2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

කළු වෑන් එකකින් බැස්ස කට්ටියක් මාව පැහැර ගත්තා

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

ටෙලිකොම් මෑන් පවර් සේවකයන්ගේ සංගමයේ උපසභාපති සූජීව මංගල මහතා හිටි හැටියේ ආගිය අතක් නැතිවිය. ඒ ගැන ඔහුගේ බිරිය විසින් කළ පැමිණිල්ලට අනුව විමර්ශන සිදුකළ පොලීසියට දින තුනක් අතුරුදන්ව සිටි උපසභාපතිවරයා ඉංගිරිය ප්‍රදේශයේදී සොයාගැනීමට හැකි වී තිබිණි. මේ පිළිබඳවද කරුණු පොලිස් මූලස්ථානය මගින් අනාවරණය කෙරිණි. 

වාර්තා වන පරිදි සිදුවීම මෙසේය.

ටෙලිකොම් මෑන් පවර් සේවයකන්ගේ සංගමයේ උපසභාපති එම්. සුජීව මංගල මහතා ඇතුළු පිරිසක් දින ගණනාවක් තිස්සේ කොළඹ කොටුව ටෙලිකොම් ආයතනය ඉදිරිපිට උපවාසයක නිරතව සිටියහ. අවසන් වතාවට උපවාස බිමට පැමිණි උපසභාපතිවරයා ඉකුත් 28 වැනිදා සෙනසුරාදා රාත්‍රි 10ට පමණ පිටත්ව ගොස් තිබුණේ තම නිවෙස බලායන බව කියමිනි. නමුත් එදින මධ්‍යම රාත්‍රියේදී හෝ නිවෙසට නොගිය සුජිත් මංගල මහතා පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොවීය. මෙසේ ආගිය අතක් නොවූ සුජිත් මංගල අතුරුදන්ව ඇතැයි සැක සිතූ ඔහුගේ දයාබර බිරිය සහ පුත්‍රයා විසින් ඒ සම්බන්ධ පැමිණිල්ලක් පිළියන්දල පොලීසිය වෙත ඉදිරිපත් කෙරිණි.

“මගේ මහත්තයා 28 වැනිදා උදේ උපවාසය තියන තැනට යන්න පිටත් වෙලා ගියා. හවස 6.30ට විතර ගෙදරට ඇවිත් නැවත රාත්‍රි 7ට විතර එම ස්ථානයට පිටත්ව ගියා. ඊට පසුව රාත්‍රි 10ට විතර මට කෝල් කළා... අපි කෑවද? දුව නිදිද? එහෙම අහලා මම දැන් එන්න ලෑස්ති ගෙදර එද්දී 2 විතර වෙයි කියලා කීවා. එයා එනකම් මම ඇහැරගෙන හිටියා. පාන්දර 1ට විතර කෝල් එකක් ගත්තාම මහත්තයාගේ ෆෝන් එක විසන්ධි වෙලා තිබුණා. ඊට පස්සේ කිසිම තොරතුරක් නෑ. මම හිතුවා එහෙනම් රෑ එහෙ නවතින්න ඇති කියලත්. උදේ වෙලා තිබුණත් ආවේ නෑ. හොයලා බැලුවට තොරතුරක් නෑ. පස්සේ දවල් 2ට විතර පිළියන්දල පොලීසියට ගිහින් පැමිණිලි කළා” යැයි මංගල මහතාගේ බිරිය පැවසීය.

මේ වෙද්දී සුජිත් මංගල මහතාගේ අතුරුදන් වීම පිළිබඳව ගමේ අසල්වාසී පිරිස අතර කතාවක් ඇති වී තිබිණි. ඒ අතර ප්‍රදේශයේ හිතවත් ත්‍රීරෝද රථ රියදුරෙක් නිවැසියන්ට පවසා තිබුණේ “අක්කේ මම හයර් එකක් ගිහින් එද්දී පාන්දර 3ට විතර අයියාගේ වගේ බයික් එකක් රත්මල්දෙණිය අතුරුපාරේ තියනවා දැක්කා” යනුවෙනි. නිවැසියන් ඒ පිළිබඳව සෝදිසි කිරීමේදි දැනගෙන ඇත්තේ එවැනි යතුරු පැදියක් තිබූ බවත් ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයකුගේ දැනුම්දීම මත පිළියන්දල පොලීසියේ නිලධාරින් පැමිණ උදෑසනම එම යතුරුපැදිය පොලීසියට ගෙනගොස් ඇති බවත්ය. සුජිත් මංගල මහතාගේ බිරිය පොලීසියට ගිය අවස්ථාවේදීත් යතුරුපැදිය එහි තිබූ නමුත් ඇය ඒ පිළිබඳව දැනගෙන සිට නැත. යතුරුපැදිය පිළිබඳව පොලීසියටත් හෝඩුවාවක් ලැබී නොතිබිණි.

