2018 ජුනි 02 වන සෙනසුරාදා

රෑට රෑට කකුල් රිදෙන ලෙඩේ

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 7725

විවේකීව සිටින අවස්ථාවේදී, විශේෂයෙන් රාත්‍රී නින්දට යාමේදී දෙපාවල ඇතිවන නොරිස්සුම් සහගත වේදනාව, දාහය හා එක් ඉරියව්වක දෙපා තබාගැනීමට නොහැකි ආකාරයක් දැනීමේ අපහසුතාවයක් පිළිබඳව ඇතැම් දෙනා මැසිවිලි නගති. නින්දට යාමේදී මෙම අපහසුතාවය වැඩිපුර ඇතිවන නිසා නිතරම නින්දට බාධාවීමෙන් උදෑසන අවදිවීමේදී වෙහෙසකර ස්වභාවයක් ඇතිවේ. මෙහි විශේෂත්වය වන්නේ දවසේ වැඩ කරන කාලය තුළ මෙවැනි ලක්ෂණ ඇති නොවීමය.මේ පිළිබඳව යම් අවබෝධයක් ලබාගැනීම තුළින් ඇතිවන අපහසුතාවය මඟහරවාගැනීම හා අනෙකුත් වැඩ කටයුතුවලට බාධාවීම බොහෝදුරට වළක්වාගත හැකිය.

Restless leg syndrome ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව හඳුන්වන මෙය ස්නායු සම්බන්ධ රෝග අවස්ථාවකි. විවේකීව සිටින විට පාදවලට දැනෙන අපහසුතාවය නිසා පාද චලනය කිරීමට හා ඉරියව් වෙනස් කිරීමට පෙළඹීම මෙහිදී දැකිය හැක. එසේ කිරීමේදී එම අපහසුතාවය තාවකාලිකව අඩු වී යයි. මෙය එක් පාදයක හෝ දෙපසම ඇතිවිය හැක.

මෙසේ පාදවල ඇතිවන අපහසුතාවය විටෙක නොරිස්සුම් සහගත සංවේදනයක් විය හැකි අතර එය තදබල වේදනාවක් ලෙස දැනීමටද පුළුවන. ඇතැම් විට සිහින් තුඩකින් අනින්නාක් බඳු වේදනාවක්ද තවත් විටෙක කුහුඹුවන් ගමන් කරනවාක් මෙන් සංවේදනාවක්ද ඇතිවන බව රෝගීන් පැමිණිලි කරන අවස්ථා ඇත. මස්පිඬු පෙරළීමේදී මෙන් වේදනාවක්ද ඇතිවිය හැක.

බහුලවම කෙණ්ඩා, යටිපතුල් හා කලවා ආශ්‍රිතව ඇතිවන අතර කලාතුරකින් අත්වල මාංශපේෂී ආශ්‍රිතවද මෙම තත්ත්වය ඇතිවිය හැකිය. මෙම තත්ත්වයට මුහුණදෙන්නෝ නිරන්තරයෙන් නින්දට බාධාවන හෙයින් ගැටලු රාශියකට මුහුණදෙති. එදිනෙදා කටයුතු කාර්යක්ෂමව කරගැනීමට බාධාවීම, වෙහෙසකාරී හැඟීම, ශාරීරික හා මානසික පීඩාකාරී බව ඇතිවීමද සිදුවේ.

ඕනෑම වයස් කාණ්ඩයක අයකු මෙම තත්ත්වයට පත් විය හැකිය. විශේෂයෙන් වයස්ගත පුද්ගලයන් අතර මෙය බහුලවන අතර එයින්ද වැඩි ප්‍රතිශතය කාන්තා පාර්ශ්වයට අයත්ය. ආයුර්වේදීය රෝග වර්ගීකරණය යටතේ මෙය වාත රෝග ගණයේලා සඳහන් කළ හැකි රෝග අවස්ථාවකි.

