හොඳ පැහැපත් පිරිසිදු සමක් යනු නිරෝගී බවේ සංකේතයකි. කාන්තාවගේ පංච කල්‍යාණයන්ගෙන් එකක් ලෙසින්ද සමට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයකි. සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීම සම මගින් සිදුකරන අතර සිරුරේ ඇතැම් ස්ථානවලට හැඩයක් ලබාදීම, සිරුරෙහි උණුසුම නියත මට්ටමක තබාගැනීමට දායකවීම, ශරීරයට එකතු වූ විෂ, අපද්‍රව්‍ය බහිස්රාවී ක්‍රියාව මගින් බැහැර කිරීම ආදිය සම මගින් ඉටුකරන අනෙකුත් කාර්යයන් අතර වේ.
පැහැපත් නිරෝගී ආබාධයන්ගෙන් තොර සමක් තබාගැනීම සෑම අයකුගේම බලාපොරොත්තුව වුවද විවිධ හේතූන් මත පැනනැගෙන ගැටලුකාරී තත්ත්වයන් ගණනාවකින්ම සම රෝගයන්ට ගොදුරැ වේ. මේ ආකාරයට හටගන්නා ඇතැම් සමේ රෝග නිසා යම් යම් පුද්ගලයන් ජීවිතයෙන් පවා සමුගන්නට තැත්කළ අවස්ථාවන් ගැනද අප අසා ඇත්තෙමු. අපේ වෙදකමෙන් අද සමේ රෝග සම්බන්ධයෙන් කතා කරන්නට සිතුවේද මෙය සමාජයේ බොහෝ දෙනකු පෙළෙන රෝගී අවස්ථාවක් වන නිසාය.
ඒ සම්බන්ධයෙන් අද අපව දැනුම්වත් කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයීය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජේ.ඒ.ඩී. පුෂ්පා ප්‍රේමකාන්ති ජයකොඩි මහත්මියයි.
ඕනෑම පුද්ගලයකු තම තමන්ගේ සම පිළිබඳව දැනුම්වත් වීම ඉතාම වැදගත්. මෙහිදී සමේ රෝග විතරක්ම නෙමෙයි සමේ රෝග ඇතිවීමට බලපාන හේතු මොනවද කියලත් බලන්න ඕනෙ.
චර්ම රෝග වශයෙන් හඳුන්වන්නේ සම ආශ්‍රිතව හටගන්නා රෝගයි. සාමාන්‍යයෙන් සමේ රෝග කිව්වම මිනිසුන් පුරුදුවෙලා ඉන්නේ ඒ හැම රෝගයක්ම කුෂ්ඨ අවස්ථාවක් ලෙස හඳුන්වන්නයි. නමුත් මේ කුෂ්ඨ කියන වචනයට සමේ සෑදෙන සෑම රෝගයක්ම අයිති වෙන්නේ නෑ.
සමේ සෑදෙන සමහර රෝග ආයුර්වේදයේ ක්ෂුද්‍ර රෝග ලෙසින් හඳුන්වන අතර සුවකරන්න අපහසු රෝග 18ක් තමයි කුෂ්ඨ රෝග යටතට වැටිලා තියෙන්නේ. මෙම කුෂ්ඨ රෝග වර්ග 18ත් කොටස් දෙකකට බෙදෙනවා. ක්ෂුද්‍ර කුෂ්ඨ හා මහා කුෂ්ඨ ලෙස. ක්ෂුද්‍ර කුෂ්ඨ යටතට වැටෙන රෝග සුව කිරීමට යම් හෝ හැකියාවක් තිබෙනවා. නමුත් මහා කුෂ්ඨ යටතේ ගැනෙන රෝග සුව කිරිමට නොහැකි තරම් හෝ ඉතා අපහසුවෙන් සුවකළ හැකි රෝගයි. ආයුර්වේදයෙහි මහා රෝග ලෙසින් හැඳින්වෙන සුවකිරීමට අපහසු රෝග අටටද කුෂ්ඨ රෝග ඇතුළත් වෙනවා.