මේ ආකාරයට 28 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අතුරුදන්ව සිටි තම සැමියා පිළිබඳව ඔහුගේ බිරිය පසු වූයේ හැඬූ කඳුළිනි. ඔහු නායකත්වය දුන් ටෙලිකොම් මෑන්පවර් සේවක සංගමයේ හිතවතුන්ද තම සගයා සොයනු පිණිස වෙහෙසෙමින් සිටියහ. මෙසේ දින තුනක් ගෙවී ගියේ උපසභාපතිවරයා පිළිබඳ කිසිදු හෝඩුවාවක් නැතිවය. මේ අතර ඉකුත් 31 වැනිදා අලුයම 1ට පමණ මංගල මහතාගේ බිරියගේ ජංගම දුරකථනයට ආ ඇමතුමකි.
“අපි කතා කරන්නේ ඉංගිරිය පොලීසියෙන්... පවුලේ කෙනෙක් අතුරුදන් වුණා කියලා මාධ්‍ය වලින් ප්‍රචාරවුණාද?”

“ඔව්... ඒ මගේ මහත්තයා... සුජිත් මංගල”

“හරි මහත්තයා දැන් පොලීසියේ ඉන්නවා... ඉංගිරිය පොලීසියට එන්න පුළුවන්ද?” යනුවෙන් විමසීමේදී ඊට පිළිතුරු දුන් මංගල මහතාගේ පුත්‍රයා තාත්තාට කතා කරන්න පුළුවන්දැයි විමසුවේය. ඒ අනුව කතාබහර කර විශ්වාසය ගොඩනඟාගෙන පිරිසක් ඉංගිරිය පොලීසිය බලා පිටත්ව ගියහ. 

මේ වනතෙක් නිවැසියන් සතුව එක් සැකයක් මතුව තිබුණි. ඒ ඊට දින කීපයකට ඉහතදි වූ සිදුවීමක් පිළිබඳවය. යතුරු පැදියක පැමිණි පුද්ගලයෙක් ඇරැව්වල රත්මල්දෙණිය ප්‍රදේශවාසීන් කීපදෙනකුගෙන් විමසා තිබුණේ සුජීව මංගලගේ ගෙදර කොහේද? යන්නය. එසේ නිවෙස හරියාකාරව සොයාගත් ඔහු එම නිෙවසට පැමිණ මංගල මහතාගේ බිරියගෙන් විමසා ඇත්තේ රංජිත් බණ්ඩාරගේ ගෙදර කොහේද? යනුවෙනි. 

පසුව අසල්වැසි කාන්තාවක් ඇයගෙන් අසා ඇත්තේ “අර ආපු කෙනා මංගල හොයාගෙන ආවා මොකටද අක්කේ” කියාය. තමාගෙන් ඇසුවේ වෙනත් අයකුගේ නමක් වුවද ගම්මුන් කීපදෙනකුටම එම නාඳුනන පුද්ගලයා පවසා තිබුණේ ඔහු මංගලගේ නිෙවස සොයන බවකි. මෑන් පවර් සේවකයන්ගේ විරෝධතාව අතර වූ මේ සිදුවීම පමණක් අතුරුදන් වූ මංගලගේ සිද්ධියට සැක කරන්නට හේතු වූ බව ඔවුහු පවසති. 

ඉංගිරිය පොලීසියෙන් ලද තොරතුරු අනුව පිරිස එහි යන විටත් සිද්ධිය පිළිබඳව කට උත්තරයක් ලබාගන්නට පියවර ගෙන තිබුණි. එහිදී මංගල මහතා මෙසේ කියා සිටියේය.

28 වැනිදා රාත්‍රියේ මම උපවාසය පැවති ස්ථානයෙන් ගෙදර යන්න පිටත් වුණා. එදා තරමක වැස්ස දවසක්. මම බයික් එකේ තෙමීගෙනම ගෙදර පැත්තට ගියා. පාර ලිස්සන නිසා හෙමින්මයි ගියේ. ඒ විදියට පන්නිපිටිය රත්මල්දෙණියට කිට්ටු වුණා. ඈත තියාම පාර අයිනෙ කළු වෑන් එකක් නතර කරලා තියෙනවා දැක්කා. වෑන් එක ළඟට කිට්ටු වෙද්දීම රථයට පිටුපසින් තුන්දෙනෙක් පාරට පැන්නා. ඒ ගමන්ම මාව අල්ලාගත්තා. ඔවුන් තුන්දෙනා ළඟම පිස්තෝල තුනක් තිබුණා. මටත් බය හිතුණා. මාව අල්ල ගන්නවත් එක්කම වෑන් එකේ දොර ඇරුණා. කවුරුහරි තව ඉන්න ඇති. ඒ ගමන්ම මාව වෑන් එකට තල්ලු කරලා දැම්මා. මගේ මූණ කට ගැට ගහලා වැසුවා. අත් දෙක පිටුපසට තියලා ගැට ගැහුවා. පස්සේ වෑන් එක පැය තුනක් විතර යනවා තේරුණා. කොහෙට ගියාද දන්නෙ නෑ. 

