2017 ජනවාරි 28 වන සෙනසුරාදා

යළි උපදින රේඛාව

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 05:00 96

 

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිර්මාණය කළ රේඛාව චිත්‍රපටයට වසර හැටක් පිරීම නිමිත්තෙන් ටවර් හෝල් රඟහල පදනම අලුත් වැඩකට අත ගැසීය. ඒ රේඛාව චිත්‍රපටය ඩිජිටල් සිනමා තාක්ෂණය යටතේ නැවත නිර්මාණය කර චිත්‍රපටය සංරක්ෂණය කිරීමයි. එලෙස සංරක්ෂණය කළ නව රේඛාව චිත්‍රපටය ජනවාරි මස 29 වැනිදා රීගල් සිනමා ශාලාවේ නැවතත් තිරගත වෙයි. ඒ ගැන තොරතුරු සොයා බැලීමට අපි ටවර්හෝල් රඟහල පදනමේ ව්‍යාපෘති සංවිධායක අනුර හේමන්ත ෆොන්සේකා මහතා සම්බන්ධ කර ගත්තෙමු.

රේඛාව චිත්‍රපටයට අවුරුදු හැටක් පිරීම නිමිත්තෙන් අලුත් වෙනසක් කරන්න යනවා. මොකක්ද මේ වෙනස?

රේඛාව අවුරුදු හැටක් පිරීම වෙනුවෙන් සංස්කෘතික උලෙළක් විදිහට වැඩසටහන් මාලාවක් පවත්වන්නට අපි තීරණය කරලා තියෙනවා. ඒ වෙනුවෙන් සංවිධානය වෙමින් පවතිනවා. ඒකට වෙනස්කම් කීපයක්ම හේතුවෙනවා.

මේ සංකල්පය ගොඩනැගුණේ කොහොමද?

ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ නිර්මාණ අගය කිරීමක් කළයුතු බව ටවර්හෝල් රඟහලේ සභාපති ලයනල් ප්‍රනාන්දු සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් දෙදෙනාගේ සංකල්පයක් තමයි මේක.

මෙහි අරමුණ?

අද වෙද්දී ලක්ෂ හතළිහක් පමණ වෙන පාසැල් දූ දරුවන් අතරින් වියැකී යන රසඥතාවය යළි පුබුදුවාලීම තමයි අපේ මෙහි මූලික අරමුණ වෙන්නේ. මේක පුබුදුවාලීම සඳහා අපි හිතන්නේ සර්වකාලීන වැදගත්කමක් තියෙන උසස් ඝනයේ කෘතීන් තමයි මේ දරුවන්ගේ ඇසුරට පත්කළ යුතු වන්නේ.

ඒ අතරින් ප්‍රධාන තැනක් මනමේ සහ රේඛාව ගන්නවා කියන විශ්වාසය ඔබලා අතර පවතිනවා...?

ඔව්.... අනිවාර්යයෙන්ම. ඒ වෙනුවෙන් අපි මුලින්ම තෝරා ගත්තේ මනමේ සහ රේඛාව චිත්‍රපටයයි. එයින් මනමේ නොවැම්බර් 03 වැනිදා ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී පැවැත්වුණා.

නමුත් රේඛාවට අවුරුදු හැටක් පිරෙන්නේ දෙසැම්බර් මාසේ නේද?

ඔව්. ඒකට අවුරුදු හැටක් පිරෙන්නේ දෙසැම්බර් මාසේ විසඅටවැනිදා. ඒත් අපිට ඒකට සංස්කෘතික උළෙලක් සංවිධානය කරන්නට ටිකක් ප්‍රමාද වුණා. ඒකට හේතුව වුණේ නත්තල් උත්සව සමය සහ වර්ෂ අවසානයත් සමගයි. ඒ නිසා අපි දෙසැම්බර් මාසය අතහැරලා අලුත් අවුරුද්දේ ජනවාරි මස අග තුළදී මේ උළෙල පවත්වන්නට තීරණය කළා.

මේ වෙනුවෙන් ඔබලාගේ මූලික ඉලක්කය පාසල් දරුවන් විතරමද?

නෑ... පාසල් දරුවන් ඉලක්ක කරනවා මෙන්ම කලා රසිකයින්ගේ කලා රසඥතාවයත් පුළුල් කරන්න ඕනෙනේ. 1956 දී මේ රටේ කලා පුනරුදයක් ඇතිවුණා. බණ්ඩාරනායක රජය යටතේ සංස්කෘතික දෙපාර්තමේන්තුව බිහිවුණා. චිත්‍රපට බිහිවුණා. නාට්‍ය බිහිවුණා. මාර්ටින් වික්‍රමසිංහගේ කෘතීන් බිහිවුණා. මේ හරහා කලා පුනරුදයක් ඇතිවුණා. අද වෙද්දිත් අපේ රටේ කලාවට ළැදි පිරිසක් බිහිවෙලා ඉන්නවා. ඒ නිසා මේ හැමදෙනාම අපේ ඉලක්කයක් වෙනවා.

මෙවර රේඛාව චිත්‍රපටය තිරගත වෙන්නේ අලුත් තාක්ෂණයත් සමඟයි?

