
තැන්නේ ඤානානන්ද හිමියන්ගේ ගංගාවී කෘතියේ නිර්මාණ ශක්‍යතාව සාධුත්වය උදෙසා වන සමාජයම අරගලයේ කවියට හිමි වගකීම පිළිබඳ නිරන්තර ආවර්ජනයක යෙදෙන්නක් ලෙස වටහා ගත හැක්කකි. ගංගාවි හි ප්‍රදර්ශිත කාව්‍යමය නිර්මාණයන් අතර දේශපාලනික වූ ඇතැම් සමාජ කතිකාවන් කෙරෙහි උපහාසය මුසු වූ විනිවිදින අවලෝකනයක් මතුව පැනෙනුයේ ඒ නිසාවෙනි. මුන් මදුරුවො කවිය එබඳු කියවීමකට පාඨකයාට ආමන්ත්‍රණය කරන්නකි.
ලේ බොන්න මාන බලන්
කනට කරලා කවි කියවන
අපිව වර්ණනා කරනවා
දේශපාලනික වූ අර්ථ සාධනයෙහි ලා අත්‍යාවශ්‍යක ජන අනුමැතිය පොදු ජන විඤ්ඤාණයේ සියුම් ආස්ථාන ස්පර්ශය මඟින් ගොඩනගා ගැනීම වර්තමාන දේශපාලනිකයන්ගේ ස්වභාවයයි. ස්වකීය අවශ්‍යතා පොදු ජන අවශ්‍යතා වශයෙන් තහවුරු කොට ස්වාර්ථ සාධනය කිරීම එහි ක්‍රියාත්මක නිලීනාර්ථයි. ඒ උදෙසා වන නිර්සදාචාරමය ප්‍රයන්තයේ එක්තරා පැතිකඩක් මෙහිදී ග්‍රහණය කර ගන්නා මෙම කවියා මදුරැ ජීවන යථාර්ථයේ උත්ප්‍රේක්ෂාවෙන් නව සමාජ දේශපාලනික කියවීමකට හා විමර්ශනයකට පාඨක විඤ්ඤාණය මෙහෙය වනු ලබයි.
ඇතැම් සමාජ විවරණයක කවීත්වයට සාපේක්ෂව මතුවෙමින් නැගී එනුයේ කවියාගේ විවෘත හා නිදහස් චින්තන වපසරියයි. ස්වසමාජමය ආස්ථානය ස්වයං චිත්තන මර්දන කාරකයක් කර ගැනීමේ සම්ප්‍රදායය පසෙකලා යථාර්ථය දැකීමට හා නොබියව ප්‍රකාශ කිරීමට කවියා තුළ වනුයේ අපූර්ව සැහැල්ලුවකි. පිරුවානා පොත් වහන්ස එවැන්නකි.
ධනපතියන්ගෙ
පාලකයන්ගෙ
හූරා කන්නන්ගෙ
මන්දිරවලට
සෙත්පතන්න වඩින ගමන්
උන්ගෙන් වුණු
තුන් බිය දුරලන්න
අපේ පැල් කොටේටත්
වඩිනවද මෙත් සිතින්
භික්ෂුවක වීම ශාසනික අසාධාරණයන් දෙස වැසුණු දෙනෙතින් සිටීම උදෙසා හේතුවක් නොවන බව අඟවන මෙම කවිය සමාජ සාධාරණය උදෙසා සමස්ත ආගමික සංස්ථා විෂයෙහි සිදුකරනු ලබන මානුෂීය ආරාධනයක් ද කැටිකොට ගත්තකි. විටෙක මෙම කවියා, සමාජ අසාධාරණයෙහි ගිලුණද ඒ සියල්ලක් විඳ දරාගැනීම ඓතිහාසිකව පැවරුණු වගකීමක් ලෙස උසුලන බිරිඳගේ යථාර්ථය තේමාව කොටගනුයේ ස්වාභාවික කරණයට ලක්ව ඇති තත් ආදරණීය අසාධාරණයේ පීඩනය ප්‍රකට වන පරිදිය.
වතුර කුණු පිහදාන
වයිපරේ
අහෝ!
