බොහෝ දෙනකු කෙසෙල් පළතුරක් ලෙසින් හැඳින්වුවද ආයුර්වේදයට අනුව කෙසෙල් පළතුරක්, එළවළුවක් පමණක්ම නොව ඖෂධයක් ලෙසින්ද හැඳින්වෙයි. කෙසෙල් වර්ග කිහිපයක්ම ඇති නිසා ඒවායේ පෝෂණ ගුණය යම් ලෙසකින් වෙනස් වේ. නමුත් පොදුවේ ගත් විට කෙසෙල්වල ගුණ බොහෝවිට සමානකම් පෙන්නුම් කරයි. නමුත් අප විසින් ගනු ලබන කෙසෙල්වල ප්‍රමාණය මතද එය යම්තාක් දුරකට වෙනස් විය හැක.
කෙසෙල්වල බොහෝ පෝෂණ ගුණයක් ඇති අතර ඒවායින් ප්‍රධාන ගුණ කිහිපයක් දැක්විය හැක. කෙසෙල් ග්‍රෑම් 100ක ඇති පෝෂණ ගුණයක් ලෙසින් කැලරි ග්‍රෑම් 89ක්, සංතෘප්ත මේදය ග්‍රෑම් 1ක්, බහු අසංතෘප්ත 0.1ක්, ලුණු මිලිග්‍රෑම් 1ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 1.1ක්, මෙන්ම කැල්සියම්, විටමින් ඩී, මැග්නීසියම්, ඛනිජ ලවණ වැනි ගුණයන්ද අන්තර්ගත වේ.
කෙසෙල්වල අඩංගුව පවතින ට්‍රිප්ටොපෑන් හේතුවෙන් මානසික පීඩනය ඇති පුද්ගලයන්ට ඉතා ගුණදායක වේ. මානසික ආතතිය, පීඩනය දුරැකරයි. එමෙන්ම මානසික පීඩනය පාලනය කරගැනීමටද උදව් කෙරේ.
අධිරුධිර පීඩනය හා හෘදරෝග ඇති රෝගීන්ට කෙසෙල් ඉතා සුදුසුය. කෙසෙල්වල ඇති පොටෑසියම් හේතුවෙන් මේ ගුණය තවත් වැඩි කෙරේ. කෙසෙල්වලින් ශක්තිය ඇතිවීමට එහි ඇති කාබෝහයිඩ්‍රේට් සහ සීනි උපකාරී වේ. ආහාරය හොඳින් දිරවයි. මළ හොඳින් කැටිකොට හොඳින් පිටකිරීමට උදව් කෙරේ.
ඇතැමුන්ගේ රාත්‍රී කාලයේදී මෙන්ම විටින් විටද කෙණ්ඩා පෙරළීම සිදුවේ. මෙවැනි පුද්ගලයන්ට රාත්‍රී කාලයේදී කෙසෙල් ගෙඩියක් ආහාරයට ගෙන නින්දට යාමෙන් කෙණ්ඩා පෙරළීම අඩුකරගැනීමට හැකියාව පවතී. කැල්සියම්, පොටෑසියම් රසායනික ද්‍රව්‍ය අන්තර්ගතවීම හේතුවෙන් අස්ථිවල නිරෝගීභාවයට මෙන්ම දරුවන්ගේ අස්ථි ශක්තිමත් කරලීමටද උදව් කෙරේ. එමෙන්ම වයසට යාමත් සමඟම වැඩිහිටියන් තුළ දක්නට ලැබෙන අස්ථි දිරායාම හා සන්ධි රෝගවලට කෙසෙල් ඉතා ගුණදායක පළතුරකි. පිළිකා ඇති රෝගීන්ට ඉතා ගුණදායක වේ.
පළතුරුවලින් එන්සයිම නිපදවේ. මෙමගින් අර්ශස් රෝගය සහ මළබද්ධය දුරුකෙරේ. එමෙන්ම අම්ල පිත්ත රෝගීන්ගේ ආහාර මාර්ගයේ ඉහළ කොටස්වල ඇතිවන තුවාල සුවකරගැනීමටද උපකාරී වේ. නමුත් අම්ල පිත්ත රෝගීන් ඇඹුල් කෙසෙල් ගෙඩි ආහාරයට ගැනීමෙන් බඩ දැවිල්ල ඇතිවීමටද පුළුවන.
ශරීරය දුර්වලව පවතින රෝගීන්ට ශරීරයට ශක්තිය ලබාගැනීමට කෙසෙල්වල ඇත්තේ පුදුමාකාර ගුණයකි. වකුගඩුවල සහ මුත්‍රා පද්ධතියේ අසාමාන්‍ය රෝග අවස්ථාවන් ඇතිවිටදී මෙන්ම හිසකෙස්වලට, සමට ඉතා හිතකර වේ.
පුවාලු, සුවඳැල්, රත්කෙසෙල්, නේත්‍රප්පලම්වල කැලරි වැඩි ප්‍රමාණයක් පවතින නිසා එවැනි වර්ගයේ කෙසෙල් දරුවන්ට ඉතා හිතකර වේ. ගැබිණි මව්වරැන්ට මෙන්ම උදෑසන වමනය පිටවන අයට හිස්බඩට කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීමද ඉතා ගුණදායකය. ශරීරය දුර්වල වූ අයට ශක්තිය ලබා දේ. ශරීරයේ උෂ්ණත්වය අඩුකර සිසිල් කෙරේ.
දියවැඩියා රෝගීන් කෙසෙල් ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් වැළකිය යුතුය. එමෙන්ම ආනමාලු, ඇම්බුං වැනි කෙසෙල් වර්ග සෙම් රෝග ඇති රෝගීන්ට එතරම් සුදුසු වන්නේ නැත.
අධික ලෙස තරබාරු පුද්ගලයන් ආහාර පාලනයේදී කෙසෙල් ගෙඩියක් ආහාරයට ගෙන වැඩි පෝෂණයක් ලබාගැනීම සුදුසුය. කෙසෙල් ඉතා ගුණදායක පළතුරක් වුවද රෝගී අවස්ථාවලදී පමණ ඉක්මවා ආහාරයට ගැනීම සුදුසු නැත.