2018 ජුනි 09 වන සෙනසුරාදා

වර්ජන රැල්ලේ ගහගෙන යන රටේ හෙට දවස

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1189

යළිත් වරක් රටපුරා වර්ජන රැල්ලක් ඇතිවෙමින් පවතී. එක් අංශයක ආරම්භ වූ වැඩ වර්ජනය සමථයකට පත්වන විට තවත් පැත්තකින් වර්ජනයක් පටන් ගනී. මේ නිසා වැඩවර්ජන බෝවෙන රෝග වසංගතයක් බවට පත්ව ඇති සැටියකි. මෙම තත්ත්වය ආණ්ඩුවට මෙන්ම රටේ ආර්ථිකයටද ජනතාවටද අහිතකරය. වැඩවර්ජන පිළිබඳ අතීතය සොයාබලන විට ජේ.ආර්. ජයවර්ධන රජය සමයේ ඇතිවූ 1980 රාජ්‍ය සේවා වැඩවර්ජනය සිහියට නැඟේ. එහිදී වැඩවර්ජනය කළේ සිය වැටුප රුපියල් 10ක් ඉහළ නංවා ගැනීම සඳහාය. මෙහිදී වර්ජකයන්ට එරෙහිව සාහසික ලෙස හැසුරුණු එම රජය ආයතන සංග්‍රහය ප්‍රකාරව වර්ජකයන් තනතුරු අතහැර ගියා සේ නිවේදනය කර පනස් දහසකට අධික රාජ්‍ය සේවකයන්ගේ සේවය අසාධාරණ ලෙස අහිමි කළේය. එම ස්ථානවලට බඳවාගත් පිරිස අතර සුදුසුකම් නොමැති දේශපාලන ගැත්තන්ද සිටීම නිසා රාජ්‍ය සේවයට පහරක් එල්ල විය. ඒ සමයේ වූ රාජ්‍ය සේවයේ කඩාවැටීම තවමත් පවතී.

එකල වර්ජනය කර රැකියා අහිමි වූ අය යළි රැකියා ලබාගැනීම සඳහා සංවිධාන ගත වූ අතර එම ජූලි වැඩවර්ජකයන්ගේ සංවිධානය ඊට පසු බලයට පැමිණි ආණ්ඩුවලට විශාල හිසරදයක් බවට පත්විය. ඇතැම් සේවකයන්ට යළි රැකියා දීමටද සමහරුන් විශ්‍රාම ගැන්වීමටද පසුව බලධරයන්ට සිදුවූ අතර අද දක්වාම වැඩවර්ජක සංවිධානය විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටී.

කෙසේ වුවද එයට පසු බලයට පත්වූ ආණ්ඩුවලට වැඩ වර්ජකයන්ගෙන් තර්ජන එල්ල වූ බව රහසක් නොවේ. පසුගිය මහින්ද රාජපක්ෂ සමයේදීද වැඩවර්ජන කඩාකප්පල් කිරීම සඳහා වර්ජකයන් බිය ගැන්වීම සහ වෘත්තීය සමිති නායකයන්ට විවිධ වරදාන දෙමින් ඔවුන් තමන්ට නතුකර ගැනීම සිදුකළ බවට චෝදනා එල්ල වේ. තවද වර්ජකයන් අතර අසමගිය නිර්මාණය කර කඩාකප්පල් කිරීමද සිදුවූ බව පැවසිය යුතුය. කෙසේ වුවද ඇතැම් වැඩ වර්ජනවලදී සේවකයන්ට ස්වකීය ඉල්ලීම් දිනාගැනීමට හැකිවීමෙන් ජයග්‍රහණ ලීලාවෙන් වර්ජන සමාප්ත කිරීමට සිදුවූ බවක්ද පෙනෙන්නට තිබිණ. බොහෝ වැඩවර්ජන සේවක ප්‍රශ්න විසඳීමට වඩා ආණ්ඩු පෙරළීම හා දුර්වල කිරීම සඳහා දේශපාලන ව්‍යාපාර ලෙසද ක්‍රියාත්මක වූ අතර ඒවායේ අදෘශ්‍යමාන නායකත්ව ගෙන සිටියේ වාමාංශික දේශපාලනඥයන් වීම කැපී පෙනුණි. කම්කරුවන්ගේ කර මතින් බලය ලබාගැනීම ඇතැම් මාක්ස්වාදී දේශපාලනඥයෝ අවස්ථාවාදී ලෙස කටයුතු කළහ.

