2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

ලොක් නැති දොරවල් නැති, හොරු නැති අපූරු ගමක්

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

අපි ගෙදරකට දොරක් දාන්නේ ආරක්ෂාවටනේ. නමුත් දොරවල් නැති ගමක් තියනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවාද? ඒ මදිවට මේ ගමේ බැංකුවලටත් දොරවල් නෑ....

පුදුමයි නේද? එන්න යමු ඒ පුදුමාකාර ගමට....

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ,  Shani Shingnapur නම් මේ පුදුමාකාර ගම්මානය පිහිටා තිබෙනවා. මේ ගම්මානයේ ගෙවල්වලට දොරවල් නෑ, අගුල් නෑ. මේ ගමේ හොරු නෑ....

Shani Shingnapur ගම්මානයේ පුරාණ හින්දු දේවස්ථානයක් පිහිටා තිබෙනවා. පුරාණ හින්දු විස්වාස වලට අනුව එම දෙවොලේ ශානි නම්  දෙවියෙක් වැඩ සිටිනවා. කවුරුන් හෝ සොරකමක් සිදුකළහොත් ශානි දෙවියන් විසින් දැඩි දඬුවම් ලබා දෙන බව ගම්වාසින්ගේ විශ්වාසයයි. කවුරුන් හෝ සොරකමක් කළහොත්, එම සොරා මිනිත්තු ගණනක් තුළ මියයෑම හෝ මානසික රෝගියකු වන බව ඔවුන් විශ්වාස කරයි.

දෙවියන් කෙරෙහි ඇති විස්වාසය නිසාම කිසිවකු තම නිවෙස්වලට දොරවල් පවා සවිකර නැ. උළුවහු තිබ්බට දොරවල් නෑ. ගෙවල් විතරක් නෙවෙයි තැපැල් කන්තොරැ, කඩ සාප්පුවලටත් දොරවල් නෑ.

Shani Shingnapur පොලිස් ස්ථානය අනෙත් පොලිස් ස්ථානවලින් වෙනස් වෙනවා. මෙහි සොරකම් පැමිණිලි නැති තැනක්. පොලිස් ස්ථානාධිපතිම කියන විදිහට දශක ගණනාවකට පසුව මෙහි 2010 වසරේදී  සොරකමක් වාර්තා වෙලා තියනවා. නමුත්  ගම්වාසින් කවුරැත්ම තවමත් තමන්ගේ වටිනා දේවල්  අගුලු දාන්නේ නැතිලු. දවස් ගණනාවක් මේ ගම්මානයේ කඩ සාප්පු හිමිකරැවන් නැතිව විවෘතව තිබුණත් කිසිම දෙයක් නැති වෙලා නෑ කියලයි පොලිසිය කියන්නේ.

UCO නම් ඉන්දියානු බැංකුවත් දෙවියන් කෙරෙහි විශ්වාසය තියලා, දෙර අගුලු නැති බැංකු ශාඛාවක් ගම්මානයේ විවෘත කරලා. අගුලු නැති බැංකුවක්!!! පුදුමයි නේද?

නමුත් බැංකුවක් කොහොමද දොරවල් නැතුව තියන්න බෑනේ. නීති රෙගුලාසි අනුවත් බැංකුවකට උපරිම ආරක්ෂාවක් දිය යුතුයි. ඒ නිසාම බැංකු ශාඛාව විසින් පසුව දොරවල් සවි කළත්, ඒවාත් නිතරම ඇරලා තියන්නේ. නමුත් ආරක්ෂිත ලිපිලේඛන අගුලු දානවාලු. 

මහාරාෂ්ඨ වැනි අපරාධ අධිකව සිදුවන ප්‍රාන්තයක  මෙවැනි ගම්මානයක් තිබීමත් පුදුමයි.

- රොෂින් ප්‍රනාන්දු