2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

පෑරුණු සිත් සංසිඳුවන මහින්ද චන්ද්‍රසේකර

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 639

ප්‍රවීණ ගීත රචක මහින්ද චන්ද්‍රසේකරගේ නිර්මාණ ඇගැයෙන සාලිස් වසක ගී පද අසිරිය කෘතිය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇත. මේ ඔහුගේ ගී නිර්මාණයෙහි පැතිකඩක් විවරණය කරමින් ලියූ ලිපියකි.

ගීතයක නෛතික අයිතියෙහිදී ගීත රචකයාට ප්‍රමුඛස්ථානයක් හිමිවුවත්, රසික පර්ශදය තුළ ගීතයක් ප්‍රකට වන්නේ ගායකයා නැතහොත් ගායිකාව ප්‍රමුඛ කරගෙනය. ලාංකේය ඉතිහාසය තුළ ගීතයට දිගු ඉතිහාසයක් ඇතත් ගීතයක් ප්‍රචාරය වීමේදී පද රචනය කළේ කවුරුන්ද යන්න නිවේදනය කරන්නට යෙදු‍ණේ සාපේක්ෂව බලනවිට මෑත කාලයක සිටය. ගීතයෙහි රචකයාට සමාජයෙහි නමක් ලැබුණේ ගීත පොත් ප්‍රකාශයට පත්වීමත් සමඟය. ආරම්භයෙහිදී ගායකයන්ගේ හෝ ගායිකාවන්ගේ ගීත මුද්‍රණ ද්වාරයෙන් එළිදැක්වුණු අතර, එම පොත්වල ගීතයක අවසානයෙහි ගායනය, රචනය සහ සංගීතය යන අංශවල දායකත්වය පළවීම මෙම ප්‍රවණතාවෙහි ආරම්භය ලෙසින් සඳහන් කළ හැකිය. ගීත රචනා සඳහා සාහිත්‍ය සම්මානයක් වෙන්වීම මෙම ප්‍රවණතාව තවදුරටත් වර්ධනය වීමට හේතුවිය. ගීත රචකයෙකුගේ නිර්මාණ සංගෘහිත කර එක්තරා අන්දමකින් විචාරශීලී විමර්ශනාත්මක කෘතියක් ප්‍රකාශනය කිරීම වනාහි එම ප්‍රවණතාවෙහි තවත් ප්‍රශස්ත වර්ධනීය අවස්ථාවක් ලෙසින් සැලකිය හැකිය

මහින්ද චන්ද්‍රසේකරයන් වෙනුවෙන් මෙවන් කෘතියක් එළිදක්වනු ලැබීම පැසසුම් කටයුතුය. කිතුගොස් පැසසුම් පිදිය යුතු වන්නේ ඒ සඳහා මුළු සුදුසුකම් සපිරි නමුත්, කිසිවිටෙක ඒ පසුපස හඹා නොයන්නන් වෙතය. මහින්ද චන්ද්‍රසේකරයන් එම වර්ගයට අයත්වූවන් අතරෙහි ඉහළින්ම සිටියි. ඔහුගේ ඇති එවන් විශිෂ්ට ගුණාංගයන් අතරින් ප්‍රමුඛතම වන්නේ නිර්ව්‍යාජත්වයයි.

මහින්ද චන්ද්‍රසේකරයන්ගේ ගීත රචනාවලින් මෙම ලිපියෙහිදී මගේ අවධානයට යොමුවෙන මරතොණ්ඩිය රටා අඳී, මාතොටින් එන උතුරැ සුළඟේ, තෙන්නමරන් කළපුව ළඟ, උතුරින් එන දුම්රියේ යන ගීතවල තේමාව අයත් වන්නේ ලංකාවේ යුද්ධයත් සමඟ උච්චත්වයට පත් ජනවාර්ගික ප්‍රශ්නයෙහි වපසරිය තුළටය. මෙම ගීත ජනතාව අතරට යන්නේ ගීතවලින් උද්දීපනය කෙරෙන අදහස් එකී ගීතවල ශ්‍රාවකයන් වසන සමාජය තුළ ජනප්‍රිය අදහස් සමඟ ගැටෙන පරිසරයකදීය. ඒ අතින් මෙම ගී අයත් වන්නේ විකල්ප ධාරාවට යැයි සිතමි. කාලයේ රාවය, කම්පන, සාධු ජනරාව වැනි ප්‍රසංගද, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙහි රජරට සේවයද වශයෙන් වැඩි වර්ධනය වූ ප්‍රවණතාවක අස්වැන්න ලෙසින් හැඳින්විය හැකි මෙම ගීත සිංහල ගීත ශ්‍රාවක පර්ශදය තුළ ඇතිකරන කලාත්මක ප්‍රහර්ෂයද, විෂම අදහස්වලට එරෙහිව යන චින්තන ශක්තියද සුළුවෙන් තක්සේරු නොකළ යුතුය යන්න අවධාරණයෙන් පැවසිය යුතුය. වාර්ගික ස්වෝත්තමවාදී චින්තන ධාරාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ලබන මෙම ගී හුදු ජනවාර්ගික සමගිය යන්නට සීමානොවී ජාතිය, ආගම සහ භාෂාව යන බාහිර වේශයන්ට අභ්‍යන්තරයෙන් දිවෙන යථාර්ථය දෙස අපගේ අවධානය යොමු කරවයි. ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීතයෙන් යුතු විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගයන මාතොටින් එන උතුරු සුළඟේ යන ගීතයෙහි එන