කෙසේ වුවද පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ පැවැති විවිධ වර්ජන නිසා මෙතෙක් අහිමි වූ වැඩකරන පැය ගණන පිළිබඳ හා කඩාකප්පල්කාරී ක්‍රියා නිසා රාජ්‍ය සහ පෞද්ගලික දේපලවලට සිදුවූ හානිය පිළිබඳවද සංඛ්‍යාලේඛන නොමැත. වර්ජන හේතුවෙන් රටේ සමස්ත නිෂ්පාදනයට සිදුවූ හානිය සුළුපටු නොවේ. එසේම ජනතාවගේ එදිනෙදා කටයුතුවලට සිදුවූ දුෂ්කරතා අමතක කළ නොහැකිය.

බොහෝ විට සේවකයන්ගේ ඉල්ලීම් වූයේ ස්වකීය වෘත්තීය පිළිබඳ ගැටලු නිරාකරණයයි. වැටුප් වැඩිකරවා ගැනීමා උසස්වීම් ලබා ගැනීම, ස්ථාන මාරු විධිමත් කිරීම, වැඩකරන පැය ගණන පිළිබඳ ගැටලු හා විවිධ දීමනා ඉහළ නැංවීම ආදී ඉල්ලීම් බහුල විය. ඒ අතර රටේ ජනතාවගේ පොදු ප්‍රශ්න පිළිබඳ වෘත්තීය සමිති හඬ නැගුවේ අල්ප වශයෙනි. මේ නිසා පොදු ජනතාව නිතරම සේවක වැඩවර්ජන පිළිබඳ දෝෂ දර්ශනයට ලක්කොට කතා කළ අතර, වර්ජනවලට ජනතා සහාය අල්ප විය.

කෙසේ වුවද වර්තමාන යහපාලන රජය බලයට පත්වූ දින සිටම රටපුරා වර්ජන රැල්ලක් ආරම්භ වූ අතර මේ වනවිට එය උග්‍ර තත්ත්වයට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබේ.