මහා කුෂ්ඨ හා ක්ෂුද්‍ර රෝග
චරක, සුශ්‍රැත හා වාග්භට යන ආචාර්යවරැ මහා කුෂ්ට හතක් ලෙස නම්කර ඇති අතර කාශ්‍යප ආචාර්යවරයා මහා කුෂ්ඨ නවයක් දක්වා ඇත. ඒ අතරින් චරක ආචාර්යවරයාගේ මතය සැලකීමේදි කාපාල, ඖදුම්බර, මණ්ඩල, ඍෂ්යජිහ්ව, පුණ්ඩරික, සිධ්ම හා කාකණක යන හත මහා කුෂ්ඨ වශයෙන් දක්වා ඇත. මේ අතරින් සමාජයෙහි බහුලවම දක්නට ලැබෙන රෝගී අවස්ථා වන්නේ සිධ්ම හා මණ්ඩලයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී සිධ්ම කුෂ්ඨ යන රෝග තත්ත්වය පිළිබඳව යම් යම් මත පවතින අතර විශේෂඥ වෛද්‍ය පුෂ්පා ජයකොඩි මහත්මියගේ මතයට අනුව සිධ්ම කුෂ්ඨ ලෙසින් හඳුන්වන්නේ පොතුකබර රෝගයයි.
ඒක කුෂ්ඨ, චර්ම කුෂ්ඨ, කිටිභ, විපාදිකා, අලසක, දද්රැමණ්ඩල, චර්මදල, පාමා, විස්ඨෝට, ශතාරු හා විචර්චිකා ක්ෂුද්‍ර කුෂ්ඨ රෝගයන් වන අතර මෙමගිනුත් වැඩිපුරම හමුවන රෝගී අවස්ථාවන් වන්නේ විපාදිකා අවස්ථාවයි. විපාදිකා රෝගයේදී පාදවල පැළුම් ස්වභාවයක් දක්නට ලැබෙන අතර එම පැළුණු ස්ථානවල තුවාල හටගෙන සැරව පිටකිරීමද සිදුවේ. මෙය ඉතාමත් අසීරු රෝග අවස්ථාවක් වන අතර සුවකිරීමද අපහසුය. විචර්චිකා රෝගීන්ද සුලභ වන අතර එහිදී සිදුවන්නේ අත් පැලී තුවාල වී සැරව ගැලීමයි. පාදවල යටිපතුල් හා අත්වල හැරුණාම ශරීරයේ ඇතැම් ස්ථානවල පිහි පාරවල් ගැසූ ලෙසින් පැලීම් වැනි ස්වභාවයන් දක්නට ලැබීම චර්මදල අවස්ථාවයි. පාමා රෝගී අවස්ථාවද විවිධාකාරයෙන් දක්නට ලැබෙන අතර එයද සමේ වැඩි ප්‍රදේශයක දියර ගලමින්, කසමින් ඇති වන කුෂ්ඨ රෝග අවස්ථාවකි. මෙම රෝග හැම එකකම පාහේ එකිනෙකට සම්බන්ධතාවයක් ඇත. ඇතැම් විට මේවා එකම රෝගයේ විවිධ අවස්ථාවලටද සමානකම් දක්වයි.
ඇත්තටම මෙවැනි රෝගයන්ගෙන් පෙළෙන රෝගීන් අප වෙත මූලිකවම එන්නේ නැ. වෙනත් වෛද්‍ය ක්රමයන් ඔස්සේ ප්‍රතිකාර ලබාගෙන එයින් සුව නොවුණු අවුරැදු දහය පහළොහ ගතවුණු රෝගීන් බැරිම අවස්ථාවේ තමයි අපි ළඟට එන්නේ. ඒ අනුව අපිට හොඳටම පේනවා ඒවා සාමාන්‍ය අවස්ථා අනුව සුවකරන්න අපහසු රෝග කියලා.
