
ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාගේ 99 වන උපන්දිනයට පිදෙන තිළිණයක් යයි සඳහන් කරමින් CEL මණ්ඩලයේ සිනමාහල්වල වෛෂ්ණාවී චිත්‍රපටය තිරගත කිරීම ඇරඹුණි. ඒ අතර මහා සිනමාවේදී ලෙස්ටර් ජීවිතයෙන් සමුගත්තේය. මුලින් මන්දගාමී ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණ ද පසුව වෛෂ්ණාවී ප්‍රේක්ෂකයන් උනන්දුවෙන් නරඹන බව පෙනුණි.
වර්ෂ 1978 ගැහැනු ළමයි චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට පිවිසි සුමිත්‍රා පීරිස්ගේ දස වැනි සිනමා නිර්මාණය වෛෂ්ණාවී වේ. ලෙස්ටර්ගේ කතා සංකල්පය මත මෙහි තිරරචනය ගොඩනගා ඇත්තේ ටෝනි රණසිංහය. කැමරා අධ්‍යක්ෂණය ඩොනල්ඩ් කරුණාරත්නගෙනි. සංගීතය නිර්මාණය කර ඇත්තේ නිමල් මෙන්ඩිස්ය. ඒ අනුව සිංහල සිනමාවේ පතාක යෝධයන් පිරිසක් මෙම නිර්මාණයට දායකත්වය දක්වා තිබේ. මේ නිසා සිනමා ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වූයේ ද දැවැන්ත සිනමා කෘතියකි. එහෙත් ඒ ප්‍රේක්ෂක බලාපොරොත්තු සඵල වූවාද යන්න අපට ගැටලුවකි.
1930 – 40 දශකවල දකුණු මුහුදුබඩ ගම්මානයක සම්ප්‍රදායික රූකඩ කලා පවුලක් කේන්ද්‍ර කරගනිමින් චිත්‍රපටය දිවයයි. එහි මුල් භාගය ඉතා සුන්දරය. ගම්මානය, සරල ජීවිතය, රමණීය කැමරා කෝණවලින් අප හමුවේ ගෙනහැරපායි. සෙමින් ගලායන රිද්මය මනසට සිසිලක් ගෙනෙයි.
රූකඩ ශිල්පියෙකු වන මාමා (ජයලත් මනෝරත්න) විසින් හදාවඩා ගන්නා ඥාති පුත්‍ර ඔසඳ (තුමිඳු දොඩන්තැන්න) රෑකඩ කලාව ජීවිතය කරගත් තරුණයෙකි. ඔහු රෑකඩ සමඟ කතාබහ කරමින් ආත්මීයව බද්ධව සිටින්නෙකි. ඔහුගේ මාමාගේ දියණිය රුචිරා (සමාධි අරැණචායා) ඔසඳට ලෙන්ගතුකමින් ළංවීමට උත්සාහ කළද ඔහු ඒ පිළිබඳව උදාසීනය. ධනවත් ව්‍යාපාරියකුගේ රූමත් දියණියක් ඔසඳට විවාහ කරදීමට මාමා යෝජනා කරන අතර ඔසඳ ඇයට කැමැති වෙයි. බටහිර පන්නයට හැදුණු ඒ යෝජිත මනාලිය විවාහයට දින කිහිපයක් තබා ව්‍යාපාරයේ තරුණ කළමනාකරැ සමඟ පලා යන්නීය. ඔසඳ ඒ නිසා මානසිකව වැටේ. ඔහු ඇයගේ රුව සහිත නිරුවත් කාන්තා මූර්තියක් දැවයෙන් කැටයම් කරයි. ඔහුට සියදිවි නසාගැනීමට අවශ්‍ය වුවද මාමා පැමිණ එය වළක්වයි. මේ සෑම අවස්ථාවකදීම ඔසඳගේ ජීවිතයට ශක්තියක් වන්නේ රුචිරාය. සෙනෙහස වන්නේ ද ඇයමය.