ඔව්... රේඛාව ජනවාරි මාසෙ විසිනම වැනිදා රීගල් සිනමා ශාලාවේ තිරගත කරනකොට තාක්ෂණයත් වෙනස් වෙනවා. අද ඩිජිටල් සිනමා තාක්ෂණයෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණ‍ෙවෙලා තියෙන්නේ. මේ ඩී.සී.පී. ක්‍රමය ලංකාවේ කරන්නෙ නෑ. ඒ නිසා ඉන්දියාවට මේ චිත්‍රපටය යවලා ඩී.සී.පී. යටතේ මේ චිත්‍රපටය නැවත නිර්මාණය කළා. ඒ වෙනුවෙන් විශාල මුදලක් අපිට වැයවුණා. ඒ නිසා අද අපි රේඛාව චිත්‍රපටය නරඹන්නේ ඩිජිටල් සිනමා තාක්ෂණය යටතේයි. මෙමගින් මෙම චිත්‍රපටය නව තාක්ෂණය යටතේ සංරක්ෂණයද කරනවා.

රේඛාව චිත්‍රපටයෙන් විතරක් මේ ඩිජිටල් සිනමා තාක්ෂණ සංරක්ෂණය නතර වේවිද? කැලෑ හඳ, විරාගය, හඳයා, ගම්පෙරළිය වැනි සිනමා නිර්මාණයන්ට මොකද වෙන්නේ?

නෑ. මේ තත්ත්වය රේඛාවෙන් කෙසේවත් නතර වෙන්නේ නෑ. අපිට තියෙන ඉතා වටිනා නිර්මාණ වන කඩවුණු පොරොන්දුව, ගොළු හදවත, ගම්පෙරළිය, විරාගය, සංදේශය, රන්මුතු දූව, ගැටවරයෝ, දඩයම වැනි මේ හැම නිර්මාණයක්ම ඉදිරියේදී ඩිජිටල් සිනමා තාක්ෂණය යටතේ නැවත නිර්මාණය වෙනවා. ජාත්‍යන්තර සම්මාන උළෙලවල් නියෝජනය කළ අපේ රටට ඇගයීමක් ලබා දුන්නු හැම නිර්මාණයකටම අපේ අවධානය යොමුවෙනවා. අනෝජා, විජය, ස්වර්ණා, රවීන්ද්‍ර, මාලනී මේ හැම දෙනෙක්ම ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වෙච්චි නළු නිළියෝ. ඉතින්.... ඒ අයගේ නිර්මාණයන් තුළින් ඒ අයගේ දක්ෂතාවයන් සංරක්ෂණය වීමත් සිදුවෙනවා. මෙලෙස චිත්‍රපට සංරක්ෂණය කිරීම තුළින්.

රේඛාව ජනවාරි විසි නමවැනිදා තිරගත වෙනවා. මෙදිනට නැරඹිය නොහැකි වන අයට මොකද වෙන්නේ... බොහෝ දෙනෙක් රේඛාව බලන්නට ආසාවෙන් ඉන්නවා නේද...?

ඔව්.... අද වෙද්දි අපිට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ජනවාරි විසි නවවැනිදා රීගල් සිනමා ශාලාවේ ඩිජිටල් සිනමා තාක්ෂණය යටතේ ප්‍රථම තිරගත වීම සිදුවෙනවා. නමුත් ඒ ආරම්භයත් විතරයි. අපි එතනින් නතර වෙන්නේ නෑ. අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම සෞන්දර්යාත්මක වැඩසටහන එදින ආරම්භ වෙනවා. අද වෙද්දී ඩිජිටල් තාක්ෂණයෙන් යුත් සිනමාහල් ලංකාවේ පනස් ගණනක් තිබෙනවා. ඒ වගේ ශාලා පනහක් තෝරාගෙන එකම දිනයේ එකම වෙලාවට දින කීපයක් රේඛාව තිරගත කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අපි ටිකක් පත පවා නිකුත් කරනු ලබන්නේ ඉතාමත් අඩු මුදලකටයි. එමගින් බොහෝ දෙනෙකුට රේඛාව ඩිජිටල් සිනමා තාක්ෂණය යටතේ නැරඹිය හැකි වෙනවා.

මේක කෙනෙක්ට දෙන්නෙක්ට කළහැකි කටයුත්තක් නෙමේ. මේ සංකල්පය ක්‍රියාවට නඟන්න මේ වටා සිටි පිරිස කවුද?

ඇත්ත.... මේක එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ මහන්සියේ ප්‍රතිඵලයක් නොවේ. රේඛාව වෙනුවෙන් අපි අනු කමිටුවක් පත්කරගත්තා. ඒ කමිටුවේ ටවර්හෝල් රඟහල පදනමේ සභාපති ලයනල් ප්‍රනාන්දු මහතා, රෝසි සේනානායක මහත්මිය, සමන් අතාවුදහෙට්ටි මහතා, නියෝමාල් අල්විස් මහතා, සුමිත්‍රා පීරිස් මහත්මිය, ඒ.ඩී. රංජිත් කුමාර මහතා සහ මම එකතුවෙලා ඉන්නවා. අපි වටාත් විශාල පිරිසක් අපේ උදව්වට ඉන්නවා. මේ හැමදෙනාතුළම සැබෑ කලා හැඟීම් ඇතිව මේ ව්‍යාපෘතිය නිර්මාණය කළා. ඉතින්... මං මේ රටේ කලාකාමී මිනිසුන්ට ආරාධනා කරනවා... එන්න... රේඛාව අලුත් ඇසකින් බලන්නට කාලයයි මේ.....

♦ දිශානි ජයමාලි කරුණාරත්න