීම දැන් ආරම්භ කළ යුතු වේ. මෙයින් අතුරුදන්වූවන් සෙවීම පසෙක ලා එම පුරාවිද්‍යා පර් යේෂණය කඩිනමින් ආරම්භ කිරීම අත්‍යවශ්‍ය බව අපගේ හැඟීමයි.
►කුසුම්සිරි විජයවර්ධන