2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

යුද්ධයේ කුරිරු බව කියන බංකර් කුරුටු ගී

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 53
මරණය පෙනි පෙනී එදා ඔවුහු උතුරේ බංකරවල ගෙවූයේ ඉතා කටුක දිවියකි. කොහෙන් හෝ හඹා එන වෙඩි උණ්ඩයකින්, මෝටාර් ප්‍රහාරයකින්, බිම්බෝම්බයකින් ජීවිතය අහිමිවේද යන කුහුල නිරතුරුවම ඔවුන් තුළ පැවතියේය. බංකරයක සිරවී ගෙවන ජීවිතයේ පීඩනය, කටුකත්වය, සාංකාව ඔවුන් පිට කළේ බිත්තියක එම සිතිවිලි කුරුටු ගෑමෙනි. පශ්චාත් යුද සමයේදී චරිත් කිරිඇල්ල නම් මාධ්‍යවේදියා උතුරේ සටන් පැවැති ප්‍රදේශවලවල ඇවිද යුද්ධය පැවැති සමයේ සෙබළුන් රැඳී සිටි බංකර්වල ඔවුන්ගේ ජීවිතය සටහන් කර තිබූ ආකාරය “බංකර් කුරුටු ගී” නමින් කෘතියකට ගොනු කළේය. කුරුටු ගී සාහිත්‍ය අපට අරුමයක් නොවේ. ඒ සීගිරි කුරුටු ගී, සරසවි කුරුටු ගී, සිපිරිගෙදර කුරුටු ගී වැනි කුරුටු ගීත සාහිත්‍යය කලක සිට පැවති හෙයිනි. එහෙත් බංකර් කුරුටු ගී ලොව මෙතෙක් අපට හමු නොවූ ෂානරයකි.
 
බංකර් කුරුටු ගී කෘතියෙහි අන්තර්ගත රචනා මහා කලා නිර්මාණ නොවේ. මේවායේ රචකයෝ මහා උගත්තු නොවෙති. එම රචනාවන්හි කැටිව ඇත්තේ ඔවුන්ගේ ජීවිතයේ ආදරය, විරහව, හුදෙකලාව, බිය, රට දැය සමය පිළිබඳ ආදරය මෙන්ම ඇතැම් ඉහළ නිලධාරීන් නිසා ඇති වූ පීඩනය සහ තම මව්පියන් හා පෙම්වතියන් පිළිබඳ හැඟීම්ය. මෙම කෘතියේ අන්තර්ගත ඇතැම් කුරුටු ගී නාමිකවද බොහෝ ඒවා නිර්නාමිකවද රචිත ඒවාය. මෙහි ගී ලියූ බොහෝ සෙබළුන් මේ වනවිට මෙලොව නැත. කුරිරු යුද්ධය ඔවුන්ගේ ජීවිත උදුරාගෙන තිබේ. එහෙත් ඔවුන් ලියූ දෑ ඉතිරිව තිබේ. චරිත් කිරිඇල්ලගේ මෙම කෘතිය වැදගත් වන්නේ පසු පරම්පරාවට යුද්ධයේ කුරිරු බව හඳුනාගන්නට මෙමඟින් යම් ඉඟියක් සපයන බැවිනි.
 
රැකියාව  - යුද්ධය
විනෝදාංශය - වෙඩි තැබීම
බලාපොරොත්තුව - උණ්ඩය
පැතුම - සාමය
ඉතිරිය - මරණය
 
මේ එම කෘතියේ අන්තර්ගත එක් කුරුටු ගීයකි. එම කවිය තුළ සෙබළකුගේ සමස්ත ඉරණමම කැටිවී තිබේ. බංකරයේ ජීවිතය ඔහු අත්විඳි අයුරු එම කවියෙන් මනාව විග්‍රහ කෙරෙයි. 
 
යුද්ධයේ නිරර්ථකබව හා දෙපිළේ කවරකු මියගියද මියයන්නේ තවත් මිනිසකු බව හැඟවෙන කවියක්ද මෙම කුරැටු ගී අතර හමුවෙයි. ඔහු පතන්නේ එකිනෙකා ඇනකොටා නොගන්නා සුහදත්වය පිරි සමාජයකි. ත්‍රිකුණාමලයේ කුට්ටවෙලි ප්‍රදේශයේ හිටපු ප්‍රදේශීය කොටි නායකයා කුංජන්ය. මෙම සෙබළා මෙම කවිය ලියන්නේ ඔහුටය.
 
කුංජන්.... උඹ මැරුණොත් අපේ ඈයෝ සිනහසේවි හරි සතුටින්...
 
අපි මැරුණොත් උඹලගේ අය උඩ පැන පැන සතුටුවේවි....
 
උඹත් නොමැරී අපත් නොමැරී අපි දෙගොල්ලෝ සිනාවෙන්නේ කවදද කුංජන්...
 
රාජකාරියේ ඇති පීඩාව පිළිබඳව තවත් සෙබළෙක් ලියා තිබුණේ මෙලෙසිනි. එවක ඉතා ජනප්‍රිය ගීතයක් වූ මිල්ටන් පෙරේරාගේ “වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ” නමැති ගීතයේ තනුව අනුව ඔහු මෙම කවිය රචනා කර තිබිණි.
 
පැටික් කරල ඉවර නොමැත දෙවියනේ
මොකටද මා සාසෙ වී ඉපදුනේ
පැටික්වලින් පස්සේ කාඩ් දානවා
කෝපල් ක්ලබ් එකේ කඩේ වහනවා
 
පැටික් යනු කඳවුරේ බර වැඩය. සාසෙ යනු සාමාන්‍ය සෙබළාය. කාඩ් දැමීම යනු මුර සේවයයි. කඩේ වහනවා යනු වැඩ නොකර සිටීමය. කෝපල් කලබ් යනු කෝප්‍රල්වරැන්ගේ භෝජනාගාරයයි.
 
සෙබළුන් විසින් රචිත ඇතැම් කවි අතිශයින් නිර්මාණාත්මකය. ඇතැම් කවි සරලය. ඇතැම් ඒවා එළිවැටකින් තොර වුවද ඔවුන්ගේ හදවතේ කැකෑරෙන වේදනාව ප්‍රකට කරයි. ඒ අතර ඉංග්‍රීසියෙන් රචිත අපූරැ කවියක්ද හමුවෙයි ඇතැම් කවි ජනකවි ආරේ මෙන්ම නිදහස් ආරින්ද රචනා වී තිබේ. සිංහල අවුරුදු සමයේ නිවාඩු නොමැතිව බංකරයේ සිරවී සිටි සෙබළකු මෙලෙස ලියා තිබිණි.
 
ගම රට යන්න බෑ - අපි හිරවෙලා බං
වෙඩි වදින්නේ නෑ කොහෝ - මෙහි ඇවිත් අඬපන්
 
බංකර කුරුටු ගී කෘතියේ සෙබළුන් විසින් බිත්ති මත ඇඳ තිබූ චිත්‍රද යම් ප්‍රමාණයක් අන්තර්ගතය. ඒ සියල්ලම යුද්ධය හා බැඳුණු ඒවාය. මෙම කෘතිය ප්‍රකාශයට පත්කර ඇත්තේ “ආර්ය පදනම” මගිනි. 
 
 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00