පොතු කබර රෝගය
සුලබව හමුවන චර්ම රෝගයක් වන පොතු කබර රෝගය ආයුර්වේදයෙහි සඳහන් වන ආකාරයට චරක ආචාර්යවරයා විසින් ඇතුළත් කර ඇත්තේ මහා කුෂ්ඨ රෝග ගණයටය. මෙහි ආයුර්වේද නාමය විවිධ වෛද්‍යවරුන් විවිධ ආකාරයෙන් හඳුන්වන අතර විශේෂඥ වෛද්‍ය පුෂ්පා ජයකොඩි මහත්මිය එය හඳුන්වන්නේ සිධ්ම කුෂ්ඨ නමිනි. එසේම බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව Psoriasis ලෙස හඳුන්වයි. පොතු කබර අවස්ථාවේදී රෝස පාට හෝ රතුපාට ලප කැලැල් ඇතිවී ඒ මතුපිටින් සුදුපාටට පොතු ගැලවී යාමක් දක්නට ලැබේ. මෙය ඇතැම් විට ශරීරයේ කොටසක හෝ නැතිනම් මුළු ශරීරයේම හටගත හැක. හිසෙහි හටගන්නා අවස්ථාවන්ද වැඩිපුරම දක්නට ලැබෙන අතර එය මුලදී හිස් හොරිවලට සමානකම් දක්වයි. එබැවින් මුලදී හිස්හොරි යැයි රැවටීමටද පුළුවන. මෙය වෙන්කර හඳුනාගත හැක්කේ වෛද්‍යවරයකුටය.
කැසීම, පොතු ස්වභාවය සමෙන් ඉහළට මතුවී තිබිම මෙහි රෝග ලක්ෂණයන්ය. සම කසා පොතු ගැලවුණ පමණින්ම පොතු කබර යැයිද බිය නොවිය යුතු අතර මෙය නිවැරදිව නිරීක්ෂණය කළ හැක්කේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකුට පමණි. බටහිර වෛද්‍ය විද්‍යාවෙහිද සඳහන් වන ආකාරයට පොතු කබර රෝගය සුවකර ගැනීමට අපහසු රෝගයක් බවට සැබෑය. එහෙත් නියමිත ආකාරයේ ප්‍රතිකාර මහත් කැපවීමෙන් සිදුකළහොත් මෙම රෝගයද සුවකර ගැනීමේ හැකියාව ඇත.
සුදු කබර රෝගය
සුදු කබර රෝගයද සමාජයේ බහුලවම හමුවන රෝගයක් වන අතර ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට කාශ්‍යප ආචාර්යවරයා විසින් එම රෝගයද මහා කුෂ්ඨ යටතට ඇතුළත් කර ඇත. මෙයත් සුවකිරීමට ඉතා අපහසු රෝගයකි. එහෙත් එය සුවකළ නොහැකි ලෙසටම හැඳින්වෙන රෝගයක්ද නොවේ. මෙම රෝගය හට ගැනීමටද විවිධ හේතූන් බලපාන අතර මීයන්ගේ ශුක්‍ර ශරීරගත වී මෙලනින් වර්ණය විනාශ වීමෙන්ද මෙම රෝගය හටගත හැක.
චර්ම රෝගීන් සඳහා ප්‍රතිකාර
මෙවැනි කුෂ්ඨ රෝගයන් සඳහා ප්‍රතිකාර කිරිම යනු හැමවිටම පාහේ දුෂ්කර කාර්යයකි. ආයුර්වේදයට අනුව රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදි ප්‍රතිකාරයක් සාර්ථක වීමට නම් කරැණු හතරක් සම්පූර්ණ විය යුතුය. එය හැඳින්වෙන්නේ චතුස්පාදය ලෙසයි. එනම් වෛද්‍යවරයා දක්ෂ වෛද්‍යවරයකු විය යුතු අතර ඔහුට හොඳ බුද්ධියක් මෙන්ම ඒ පිළිබඳව හොඳ අත්දැකීම්ද තිබිය යුතුය. රෝගයට නියමිත වුණු සුදුසු වර්ගයේ ඖෂධද තිබිය යුතුය. උපස්ථායකයාද මෙහි එක් අවස්ථාවක් වන අතර චර්ම රෝගියෙක් දීර්ඝකාලීනව රෝගයෙන් පෙළෙන්නකු වන නිසා රෝහලේ උපස්ථායකයා පමණක් නොව තම නිවසේ තමන් සමීපතයෙහිම සිටිමින් තමන්ට උපස්ථාන කළ හැකි පුද්ගලයන් යන්න මෙහිදී අදහස් කෙරේ. මෙම උපස්ථායකයාගෙන් රෝගියාට ආදරය, කරුණාව, දයාවත් එක්කම මානසිකවද රෝගීන් හට සහනය සලසමින් මෙම උපස්ථාන කටයුතු සිදුකළ යුතුවේ. රෝගය සුවකර ගැනීම සඳහා රෝගියා තුළද මනා කැපවීමක් තිබිය යුතුය. තම රෝගී තත්ත්වය නිසා අසහනයට පත් නොවී, මානසික පීඩනයට පත්නොවී සිටීම වඩා වැදගත්ය.
