
අපි කවි ලෝකයේ ආධුනික චරිත. මම මුල්ම කවිපොත පළ කළේ 2011 දී. ඒ පිනිදිය වැස්ස. නමුත් ඒක පළ කළ විට තේරුණා කවි කියන්නේ වෙනම දෙයක් කියලා. ඊටපස්සෙ මම කවිය ගැන අධ්‍යයනය කළා. කවිය ගැන මගේ අදහසක් තිබෙනවා. ඒ තමයි මිනිස් ප්‍රශ්න අපි කතා කරමින් එය මිනිසුන් සමඟම බෙදාගත යුතු බව. සෞන්දර්යාත්මක අංශයත් මතුවන සේ ජීවිත ගැන විවරණය කරමින් නිර්මාණ කිරීමටයි, මම උත්සාහ කළේ. මම අවුරුදු හයක් විතර කල්ගත කරමින් කවි ලිව්වා. ඒ නිකම් කවි පොතක් පළකිරීමට නොව හොඳ කවි පොතක් පළකිරීමට අවශ්‍ය නිසයි.
මේ පාර රජත පුස්තකවලට ප්‍රවීණයන්ගේ කවිපොත් රාශියකුත් තිබුණනේ. ඉතින් සම්මානයක් සඳහා නිර්දේශ වේවි කියලවත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. පොතට සෑහෙන පාඨක ප්‍රතිචාර ලැබී තිබුණා. ඒ නිසා මට සතුටක් දැනුණා. මිනිසුන්ට මම කියූ දේවල් තේරී ඇති බව හා එම නිර්මාණ ඔවුන් අතරට ගොස් ඇති බව පෙනුණු නිසා.
පස්සේ රජත පුස්තක අවසාන කෘති හතර අතරට කවුළු ඇස පාමුල තේරුණුවිට මම ආයෙත් පොත පෙරළලා බැලුවා. මගේ නිර්මාණවලින් පැවසූ දේ විනිශ්චය මණ්ඩලයේ ඇගැයීමට ලක්වීම ගැන සතුටක් දැනුණා. දැන් ඉතින් මේ ඇති සිතුණා මිස සම්මානයක් ගැන අදහසක්වත් මට ඇතිවුණේ නැහැ.
අපට එලෙස පැවසුවේ පසුගියදා නිමාවට පත්වූ 2018 රජත පුස්තක සම්මාන උළෙලේ කාව්‍ය අංශයෙන් විශිෂ්ටතම කෘතියට හිමි සම්මානය හිමිකරගත් ළහිරැ කිතලගමය. අවසාන වටයට නිර්දේශ වී තිබුණේ ළහිරැගේ කවුළු ඇස පාමුල, රත්න ශ්‍රී විජේසිංහගේ වස්සානයට පසු, සුනිල් විජේසිරිවර්ධනගේ ගිරි මුදුන - මගේ නිවහන සහ ආරියවංශ රණවීරගේ තවමත් මල්ය. අවසන් වටයට නිර්දේශ වූ සෑම කෘතියකටම රැපියල් 50000 බැගින් මුදල් ත්‍යාග සහ සහතික පත් හිමිවූ අතර, ජයග්‍රාහී කෘතියට සම්මානය සමඟ රුපියල් 250000ක්ද හිමිවිය. ප්‍රවීණ කවීන් අතර සිටි එකම තරුණ කවියා වන ළහිරැට සම්මානය හිමිවීම ගැන මේ වන විට සමාජ මාධ්‍ය අතර කතිකාවක් පැනනැගී තිබේ. ඒ ගැන විමසීමට දැරෑ උත්සාහයකි, මේ.
ජයග්‍රාහී කෘතිය තේරෑ උත්තරීතර විනිශ්චය මණ්ඩලය නියෝජනය කළේ ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහ (සභාපති) ගාමිණී සුමනසේකර, සේනානි බණ්ඩාර යන වියත්හු වෙති. මෙම කෘතිය කාව්‍ය කෘති 85 ක් අතරින් මුල්තැනට පැමිණීම විශේෂිත සිද්ධියක් සේ විචාරකයෝ ද තම මුහුණුපොත් ඔස්සේ අදහස් පළකර සිටියහ. සම්මානනීය ලේඛක අනුරසිරි හෙට්ටිගේ මෙසේ මුහුණුපොතේ අදහස් පළකර තිබුණි.

මේ සම්මානය ලාංකික සම්මාන වංශකතාවේ නිර්භීතම සම්මාන අනුමැතිය බව මම සලකමි. මන්ද කවියන්ගේ නාම නොව ඔවුන් විසින් ඉදිරිපත් කර තිබූ කවියේ ස්වභාවය සලකා මෙම සම්මානයට නිර්ණායකයන් අනුමත කිරීමය. රණවීරගේ හෝ රත්නශ්‍රීගේ කවිය ගැන ගැටලුවක් නැත. ඔවුහු ජීවමාන මහා කවියෝ වෙති. ඔවුන්ගේ කාව්‍ය ඉතිහාසය බලවත්ය. නමුත් සම්මානය සඳහා ඉදිරිපත් කෙරැණු නිර්මාණ ඇසුරේ සලකා බැලූවිට කවිය තුළ ඔවුන් ගොඩනැංවූ සිය අතීත ප්‍රතිභාව මිස නව කාව්‍ය මාර්ගයක් ගැන ආධුනිකයාට ආදර්ශයක් සැපයීද? අතීතය මිස නව සමාජ කියවීම ගැන කිසි ආදර්ශයක් මෙතැන සිට ඉදිරියට යන ආධුනිකයාට සැපයීද? මේ ගැන උත්තරීතර සම්මාන මණ්ඩලය සලකන්නට ඇත.