මේ දක්වා විචිත්‍ර රූප රචනයකින් හා සෞන්දර්යාත්මක ගලායාමකින් දිව යන වෛෂ්ණාවී වෙනස් මුහුණුවරක් ගන්නේ ඉන්පසුවය. යථාර්ථවාදී ගලායාමකින් යුත් චිත්‍රපටයට වෛෂ්ණාවී (යශෝධා විමලධර්ම) පැමිණෙන්නීය. ඒ අර නිරුවත් කාන්තා මූර්තියට පණ එමිනි. ඇය පැමිණ පවසන්නේ තමන් මනුලොවට පැමිණි රැක් දෙවඟනක් බවත් ඔසඳට ප්‍රේම කරන බවත්ය.
යථාර්ථයෙන් අද්භූත තත්ත්වයට චිත්‍රපටය පත්වීම නිසා ඊට පසු එය වෙනස් මානයක ගමන් කිරීමට පටන් ගනී. එහෙත් ඒ අතරම යථාර්ථවාදී කතාව ද පලායන නිසා මේ දෙවඟන ද යථාර්ථයක් ලෙස පිළිගැනීමට ප්‍රේක්ෂකයාට සිදුවේ. එය තිරරචනයෙන් මතුවන දුර්වලතාවකි. දේවතාවිය පොළොවට බැසීමට හේතුවන්නේ නග්න කාන්තා රුව නිර්මාණයට දෙවියන්ට වෙන්වූ රුක්අත්තන ගසක් කපාහෙලීම බව පැවසේ.
පණ එන රූකඩය ලක්ෂ්මීය. ඊට පසු චිත්‍රපටය රුචිරා, ඔසඳ හා ලක්ෂ්මී අතර සැරිසරණ අද්භූත කතාවක් බවට පත්වේ. රුචිරා නිවසේ තනිව සිටින විට සුළං ප්‍රවාහයක් මවා ඇය බිය කරන්නේ ද නිවසේ ගිරවා සහ බල්ලා මරා දමන්නේ ද රුක් දෙවඟනගේ බලයෙනි. එහෙත් ප්‍රේමය මුල්කර ගෙන පැමිණෙන රුක්දෙවඟනක නපුරු මායාකාරියක් බවට පත්වන්නේ කෙසේද යන්න ගැටලුවකි.
තමා පෙම්බැඳි යෝජිත තරුණිය පලායාම නිසා තරුයකුගේ සිතෙහි හටගන්නා මනෝභාවයන් පැවසීමට සුමිත්‍රා උත්සාහ ගත්තද එය ප්‍රේක්ෂකයා තුළ කම්පනයක් ඇති නොකරන ගැඹුරැ අන්තයකට නොයන සිනමා කෘතියක් බවට පත්වේ. කාන්තා රෑකඩය වන ලක්ෂ්මී තරුණයාට පවසන්නේ ප්‍රේමය දිව්‍යමය සහ අධ්‍යාත්මික දෙයක් කියාය. ඇය ඔසඳගෙන් ප්‍රේමය ඉල්ලුවද ඔහු පවසන්නේ දෙවියන්ට සහ මනුෂ්‍යයන්ට එක්ව සිටිය නොහැකි බවයි. තම ඥාති නැගණියගෙන් ලැබෙන ලෙන්ගතු ප්‍රේමයට ද ඔහු සංවේදී නොවේ.
රූකඩ කලා නිවසේ හටගන්නා සිද්ධි භුත දෝෂයක් ලෙස සලකන වැඩිහිටියෝ ගසක් පාමුල තොවිලයක් නටා දේවතාවියට ඒ විමානයට යන ලෙස පවසයි. දේවතාවිය එම වෘක්ෂයට පිවිසීමෙන් චිත්‍රපටය නිමා වෙයි.
අවසානයේ ප්‍රේක්ෂකයන්ට සිතෙන්නේ තමා වෛෂ්ණාවී නැරඹීමෙන් ලබාගත්තේ කුමක්ද යන්නයි. යථාර්ථය තුළට අද්භූත බව එක්කිරීමට ගොස් සුමිත්‍රා පීරිස් අසාර්ථක වී ඇත. වෘක්ෂ දේවතාවිය චිත්‍රපටයට ගෙනඒමට සුමිත්‍රාට වෙනස් ආඛ්‍යාන රටාවක් යොදාගැනීමට තිබුණි. එසේ නොමැතිනම් ඔසඳගේ මානසික අවුල වෙනත් මානයක් ඔස්සේ නිරූපනය කිරීමට ඉඩතිබුණි. අපට නම් සිතෙන්නේ වෘක්ෂ දේවතාවියට හෝ විවාහයෙන් පලාගිය තරුණියටත් වඩා දේවතාවියක් ඔසඳගේ නිවසේම සිටින බවයි. ඒ රුචිරාය. නමුත් ඇගේ ප්‍රේමය ඉස්මතු කිරීමක් සිදුව නැත. තිර පිටපතේම ලක්ෂ්මීට පණ පොවා මේ ලෝකයට රැගෙනවිත් අපරාධයක් කරයි. ඇයට යනඑනමං නැති වෙයි. වෛෂ්ණාවී යනු විෂ්ණු දෙවියන් අදහස නැතැත්තිය නැතහොත් විෂ්ණු බැතිමතිය යන අරුත් ගන්වයි. නමුත් මෙහි විෂ්ණු සම්බන්ධයක් අපට නම් නොපෙනේ.
සිනමාවට ආධුනික වුවද රුචිරාගේ චරිතය රඟපාන සමාධි අරුණචායා අවසානය වන තෙක්ම ප්‍රේක්ෂක සිත් පැහැරගනී. ඇගේ රංගනය සෑම අවස්ථාවකදීම කදිමට ඉස්මතු වේ. දුක සතුට ආදී සියුම් භාව ප්‍රකාශනයෙහි ලා ඇය සමත්කම් දක්වන්නීය. තුමිඳු දොඩන්තැන්න (ඔසඳ) රූකඩ කලාවට බැඳුණු යහපත් තරැණයකි. ඔහුගේ සියුම් මනෝභාවයන් සංඛාරා චිත්‍රපටයේ තරම් මෙහි ඉස්මතු නොවේ. ඔහුගේ චරිතය මෙයට වඩා සංවේදී ලෙස ඉදිරිපත් කළහැකිව තිබුණි. යශෝධා විමලධර්ම තමන්ට ලැබුණු කෙටි නිරූපණය තුළ ද රංග ප්‍රතිභාව පෙන්වීමට උත්සුක වුවත් දෘෂ්ටි ප්‍රයෝග හමුවේ ඇයගේ රංගනය ඉස්මතු නොවේ. ජයලත් මනෝරත්නා, මහේන්ද්‍ර පෙරේරා, අයිරාංගනී සේරසිංහ ආදී රංගන ශිල්පීන්ද තම ප්‍රවීණත්වය සලකුණු කරති. අනෙකුත් සුළු චරිත පවා හොඳින් හැසිරවීමට අධ්‍යක්ෂවරිය සමත්වන්නීය. මේ සියලුම රූපරාමු මතකයේ සිටින ලෙස කැමරාවෙන් සටහන් කරගන්තේ ඩොනල්ඩ් කරැණාරත්නය. ඔහුගේ කැමරාව සමාධිගතව මේ සිද්ධි උකහා ගනී. නමුත් දේවතාවියගේ ආගමනයත් සමඟ ඒ කැමරා රිද්මයට ද හානි පැමිණේ.
නිමල් මෙන්ඩිස්ගේ සංගීතය ද චිත්‍රපටයේ අවස්ථා සියුම් ලෙස මතුකිරීමට ඉවහල් වේ. මෙහි එව ඩිජිටල් දෘෂ්‍ය ප්‍රයෝග ද ඉතා සාර්ථක අයුරින් නිර්මාණය කර තිබේ. නමුත් ප්‍රබල තේමාවකින් යුත් මතක හිටින සිනමාපටයක් නැරඹීමට යන ප්‍රේක්ෂකයන්ට නම් මෙහිදී සිදුව ඇත්තේ අසාධාරණයකි.
කුසුම්සිරි