චර්ම රෝග ඇතිවීමට බලපාන හේතු
ඕනෑම චර්ම රෝගයක් හටගැනීම සඳහා බලපාන රෝග නිධාන ආයුර්වේදයේ දක්වා ඇත්තේ එකම ආකාරයකටය. ආහාරමය හේතු, විහරණමය හේතු හා ආධ්‍යාත්මික මෙලෙස හඳුන්වාදෙන ප්‍රධාන හේතුවේ. මීට අමතරව බෝවන චර්ම රෝග, පාරම්පරිකව එන චර්ම රෝග මෙන්ම දුර්වල වූ විෂ ශරීරගත වීම නිසාද චර්ම රෝග හටගනී.
ආහාරමය හේතු
විරුද්ධ භෝජනය එනම් කිරි සමඟ මස්, කිරි සමඟ මාලු, කරදිය මාලු සමඟ මිරිදිය මාලු එකට යනාදී ලෙස ආහාරයට ගැනීම නුසුදුසුය. රෝගී තත්ත්වය හටගන්නේ මෙවැනි ආහාර දීර්ඝ කාලයක් තිස්සේ ආහාරයට ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඇතැම් පුද්ගලයන්ට සමහර ආහාර ගැනීමේදී ඉක්මණින් එහි ප්‍රතිඵල ලැබෙන අතර අසාත්මිකතා ඇතිවී සමෙහි පලු දැමීම ආදිය එවැනි අවස්ථාවල සිදුවේ. නිතර නිතර අනුභවයද සුදුසු නැත. එක් ප්‍රධාන ආහාර වේලකින් පසුව සුළු මොහොතකින් නැවතත් එවැනිම ආහාර වේලක් ගැනීමෙන්ද රෝගී අවස්ථා මතුවිය හැක. තෙල් බහුල ආහාර, පිටි බහුල ආහාර, දිරවීමට අපහසු ආහාර නිතර නිතර ගැනීමද යෝග්‍ය නොවේ.
විහරණ
මළ මුත්‍ර පිටනොකර මළ මුත්‍ර වේග දිගු කාලවේලාවක් සිරුර තුළ පවත්වා ගැනීමද වැරදි විහරණ රටවකි. එසේම තද සීතල තැනක සිට තද උෂ්ණ තැනකට ක්ෂණිකව නිරාවරණය වීම, (උදා: වායු සමනය කළ කාමරයක සිට එකපාරටම අව්වට නිරාවරණය වීම) තදබල වෙහෙස වී හෝ තදබල අව්වේ සිට විවේකයන් නොගෙන ස්නානය කිරීම, ආහාරයක් ගත් සැනින්ම ලිංගික ක්‍රියාවන්හි යෙදීම, දහවල් නිදාගැනීම ආදිය චර්ම රෝග සඳහා බලපෑ හැකි විහරණවලින් කිහිපයකි.
අධ්‍යාත්මික හේතු
අධ්‍යාත්මික හේතුවලදී අදහස් කෙරෙන්නේ මේ ආත්මයේදී හෝ ඊට පෙර ආත්මයකදී කරන ලද පාපකර්මයන්ය. එයද චර්ම රෝග හට ගැනීම සඳහා වැදගත් හේතුවකි. බුදු දහමේද කර්ම විපාක ගැන කරන ලද දේශනාවන්හිදී කුෂ්ට රෝගවලට විශේෂ ස්ථානයක් දී ඇති අතර ඒ අනුවද මෙවැනිරෝග සඳහා කර්ම විපාකවල සබැඳියාවන් ඇති බව පැහැදිලිය.