බිරිඳටත් කියයි දැන්
වයිපරේ
කාව්‍යත්වය කෙරෙහි පුද්ගලානුබද්ධ අනුභූතීන්ගේ සමාශ්‍රය ලැබීම නිරායාසයෙන් සක්‍රීය සිද්ධාන්තයක් බව භික්ෂූත්වයේ අනන්‍යතාවෙන් විතැන් නොවූ තැන්නේ හිමියන්ගේ කවියෙන් හඳුනා ගතහැකිය. ඇතැම් කවියක අර්ථය ලෞකිකත්වය සමඟ වන භික්ෂුවගේ සදාතනික අරගලය මනාව හසු කර ගන්නකි. කහ පාට කුඩේ යට එවැන්නකි.
මද්දහනෙ අව්ව
චණ්ඩයි ග්‍රීස්මයි
පොඩි හාමුදුරැවන්ගෙ
කුඩෙත්
අව්වට මදි වගෙයි
තැන්නේ හිමියන්ගේ කවිය සමාජය පිළිබඳ මතුකරන දේශපාලනික දාර්ශනික බොහෝ විට ඍජු ප්‍රකාශන ශෛලියක් ගන්නක් බව පෙනේ. එය ලාංකේය දේශපාලනයේ පවත්නා නිර්ප්‍රජාතාන්ත්‍රික කර්කෂභාවයම ආකෘතික රූපකයකින් ප්‍රකට කිරීමේ සවිඤ්ඤාණික ප්‍රයත්නක් ද විය හැකිය. එහෙත් එබඳු බොහෝ තන්හි කවියට හිමි සෞන්දර්යයේ මානය සාපේක්ෂ වූ දූරස්ථිකරණයකට ලක්වන බව පෙනේ. සංවර්ධනේ එවැන්නකි.
සෙල්ලම් පිටිය
පාර විය
පාර
සෙල්ලම් පිටිය විය
මෙහිදී සමාජ යථාර්ථයේ අමනාපය මුසු කාව්‍ය අත්දැකීම රසිකයා වෙත පැමිණෙනුයේ සෞන්දර්යයට බොහෝ පූර්වයෙනි. එම පූර්වාගමනයෙන් ඊට හිමි වන ආධිපත්‍යය සෞන්දර්යාත්මක වින්දනයට ඉඩක් නොසාදන තරම්ය. ඇතැම් සමාජ කියවීමක් කෙරෙහි කවියා උපයෝගී කරගනුයේ බුදුදහමේ හේතුඵලවාදී දර්ශනයයි. යථාර්ථ ස්පර්ශයෙහි ලා කෙබඳු ආස්ථානයකට හිමිකම් කීවද සෞන්දර්යයේ පලා යාම උදෙසා ඒවායේ වන ආවැඩීම නොමනා වූවකි. අයුක්තියේ නීතිය එබන්දකි.
ප්‍රශ්නෙ වටලලා
කුමට ද
හේතුව වටලලා
ගන්නැතුව
අත්අඩංගුවට
තැන්නේ ඤණානන්ද හිමියන්ගේ කවිය තුළ සෞන්දර්යය කෙරෙහි වන ආමන්ත්‍රණයේ චමත්කාර ආස්ථාන බොහෝ විට හමුවනුයේ ආදරය පිළිබඳ රචිත නිර්මාණයන්හිදීය. ඍජු ප්‍රකාශකත්වය මෙන්ම තියුණු වාක් කෝෂයද කෙමෙන් අත්හරින කවියා ආනන්දනීය මනෝභාව නිරූපණයෙහි සමත් ළගන්නා බසකට ආදරණීය හැඟුම් පෙරළනු ලබයි.
කොහේ ගිහින්ද
හැංගිලා ඉඟි දුන්න ඈත
හොරගල් අහුලපු දෑස
නුඹ නැති දා ගම්මානේහි එන මෙම පදවැල අලුතින් ලියලන ප්‍රේමය පිළිබඳ සාධාරණ වූ මානව අත්දැකීමක් පිළිබඳ මතකයකට අපව ගෙන යන්නකි.
කවිකාර හිමි නමක් පිළිබඳ අත්දැකීම සිංහල නව කවියට වඩාත් සමීප නොවූවකි. විවෘත හා මිදුණු භික්ෂුවක පිළිබඳ වනුයේ ඊටත් වඩා දුරස්ථ අත්දැකීමකි. තැන්ගේ ඤාණානන්ද හිමියන් තදර්ථයෙන් අප කවියට නව්‍යත්වයක් ගෙනෙන්නෙකු බව මෙම කෘතියෙන් පෙනේ.
රත්නපුරේ සාසනධජ හිමි
සහය කථිකාචාර්ය
සිංහල අධ්‍යයන අංශය
පේරාදෙණි විශ්වවිද්‍යාලය