මන්දිරේ දොර නුඹව කැඳවයි
බේබිලා හඬනා හඬින් 
මායිමේ වැට අඬගසයි
අවි දරා රකිනා ලෙසින්

යනුවෙන් පවසන විට ජනවාර්ගික පීඩනය සමඟ එක්වුණු පන්තිමය පීඩනය විසින් සරණාගත දිවියට පත්කර ඇති ජනයාගේ ඉරණම තියුණු ලෙසින් ඉස්මතු කර පෙන්වීමට ගී පද රචකයා සමත් වෙයි. මෙම තත්ත්වය තවත් තීව්‍ර කිරීමට සමත් වන්නේ මතුපිටට පෙනෙන ගුරු ගෝල වෙනසට වඩා ගැඹුරට දිවෙන පන්තිමය සමගියක් තමන් අතර පවතින බව,

ගුරුතුමී මා සිසුවියයි නුඹ
ඒත් අපි එක පන්තියේ යන්න තුළින් ප්‍රකාශ වීම නිසාය.

මහින්ද චන්ද්‍රසේකරයන් මෙලෙසින් වාර්ගික සීමාවට ඔබ්බෙන් පිහිටි සමාජ යථාර්ථය විනිවිද දැකීමට හැකි ශක්‍යතාව පෙන්නුම් කරන අතරම, එම ලෙසින් ක්‍රියාත්මක වන මර්දන උපකරණය දෙසද පීඩිතයාගේ පාර්ශ්වයෙහි සිට බැලීමට ඇති හැකියාව ප්‍රකට කෙරෙන ඔහුගේ ගීතයක් ලෙසින් ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් රසවත්ව විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගයන

දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා
ගිනිමැල ගහගෙන රැක හිටියා

යන ගීතය හැඳින්විය හැකිය. පෙර සඳහන් කළාක් මෙන් මහින්ද චන්ද්‍රසේකරයන්ගේ ගීතවල මෙම සුවිශේෂ ගුණයට හේතුව වන්නේ නිර්ව්‍යාජත්වයයි. කරැණාරත්න දිවුල්ගනේ ගායනා කරන, විශාරද ගුණදාස කපුගේ සංගීතමය දායකත්වය ලබාදුන් මරතොණ්ඩිය රටා අඳී යන ගීතයේ එන 

එළු රෑනේ වැලි පාරේ
පියසටහන් මකලා
මුන්දානිය ගෙල එතුණා
නුඹ ගෙයි සිරකරලා

යන පදවැල් පෙන්වා දෙන්නේ එම සමාජ යථාර්ථයයි. මහින්ද චන්ද්‍රසේකරයන්ගේ ගී පදවැල්වලින් අප තුළ ඇතිකරන කලාත්මක වේදයිතයන් වනාහි ඔහු විඳි සමාජ අත්දැකීම නමැති කටු අකුලේ පිපුණු මල් වෙයි. එහෙයින් අප මල් මෙන්ම කටු යන දෙකම දෙස අවධානය යොමුකළ යුතු යැයි මම සිතමි. මෙවන් සරු අස්වැන්නක් සිංහල ගීත සාහිත්‍යයට එක්කළ මහින්ද චන්ද්‍රසේකරයන්ට දීරඝායු පතමි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල්
ඉංග්‍රීසි සහ වාග්විද්‍යා අධ්‍යයනාංශය, යාපනය විශ්වවිද්‍යාලය