මෙම තත්ත්වය ඇතිවීමට හේතුව හා ඇතිවන ආකාරය නිශ්චිතවම සඳහන් කළ නොහැක. නමුත් වයස අවුරුදු හතළිහට අඩු පුද්ගලයන්ට මෙම රෝග තත්ත්වය ඇතිවීමට ජානවල සම්බන්ධතාවයක් හේතුවන බව අනාවරණය වී තිබේ. ස්නායු සම්ප්‍රේෂණයේදී වැදගත් වන Dopamine නම් රසායනිකයේ අඩුවීමත් හේතුවෙන් මාංශපේෂීවල චලන හා ක්‍රියාකාරී තත්ත්වයේ වෙනස්කම් ඇතිවිය හැකි බව සොයාගෙන ඇත. එබැවින් දවස අවසානයේදී විවේකීව සිටින විට මෙම රෝග ලක්ෂණ ඇතිවීම සමඟ සම්බන්ධතාවයක් පවතී.

කාලීන රෝග තත්ත්වයන් ඇතිවිට, එනම් කාලීන වකුගඩු රෝගය, සන්ධිගත රෝග (Rheumatoid arthritis) කම්පවාත (Parkinson’s disease) දියවැඩියාව වැනි රෝග නිසි ප්‍රතිකාරයකට යොමුනොවී දීර්ඝකාලීනව පවතින මෙවැනි රෝග ලක්ෂණ ඇතිවීමේ හැකියාවක් ඇත.

ශරීරයේ යකඩ පෝෂක අවශ්‍ය ප්‍රමාණයකට වඩා අඩුවූ විට Dopamine නිෂ්පාදනය අඩුවේ. එබැවින් ඉහත දැක්වූ ආකාරයට රෝග තත්ත්ව හා සම්බන්ධතාවයක් ඇතිවීමේ හැකියාවක් පවතී.

ගර්භණී මව්වරුන්ටද, ගර්භණී කාලය අවසානයේ මෙවැනි රෝග ලක්ෂණ ඇතිවන අතර ප්‍රසූතියෙන් සති 2 – 3කට පසුව එම තත්ත්ව මඟහැරී යයි. මීට අමතරව දීර්ඝකාලීනව දුම්පානය කිරීම, මත්පැන් භාවිතය, අතිස්ථූලතාවය, මානසික ආතතිය, ප්‍රමාණවත් පරිදි ව්‍යායාම්වල නොයෙදීම හා මානසික රෝග සඳහා භාවිත කරන ඖෂධ, අධික රැධිර පීඩනය සඳහා භාවිත කරන ඖෂධ දීර්ඝකාලීනව ගැනීම ආදී හේතු නිසාද මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැක.

නිවැරදි රෝග පරීක්ෂාවෙන්, විශේෂයෙන් රෝගී ඉතිහාසය පිළිබඳ තොරතුරු මගින් රෝග විනිශ්චය කළ හැකි අතර මීට අමතරව රැධිර පරීක්ෂණ, ස්නායු ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම (Nerve conduction test) හා පාදවල ස්කෑන් පරීක්ෂණ (Doppler) මගින් මෙම රෝගය හඳුනාගැනීමට වෛද්‍යවරයාට හැකියාව ලැබේ.

මෙය මාරාන්තික රෝග තත්ත්වයක් නොවූවද දීර්ඝකාලීනව මෙවැනි තත්ත්වයන්ගෙන් පෙළීමෙන්, එදිනෙදා ජීවිතයේ බොහෝ දුෂ්කරතා ඇති කරයි. එදිනෙදා කටයුතුවලට බාධා ඇති කරයි. 

එබැවින් සුදුසු වෛද්‍යවරයකු හමුවී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීම වැදගත් වේ. එමෙන්ම පවතින වෙනත් රෝග තත්ත්වයන්ට නිසි පිළියම් යෙදීම, පෝෂණ ඌණතා සඳහා නිසි පිළියම් යෙදීම සිදුකළ යුතු අතර ප්‍රමාණවත් ලෙස ව්‍යායාම්වල යෙදීම, මානසික විවේකී බව පවත්වාගැනීම වැදගත් වේ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම මේ සඳහා භාවිත කරයි. විශේෂිත වූ ඖෂධීය තෛල ආලේපනය, තැවීම් මෙන්ම ඖෂධීය ජලයේ පාද ගිල්වා තබාගැනීම හා පංචකර්ම ප්‍රතිකාර මගින්ද සාර්ථක විසඳුම් ලබාගත හැක. මීට අමතරව චීන කටු ප්‍රතිකාර ක්‍රමයද භාවිත කෙරේ.

කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය
සෙත්සුව ආයුර්වේද රෝහල