ආදරයත් හොඳ ඔසුවක්
මෙවැනි රෝගීන්හට උපස්ථාන කිරීමේදී ඖෂධ ලබාදීමට අමතරව රෝගියාගේ මානසිකත්වය යහපත් මට්ටමක පවත්වා ගැනීම සඳහා ඔවුන්ට ආදරය, කරුණාව, දයාව දැක්වීමද අනිවාර්යයෙන්ම කළ යුත්තකි. බුදුරජාණන් වහන්සේ ගිලනුන්ට උපස්ථාන කිරීමේදී මහත් දයානුකම්පාවෙන් උන්වහන්සේගේ දෑතින්ම රෝගීන්ට උපස්ථාන කිරීම හරහා උන්වහන්සේ රෝගීන් කෙරෙහි දැක්වූ දයාව, කරුණාව මැනැවින් පිළිබිඹු වේ.
සිරුරට වඩා මනසට පීඩාවක්
චර්ම රෝගය යනු සිරුරට වඩා බෙහෙවින්ම මනසට පීඩා ගෙන දෙන රෝගී අවස්ථාවකි. පොතු කබර, සුදු කබර වැනි රෝගවලදී බරපතළ ලෙස ශරීර වේදනාවක් නොදැනුණද ඔවුන් මනසින් බොහෝ දුරට පීඩා විඳිති. සමාජයට මුහුණදීමේදීද ඔවුන්ට විවිධ වූ ගැටලු මතුවන අවස්ථාද ඇත. එබැවින් සිරුරට ප්‍රතිකාර කිරීමට අමතරව මොවුන්ගේ මනස සැහැල්ලු වන ආකාරයට කටයුතු කිරීමද අවශ්‍යය.
මේ ආහාර නිතරම ගන්න එපා
තක්කාලි, අබ, විනාකිරි දැමූ ආහාර, අච්චාරැ, සැමන්, හුරුල්ලෝ, බලමාලු, ඉස්සෝ, දැල්ලෝ, කකුලුවෝ වැනි වැඩිපුර අසාත්මිකතාවයන් ඇති කරවිය හැකි ආහාර දීර්ඝකාලිනව නිතර නිතර භාවිතය නුසුදුසුය. තමන්ගේ ශරීරයට අහිතකරයි කියා දැනගත් අවස්ථාවේ පටන්ම එවැනි ආහාර අනුභව කිරීමෙන් වැළකීම වඩාත් උචිතය. ජලය අඩුවෙන් පානය කිරීමත්, කෘත්‍රිම ආහාර, ටින් කළ ආහාර, කෘත්‍රිම පාන වර්ග දීර්ඝ කාලීනව භාවිතයද යෝග්‍ය නොවේ.
කොළ වර්ග, පළතුරු
වර්ග සමට ගුණයි
ගොටුකොළ, රණවරා මල්, රණවරා කොළ ඇතුළු අප ආහාරයට ගන්නා කොළවර්ග බොහොමයක්ම සමට සුදුසුය. නෙල්ලි, බෙලි, ගස්ලබු වැනි නැවුම් පළතුරුද, නැවුම් එළවළු වර්ගද ආහාරයට ගත හැකිය. පිරිසිදු ජලය පානය සමට හිතකර වන අතර තලපත්, තෝර, පරා, ගල්මාලු, හාල් මැස්සන් වැනි සැර නැති මාළු වර්ගද සුදුසුය. යම් පුද්ගලයකු චර්ම රෝගයකින් පෙළෙන්නේ නම් මස් අනුභවයෙන් හැකිතාක් දුරට ඈත්වන ලෙසද ආයුර්වේදීය උපදෙස්වල දැක්වේ.
"අපේ වෙදකම" ලිපි මාලාව යටතේ 22.01.2017 දින පළවූ &හදවත මිරිකන කොලෙස්ටෙරෝල් ලිපියේ අඩංගු වූ ඇතැම් කරැණු අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ඒවාය. එම කරැණු ලිපියට පරිබාහිරව ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණද අපගේ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් එකී කරැණුද විශේෂඥ වෛද්‍ය නයනා ලියනගේ මහත්මිය විසින් දක්වන ලද කරුණු යටතේම පළ වී තිබේ. සිදුවූ ප්‍රමාද දෝෂය පිළිබඳවත් ඒ හේතුවෙන් විශේෂඥ වෛද්‍ය නයනා ලියනගේ මහත්මිය සහ අපගේ පාඨකයන් පත්වූ අපහසුතාව පිළිබඳවත් අපි බලවත් කනගාටුව පළ කරමු.
| සංස්කාරක
හේමමාලා කුමාරි රාජකරුණා