වෘත්තීය සමිති ආඥා පනත අනුව වැඩවර්ජනයක් උන්හිටි ගමන් ආරම්භ කළ නොහැකි අතර සේවකයන් විසින් සති දෙකකට පෙර පාලකයන් ඒ පිළිබඳ දැනුවත් කළ යුතු විය. අනෙක් අතට එකවරම අඛණ්ඩ වැඩවර්ජනයකට යා නොහැකි අතර උද්ඝෝෂණ, කෑම පැයේ පිකටින් කිරීම, බැනර් ප්‍රදර්ශනය කිරීම ආදී විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග වර්ජනයට පෙර ගත යුතුය. ඒවාට ප්‍රතිචාරයක් නොමැති වුවහොත් අතිකාල වර්ජනය, සේවා මුරවල පැය කිහිපය බැගින් වර්ජනය කළ යුතු අතර සංකේත වර්ජනද පවත්වා පාලකයන්ට බලපෑම් කිරීම අවශ්‍ය වේ. ඒ සියලුම බලපෑම්වලට ප්‍රතිචාරයක් නොමැති වූ විට පමණක් අඛණ්ඩ වර්ජනවලට යා යුතු බව වෘත්තීය සමිති ආඥා පනතේ සඳහන්ය. එසේ වුවද අද හිටිහැටියේ මෙන් සිදුකරන ඇතැම් වර්ජන නිසා ආණ්ඩුවට මෙන්ම මහජනතාවටද සිදුවන හිරිහැර අපමණය.
කෙසේ වෙතත් රජයේ ප්‍රධානීන් හා පෞද්ගලික අංශයේ ස්වාමිවරුන් සේවකයන්ගේ ප්‍රශ්න පිළිබඳ අනුගමනය කරන දැඩි දරදඬු පිළිවෙත් නිසා වර්ජන උග්‍ර බවට පත්වේ. සේවකයන් සමග ගැටලු සාකච්ඡා කර විසඳා ගැනීමට කටයුතු නොකර ඇතැම් බලධරයන් ඔවුන් සාකච්ඡාවලට කැඳවන්නේ වර්ජන ආරම්භ කළාට පසුවය. ඇතැමුන් සේවක ඉල්ලීම් පිළිබඳ ලිපිවලට පිළිතුරු හෝ නොයවන අතර වෘත්තීය සමිතිවලට හමුවීමට අවස්ථාවක් හෝ ලබා දෙන්නේද නැත. සේවකයන් පවසන්නේ ඇතැම් ඇමැතිවරුන්ගේ හිතුවක්කාර වැඩපිළිවෙළ නිසා තමන්ට වර්ජන කිරීම හැර අන් විකල්පයක් නැති බවය. වර්ජනයක් ආරම්භ කිරීම නිසා රටේ නිෂ්පාදන ක්‍රියාවලියටද ආර්ථිකයටද ජනතාවටද සිදුවන හානිය ගැන සලකා බලා වර්ජන ගොඩින් විසඳා ගැනීම අවශ්‍ය වන නමුදු බලධරයන් ඉල්ලීම් ලබාදෙන්නේ දින ගණනාවක් වර්ජනය පැවතුණාට පසුවය. එයින් රටට සිදුවන මූල්‍යමය හානිය ද්විගුණ වේ.

මේ වනවිට දුම්රිය, තැපැල්, ජල සම්පාදන හා ජලාපවහන, ඛනිජතෙල් සංස්ථාව, විදුලිය, රේගුව, ගුවන්තොටුපොළ, ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්, රජයේ වෛද්‍ය නිලධාරීන් ආදී විවිධ අංශවලින් වර්ජන තර්ජන ඇතිවෙමින් පවතී. ඇතැම් වෘත්තීය සමිති මේ වනවිට වර්ජනවල නිරතව සිටින අතර සමහරැන් ඉදිරියේදී වර්ජන සඳහා දින නියම කර ඇත. මෙම තත්ත්වයට ඥානාන්විත විසඳුම් ඉදිරිපත් නොවුණහොත් වර්ජන රැල්ල දිගටම පැතිරීමට ඉඩ ඇත.
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පසුගිය 4දා ආරම්භ කළ සංකේත වැඩවර්ජනය නිසා මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු රටපුරා තැපැල් කාර්යාල 653ක සියලු සේවා අඩපණ වී තිබිණ. තැපැල් මලු 1500 පමණ දිනක් තුළ ගොඩගැසී තිබුණු බව එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් පැවසීය.

සියයට 12.1ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන දුම්රිය වෘත්තීය සමිති 40ක් පසුගිය 4දා පැය 48ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි. මේ නිසා දුම්රිය අංගන, ධාවනාගාර, කර්මාන්තශාලා ආදී සෑම අංශයකම වැඩ අඩපණ වූ අතර මෙය දුම්රිය ඉතිහාසයේ වැඩිම ශ්‍රේණි ගණනක් සම්බන්ධ වූ වර්ජනය බවද ප්‍රකාශ විය. බලධාරීන් වර්ජනය අඩපණ කිරීමට ගත් සියලු ක්‍රියාමාර්ග අසාර්ථක වූ අතර මරදාන දුම්රිය ධාවනාගාරයේ තිබූ එන්ජිත් තුනකට වර්ජකයක් හානිකර තිබූ බවද කියයි.

දිගුකාලීන අඩු වියදම් ජනන සැලසුම ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පසුගිය 8දා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ අතර මෙයට බලධාරීන් ඇහුම්කන් නොදුන් නිසා තම ක්‍රියාමාර්ගය දැඩි කළ බව එහි සභාපති සෞම්‍ය කුමාර පැවසීය. මේ පිළිබඳ යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් නුදුරු දිනක අඛණ්ඩ වර්ජනයකට යාමට සංගමය සාකච්ඡා කරමින් සිටී. මෙය සේවක ගැටලුවලින් බාහිරව ජනතාව වෙනුවෙන් මෙහෙයවන වර්ජනයක් බවද ප්‍රකාශිතය.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයන්ද ස්වකීය ඉල්ලීම් දිනාගැනීම සඳහා රටපුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක පවසයි.

එහි ප්‍රථම පියවර ලෙස පසුගිය 5දා බස්නාහිර පළාත් සියලුම ජල සම්පාදන සේවකයෝ රාජකාරිවලින් ඉවත් වී බත්තරමුල්ල, පැලවත්තේ ජලසම්පාදන අමාත්‍යංශය වෙතට රැස් වී විරෝධතාවක නියැලී සිටියහ.

මේ අයගේ ප්‍රධාන ඉල්ලීම වනුයේ සිය වැටුප සියයට 25කින් ඉහළ නැංවිය යුතු බවය. මේ වනවිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කර දින 10ක් ඉක්මවුවද අවම වශයෙන් සාකච්ඡාවක් හෝ ලබාදී නැතැයි සම කැඳවුම්කරු කියයි. ඉදිරියේදී සියලුම පොම්පාගාර සහ ජල පවිත්‍රාගාර සේවකයන්ද වැඩවර්ජනයට එක්කර ගන්නා අතර එහි ප්‍රතිඵලයක් ලෙස මුළු රටේම ජල සැපයුම අඩාල වනු ඇතැයි සේවකයෝ කියති. මණ්ඩලය මුළුමනින්ම පෞද්ගලිකකරණය කිරීමේ වැඩපිළිවෙළක් රජය දැනටමත් ආරම්භ කර ඇති අතර පී.පී.පී. (Public Private Partnership) ලෙස හැදින්වෙන එම වැඩපිළිවෙළ අනුව දැනටමත් අඹතලේ වැලිවිට දකුණු ඉවුර ජල පවිත්‍රාගාර ව්‍යාපෘතිය ආශ්‍රිතව එම කටයුතු සිදුවෙමින් පවතින බව සංවිධානය පෙන්වා දෙයි. මෙමගින් සේවකයන්ට හෝ ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන අතර ඉදිරියේදී ජල බිල්පත් විශාල ලෙස වැඩිවීමේ අනතුරක් ඇති බවද කියයි.

වැඩවර්ජනය නිසා පාරිභෝගිකයාට සිදුවිය හැකි හිරිහැරය ගැන සලකා බලා ආණ්ඩුව තම ගැටලුවලට විසඳුමක් දීමට වහ වහා කටයුතු කළයුතු බව ඔවුහු කියති.

රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට බලපාන ප්‍රධාන ගැටලු විසඳීම රජය තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ඉදිරි සති කිහිපය තුළදී වැඩවර්ජනයකට යාමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර ඇත.

වැටුප් කොමිසම සමග තම ගැටලු පිළිබඳ දෙවරක් සාකච්ඡා කළද, විසඳුමකට එළඹීමට නොහැකි වූ නිසා වර්ජන තීරණයකට යාමට තම සාමාජිකත්වය බලකර සිටින බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ප්‍රධාන ලේකම් එච්.ඒ.එල්. උදයසිරි කියයි.

මේ වනවිට රාජ්‍ය වැටුප් ප්‍රතිපත්තියට පටහැනිව නීති ක්ෂේත්‍රයට පමණක් වැඩිකර ඇති වැටුප් හා දීමනා නිසා රාජ්‍ය සේවයේ විශාල වැටුප් විෂමතාවක් ඇතිව ඇත. ඔවුන්ට පමණක් කර ඇති සියයට 300ක වැටුප් වැඩිවීම, ඔවුන්ට ගෙවන රුපියල් ලක්ෂයක වූ ප්‍රවාහන දීමනාව, රුපියල් 25,000 වන රියැදුරු දීමනාව රජයේ සමාන්තර සේවාවල සියලු විධායක නිලධාරීන්ට ගෙවන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. රජයේ නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම නතර කරන ලෙසද අප්‍රේල් 1දා රාජ්‍ය සේවකයන්ට පනවා ඇති විවිධ බදු ඉවත් කරන ලෙසද ඔවුහු රජයට බලකර සිටිති.

ඔහු පවසන්නේ වැටුප් කොමිසමේ නිර්දේශ අනුව සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සැකසෙන්නේ නැතිනම් අවුරුද්දකට රුපියල් කෝටි 60 බැගින් වැයකර වැටුප් කොමිසමක් පවත්වාගෙන යාම ප්‍රතිඵලයක් නොවන බවයි. පසුගිය අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර ඇති අතර අනාගතයේදී දැනට විශ්‍රාම වැටුප් ලබන රාජ්‍ය සේවකයන්ටග් එම වරප්‍රසාදයද අහෝසි කිරීමට යන බවට ඔහු අනතුරු හඟවයි.

රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ආර්.අයි.ආර්. ප්‍රසන්න පවසන්නේ රටේ වැඩවර්ජන ආර්ථික හා සමාජමය යන දෙඅංශයෙන්ම අහිතකර බවය. දැන් උද්ගතව ඇති වර්ජන රැල්ල නැවැත්වීමට බැරි තත්ත්වයට වර්ජනය වී තිබේ. සාමාන්‍යයෙන් විසඳා ගැනීමට පහසු සුළු සිද්ධි අරභයාද කිසිදා සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව වර්ජනය කිරීමට පෙළඹී තිබේ. මෙය පුරුද්දකට ගැනීම විශාල හානියකට අත වැනීමක් වෙයි.

මෑතකාලයේදී ඛනිජතෙල්, ජල, විදුලිය, ගුවන් තොටුපොළ, රේගුව, දුම්රිය ආදී රටේ ආර්ථික මර්මස්ථානවලට වර්ජන එල්ලවීම නිසා සිදුවූ හානිය කිහිප ගුණයකින් වැඩිවූ බව ඔහු පෙන්වා දෙයි.

රටේ මගී ප්‍රවාහන කටයුතුවල පැය 1-2 පමණ ප්‍රමාදයක් සිදුවීම නිසා වුවද ශ්‍රම පැය ගණන අඩුවීම, ඵලදායිතාව පහළ බැසීම, සේවක කාර්යක්ෂමතාව අඩුවීමටද හේතුවෙනවා.”

ඔහු පවසන්නේ ප්‍රධාන ක්ෂේත්‍රවල නිතර නිතර වර්ජන පැවතීම රටේ ආයෝජනයටද අහිතකර ලෙස බලපාන බවය. 
“බොහෝ ආයතනවලට වර්ජන නිසා සිදුවන හානි ඍජු ලෙස ගණනය කරනවා. එහෙත් වක්‍ර ලෙස මෙම පාඩුව 10-15 ගුණයකින් ඉහළ යා හැකියි. එහෙත් ඒවා ගණනය කිරීමක් නැහැ. සේවකයන්ට තමා වැටුප් ලබන ආයතන පිළිබඳ අවබෝධයක් තිබිය යුතු වෙනවා. ඒ නිසා දැනට ඇතිවෙමින් යන වර්ජන රැල්ල පාලනය කළ යුතුයි. සේවකයන්ගේ ජීවන වියදම ගැන ප්‍රශ්න තිබේ නම් ආණ්ඩුව එය කළමනාකරණය කළ යුතු වෙනවා.”යැයි ද ඔහු සඳහන් කරයි.

♦ යසවර්ධන රුද්රිගු