ගිහින් මම හිතන්නෙ කොහේ හරි ගෙදරක් ඇතුළට අරගෙන ගියා. ඒක අඳුරු කාමරයක්. එළිය බිංදුවක් දකින්න නෑ. සීල් කරපු කාමරයක්. රූ දවල් හොයන්න බැරිව හිටියේ. ඒ අය කවුරු නමුත් මට කන්න බොන්න දුන්නා. හිරිහැරයක් කළේම නෑ. හැබැයි මගේ ළඟට ආපසු අයත් මූණු අවරණය කරගෙන හිටියේ. අඳුරගන්න බෑ. එයාලා මට කීවා මෑන් පවර් සේවක සංගමයේ තනතුරු වලින් ඉවත් වෙන්න කියලා. නැත්නම් කරදර වෙයි කීවා. අනිත් අයත් ඒකෙන් ඉවත් කරගන්න කීවා. මේ සේරම බොහෝම සැරට තර්ජන ස්වරූපයෙන් කීවේ. මම කීවා මමත් සංගමයේ සාමාජිකයෙක් විතරයි. එතන තනතුරු දරන අයට ඉවත් වෙන්න කියන්න මට හැකියාවක් නෑ කියලා. ඔය විදිහට මට තර්ජනය කරලා 31 රෑ වෙලාවක් මතක නෑ. මාව වෑන් එකකට නංවා ගත්තා. ඒ වෙලාවෙත් මූණ ගැටගහලා තිබුණා.

මේ විදිහට වාහනය පැය බාගයක් විතර ධාවනය වුණා. එහෙම තැනකදී නතර කළා. මගේ මූණ වහලා තිබුණු රෙද්ද බුරුල් කරලා වෑන් එකේ දොර අරින ශබ්දය ඇසුණා. ඒත් සමඟම මාව බිමට තල්ලු කළා. මම ප්‍රපාතයකට වැටිලා පෙරළිලා ගිහින් නැවතුණා. තව මොනවා හරි වැටෙන ශබ්දයක් ඇහුණා. මම මූණ වහපු රෙද්ද ඉවත් කළා. මම හිටියෙ ටිකක් කැලයක් වගේ තැනක. යන්තමට පෙනුණා තාර පාරක් තියන බව. මම පාරට ගොඩවෙලා ඉද්දි වාහන කීපයක් ගියා. මම ඒවාට අත දැම්මාට නතර කළේ නෑ. ටික වෙලාවක් යද්දී ලොරියක් ආවා. ඒකටත් අත දැම්මා. එයා නතර කළාම මම ඇහුවා මේ කොහේද? මට කරදරයක් වෙලා ඉන්නේ මට උදවු කරන්න පුළුවන් නම් මාව පොලීසියකට ගිහින් දාන්න කියලා. එයා කීවා මේ පානදුර රත්මලාන පාරේ ඉංගිරිය නයිබපාන පාලම ළඟ කියලා. පොලීසිය තියෙන්නේ ළඟ කියලත් කිව්වා. ඔහු මාව පොලීසිය ළඟින් බස්සවලා ගියා.

පස්සේ මම පොලීසියට ගිහින් විස්තර කීවාම ගෙදරට පණිවුඩය කීවා. ඊට පස්සේ ගෙදර අය ආවා. අනතුරුව පිළියන්දල පොලීසියේ පැමිණිල්ලක් දාලා තියන නිසා පිළියන්දල පොලීසියට යන්න කීවා. එතැනට ගිහින් විස්තර කීවා. මගේ බයිසිකලයත් පොලීසියෙ තිබුණා. නමුත් බයික් එක පොලීසියට ලැබිලා තියෙන්නේ මම පැහැරගත් තැනට ගොඩක් දුර තැනක තිබිලා. මම පැහැරගෙන තිබුණු ස්ථානය අයිති වෙන්නේ මහරගම පොලීසියට. ඒ නිසා මේ ගැන විමර්ශනය කරන්න මහරගම පොලීසියට යොමුකළා. එම නිලධාරින් විමර්ශන සිදුකරන බව කියා මගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා යැයි සුජිත් මංගල මහතා පැවසීය.

පැවති තත්ත්වය අනුව වෑන් රථයේ අංකය හෝ පුද්ගලයන් නාඳුනන බව කී හෙයින් ඉංගිරිය ප්‍රදේශයේ මාර්ගයට ආසන්න සී.සී.ටී.වී. කැමරා දර්ශන ඔස්සේද විමර්ශනය කෙරෙන බව පොලීසිය සඳහන් කරයි.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර