
කවියේ අත්දැකීමට වඩා නිර්මාණයේ විශේෂත්වයම, ඉන් ප්‍රකාශනයවීම අනර්ඝ වේ. එහි උපයුක්ත අත්දැකීම සර්වකාලීන අගයකින් බැඳේ. කවියා යම්කිසි වැඩපිළිවෙළකට, යම් පවරාගැනීමකට සමාජ දේශපාලන ව්‍යාපාරයකට සූදානම්වූවකු නම්, එබඳු යුතුකමකින් බැඳීසිටින්නකු නම්, ඔහු කවියෙහිලා ගොඩනඟන්නේ ඔහු මුහුණදී ඇති ව්‍යාකූලත්වයයි.
මේ නන්දන වීරසිංහයන් කවිය පිළිබඳ වරෙක දැක්වූ අදහස්ය. මට එය මුලින්ම සටහන් කරන්නට සිත්වූයේ කොත්මලේ සිරිසේනගේ පුරඟනකගේ සයනය ගැන යමක් ලිවීමට යාමේදී එම අදහස් කොතෙක්දුරට ගලපාගත හැකිද යන්න පිළිබඳව සිතීම නිසාය.
කවියකින් හෝ යම් ගද්‍ය නිර්මාණයකින් යමෙකුගේ අත්දැකීම් නිරූපණය කරන බව බොහෝ දෙනාගේ පිළිගැනීම විය හැකිය. එහෙත් එලෙස අත්දැකීම් කීමේදී එය ඉදිරිපත් කරන අපූර්වත්වය නිසාම නිර්මාණයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳාපවතින බව කිවයුතුව තිබේ.
සිදුවීමක් දෙස දුරස්ව බලාසිට එය විනිශ්චය කළ පසු තම සිත තුළ ඇතිවූ කම්පනය මෙම නිර්මාණවලට පාදක කරගත් බව ඔහු කියයි. මෙම අදහස්වලින් සනාථ වන්නේ නන්දන වීරසිංහයන් පැවසූ පරිදි අත්දැකීමක් ලිවීමට වඩා නිර්මාණයේ විශේෂත්වය එමගින් ප්‍රකාශ කිරීමට කර්තෘ උත්සාහ දරා ඇති අයුරුය. ඔහුගේ උත්සාහය කොතෙක්දුරට සාර්ථකවීද යන්න පුරඟනකගේ සයනය තුළ ඔහු කැටිකළ හැටහයක් පමණ වන කාව්‍ය රචනාවලින් සනාථ කරගත හැකිය.
ඔහුගේ බොහෝ නිර්මාණ කෙටි කවි වන නමුත් එම පදපේළි කිහිපයෙන් විශාල පොතක් ලිවිය යුතු අදහස් ධ්වනිත කර ඇති බවක් දක්නට ඇත. ඔහුගේ කවි පන්තිවලින් මා වඩාත් සිත්ගත්තේ අමනයාගේ රමණය යන පැදිපෙළය. එය මෙසේය.
පෙරදා රූ
රහසේම
ඈ තුරුලට ගෙන
සළුපිළි
උනාදැමූ ඔහු
පසුව
මහදවල්
සැවොම ඉදිරියේ
ගලවා දැමීය
ඇගේ රෙදි
මෙයින් ධ්වනිත කර ඇත්තේ සමාජයේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන අයකුගේ ක්‍රියාකලාපයයි. දහවල ශුද්ධවන්තයන් සේ පෙනීසිටින වැඩිදෙනා රෑ එළිවනතුරැම රහසිගතව රඟපාන්නේ අශුද්ධවන්ත චරිතයක් බව මෙයින් හෙළිකර තිබේ. මෙහිදී මෙවැනි ඊනියා ශුද්ධවන්තයන්ට නතුවන කතුන්ගේ ඉරණම කුමක්වේද යන්න සිතාබැලීමට පාඨකයාට බාරකර ඇත.
නූතනයේ ආගම යන කෙටි පද්‍යයෙන් කොත්මලේ සිරිසේන ධ්වනිත කරන්නට උත්සාහ කරනුයේ වර්තමානයේ ආගම පාවිච්චි කරන අන්දමයි. ඇත්තටම ආගම උපයෝගී කරගෙන ඇත්තේ තම හොරකම්, මැරකම්, ජඩකම් වසාගැනීමට සුදුපිරුවටයක් ලෙස විනා සදාතනික විමුක්තියක් ළඟාකරගැනීමට නොවේ. මෙම තත්ත්වය බුද්ධාගමට පමණක් නොව ලොව සැම ආගමකටම පොදුවූවකි.
ඍජුව
නැඟීසිටීමට
අසමත්
තක්කඩින්ට
නැඟීසිටීමට
උපකාරී වන
අත්වාරුව
අපේ දේශපාලනඥයන්ගේ දෙබිඩි පිළිවෙත ඔහුගේ දේශපාලනය යන පැදිපෙළෙන් නිරෑපණය වෙයි. ඡන්දයට පෙර ජනතාවගේ සුවච ගෝලයකු වන දේශපාලනඥයා ඡන්දයෙන් පසු දෂ්ට කිරීමට තරම් අවස්ථාවාදියකු වන බව ඔහු මනාකොට පෙන්වා දෙයි.
විවෘත ආර්ථිකය යනු විවිධ වර්ගයේ ජලය එකම නළයක් තුළින් වෑස්සීම බව ඔහු විවෘත ආර්ථිකය යන පැදිපෙළෙන් කියාපායි. ඇත්තවශයෙන්ම එය විවෘත ආර්ථිකය පිළිබඳ පොත් ගණනාවකින් දක්වන අර්ථකථනවලට නොදෙවැනි වේ.
පුරඟනකගේ සයනය යන පැදියේ පද හය පුරඟන පිළිබඳ කරන ජීවිත විවරණයකි. පුරඟනන් බවට පත්වූ බොහෝ කතුන් එම තත්ත්වයට පැමිණෙන්නේ කැමැත්තකින් නොවේ. තමන්ගේ සහ තම දරැවන්ගේ කුසගින්දර නිවාදැමීමට විය හැකිය. කාමගින්නට කුසගින්න හිලව් කළ නොහැකි වුවද ඇය උත්සාහ කරන්නේ ඒ භාරධූර කාර්යය සාධාරණීකරණය කිරීමටයි.
මෙම ග්‍රන්ථයේ බොහෝ පැදිවැල්වල රසය තවත් තීව්‍ර කරනුයේ ඒ සමඟ එන බඹරුන්දේ ගාමිණී වීරසිංහ සහ දාස හපුවලාන යන චිත්‍ර ශිල්පීන්ගේ තෙලිතුඩෙහි හරඹය නිසාය. මෙහි එන පැදිවැල් කිහිපයක් හැරුණුවිට අන් සියල්ලෙන් ජීවිතය විවරණය කිරීමට සාර්ථක උත්සාහයක නිරතවී ඇති බව පෙනේ. එහෙත් ඔහු ප්‍රතිභාපූර්ණ කවියකු කිරීමට නම් මම උත්සාහ නොකරමි.
යසවර්ධන රුද්රිගු