මේ තීන්දුව ගැන ප්‍රශ්න පැනනගින සිත් ඇති බව මම දනිමි. එය ඒ භූමියේදීම ප්‍රකාශ වනු ඇසුවෙමි. නමුත් ටිකක් සිතන්න. ළහිරැ කිතලගම සම්මාන ලබන්නේ ඔහුගේ හිතවතුන්ගෙන් නොවේ. කල්ලියකින් නොවේ.
අනුරසිරි හෙට්ටිගේ දැක්වූ අදහස්වලට ටීකාවක් සපයන සම්මානනීය කවි බුද්ධදාස ගලප්පත්ති මෙසේ සටහන් කර තිබුණි.
අනුරසිරි දුටු නිර්භීත සම්මාන ඉතිහාසයේ ඇරුඹුම ලෙස මා දකින්නේ 2010 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ කාව්‍ය සංග්‍රහයට (හිරැත් හිමපියල්ලක) රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවීමයි. පළමු කවිපොත පළ කළ මහින්ද සමඟ අවසාන වටයට නිර්දේශ වී තිබුණේ සම්මානිත කවියර රත්න ශ්‍රී විජේසිංහ හා ප්‍රවීණ සාහිත්‍යධර මහාචාර්ය සෝමරත්න බාලසූරියගේ කාව්‍ය සංග්‍රහයයි. ඔවුන්ගේ කෘති තිබියදී ආධුනික මහින්ද ප්‍රසාද්ගේ කාව්‍ය සංග්‍රහයට සම්මානය හිමිවීම රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය ගත් නිර්භීතම විනිශ්චයක් නොවන්නේද? නිර්භීත සම්මාන විනිශ්චය පිළිබඳ ඉතිහාස තතු මෙසේය.
රාජ්‍ය සාහිත්‍ය උළෙලේදීම (2012) පළමුවරට ආධුනික කවි කිවිඳියන් වූ සුහර්ෂිණී ධර්මරත්න හා සුනන්ද කරුණාරත්න සම්මාන ලබන්නේ එරික් ඉලයප්පාරච්චි වැනි ප්‍රවීණ හා සම්මානිත කවියකුගේ කෘතියක් අභිබවමිනි.
ආධුනික හා තරුණ කවීන් ප්‍රවීණයන්ගේ කෘති පරයමින් සම්මාන ලැබූ අවස්ථා රාජ්‍ය සාහිත්‍ය උළෙල, ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල හා විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලවල මෑත කාලයේ සම්මාන දුන් කවීන්ගේ නාමාවලිය විමසීමෙන් දත හැකිය.
සෞම්‍ය සඳරුවන් ලියනගේ, රුවන් බන්දුජීව හා ටිම්රාන් කීර්ති වැනි තරුණ කවීන් හොඳම ලෙස සම්මානිත වී ඇති බොහෝ අවස්ථාවල, ඔවුන් ඉදිරියට පැමිණ ඇත්තේ ප්‍රවීණ හා පෙර සම්මාන ලද කවීන් අභිබවා බව සිහිපත් කළ යුතුය.
Left art නම් මුහුණුපොත් පිටුවේ මෙවැනි අදහසක් පළව තිබුණි. විශේෂයෙන් කවිය සම්බන්ධව දීර්ඝකාලීන මෙහෙවරක නිරතවුණු ප්‍රවීණයන් තුන්දෙනෙක් පරයා තරැණ කවියෙක් සම්මානයට බඳුන්වීමත් එක්ක ප්‍රධාන වශයෙන් කල්ලි දෙකක් නිර්මාණය වෙලා. එක කල්ලියක් ඉන්නේ කවියේ නූතන බව අගයන ආස්ථානය තුළ. අනෙක් කල්ලිය කවියේ සර්වකාලීන බව වෙනුවෙන් පෙනී සිටීම තුළ. සම්මානිත කවියාගේ කවිය වෙනුවට ඔහුගේ තරැණකම වඩාත් ඉස්මතු කරවන සුබපැතුම්, කාව්‍ය විචාර කිහිපයක් දුටුවා. අවසන් වටයට පවා නොතේරැණු තවත් ප්‍රශස්ත කාව්‍ය කෘති කිහිපයක්ම තිබුණා.
ගියවර රජත පුස්තක හා රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිකරගත්තේ ලක්ශාන්ත අතුකෝරළ තරුණ කවියාය. දැන් 2018 රජත පුස්තක කවි සම්මානයද ඒ පරම්පරාවට හිමිව තිබේ.
ලිපියේ අවසානයට Left art මුහුණුපොතට යොමුකළ මේ අදහස වැදගත් යයි අපට සිතුණි.
අවම වශයෙන් සම්මානිත කෘතිය පිළිබඳව හෝ විවෘත සංවාදයක් ඇතිවෙනවා නම් එය කතුවරයාටත්, පාඨකයාටත්, අනෙක් නිර්මාණකරුවන්ටත් අගනේය. එහෙම නැතුව &අපි දින්නා හෝයියා කිය කියා බ්‍රේක් ඩාන්ස් දැමීමෙන් හෝ පරාජිත බව අප්‍රකාශිතව හිතමිතුරන් සමඟ බෙදාහදා ගැනීමෙන් කවියට වන සෙතක් නැත.
කුසුම්සිරි