2018 මැයි 12 වන සෙනසුරාදා

හැම පිම්මක්ම පැනගත් තනි කලිසම් මහත්තයා...

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

ගැටවර හිත රිදවූ අසීමාන්තික වේදනාව යාපහුව කන්දත් නොසෙල්වී බලාසිටින්නට ඇත. ඇය කාට කවුරු වුණත් ඔහුට ඇය ඔහුගේ අම්මාය. රක්ත වර්ණ රුහිරු දහරා ශ්වේත වර්ණ කිරිදහරා බවට හැරවූ අනුහසේ රස බිඳෙන් බිඳ ආදරෙන් කියාදුන් අම්මා දුරු රටකට ගියේ සැප සම්පත් විඳිනු පිණිස නොවන වග චන්දන එදා දැන උන්නේය. ඇගේ දෑසේ නිදන්ව තිබුණේ තමා අකුරු නොදත්තත්, අකුරු උගනින්නට ඉස්කෝලයකට නොගියත් තම දරුපැටවුන්ට අකුරු උගන්වන සිහිනයයි. එහෙත් දෛවයේ නපුරුකම් වරෙක ඉවසියම නොහැකි තරම්ය. නොදන්නා රටක නොදන්නා මිනිසුන් අතර ජීවිතය මුදුනතක ඔසවා තබන්නට දරදිය ඇදි ඒ අම්මා අවසන් හුස්ම හෙළුවේද ඉරණමේ නපුරුකම් ඒ දුරු රටකදීම තනිවම විඳගනිමිනි. කාසි නෝට්ටු නැති දුප්පත්කම සහ තවත් ප්‍රශ්නයකුත් එදා ඒ අම්මාගේ දේහය දෑසින් දකින ඉඩහසරද චන්දනගෙන් උදුරාගත්තේය.

ජීවිතය දිනාගත් බොහෝ මිනිසුන්ගේ අතීත ජීවන කාලපරිච්ඡේද පිරික්සද්දී දුක හමුවෙන තැන් බොහොමයකි. ඒ දුක විඳවීමක් නොව අභියෝගයක් ලෙස බාරගෙන ජීවිතයේ පරාජිතයන් නොවී ජීවිතය දිනාගත් චරිත මුණගැසුණුවිට වරින්වර ඒ චරිත අපි ඔබ හමුවට කැන්දාගෙන ආවෙමු. චන්දන රාජපක්ෂ... දුප්පත්කම, නැතිබැරිකම සමඟ කොතෙක් පොරබැදුවත් ජීවිතය අත්නොහැර ජීවිතය උදෙසා අරමුණු සොයාගිය චන්දන අද නීතිඥවරයෙකි. ගුරුවරයෙකි. ව්‍යාපාරයක හිමිකරුවෙකි.

යාපහුව මගේ ගම වුණත් අපි පුංචි කාලයේදී අම්මා රටගිය නිසා අපි තඹුත්තේගම පදිංචියට ගියා. මුලින් අපිට හොඳට සල්ලි තිබුණත් පසුව ඒ සියලු දේවල් නැතිවී ගියා. පුංචි කාලයේ දරුවෙක් හැටියට ගෙවුණු ජීවිතය හුඟාක්ම දුෂ්කරයි. අපේ ගමත් හරිම දුෂ්කරයි. මුළු ගමටම තිබුණේ එක බස් එකයි. මගේ තාත්තගේ තාත්තා ගුරුවරයෙක්. සීයා එයාගේ දරුවන්ව ඉගෙන ගන්න කොළඹ ලොකු ඉස්කෝලවලට එව්වා. ඒත් සීයා මුදල් පරිපාලනය ගැන තමන්ගෙ දරුවන්ට ඉගැන්නුවෙ නෑ. සීයාගේ දරුවෝ එයාගේ දේපළ, සල්ලි සියල්ල නාස්තිකාර විදිහට විනාශ කළා. තාත්තගේ නාස්තිකාරකම් නිසා අපිට ආර්ථික වශයෙන් බිංදුවටම වැටෙන්න සිද්ධවුණා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ මම පුංචි රැකියාවකට ආවෙත් ඒ ප්‍රශ්න නිසාමයි. මම යාපහුවෙ ඉඳන් හැමදාම කුරැණෑගලට ආවා විසිතුරු භාණ්ඩ හදන තැනක රස්සාවකට. එතැන මට කරන්න තිබුණේ කම්කරු රස්සාවක්. හැමදාම උදේ පාන්දර මම ගෙදරින් ආවේ මේ රස්සාවට. සාමාන්‍ය පෙළින් පස්සේ මගේ වියදම් මමමයි හොයාගත්තේ. මට තව අයියෙක් හිටියා. මගේ අම්මා අපිට උගන්වන්න ගෘහසේවයට විදෙස්ගත වුණේ. අම්මා රටගියේ වෙන නමකින්. අම්මා එහෙදී මැරුණාම අපට අම්මගේ මිනියවත් ගේන්න බැරිවුණේ ඒ ප්‍රශ්නය සහ ආර්ථික ප්‍රශ්න නිසා. මේ සිද්ධිය වුණේ මම උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට තේරිලා හිටපු කාලයේදී. ඒත් දුප්පත්කම ජීවිතයට මොන විදිහට වද දුන්නත් මම අධ්‍යාපනයට තිබුණු කැමැත්ත ආසාව උනන්දුව නිසාම කොහොමහරි ඉගෙන ගත්තා. රජරට විශ්වවිද්‍යාලයට ආවා. ඒ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධියක් වෙනුවෙන්. විශ්වවිද්‍යාලයේදී මම ශිෂ්‍ය සංගම්වලට සම්බන්ධ වුණා. නායකත්වය ගත්තා.

මගේ අම්මට ලියන්න කියන්න බෑ. ඉගෙනගෙන නෑ. මට ගෙදරදී කවදාවත් ඉංග්‍රීසි ඉගෙන ගන්න පසුබිමක් තිබුණෙ නෑ. විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ ඉගෙන ගත්තේ මහපොළ ශිෂ්‍යාධාරයෙන් සහ මමම පොඩි පොඩි ටියුෂන් කරලා හම්බකරගත්ත සල්ලිවලින්. තාත්තා මේ වෙද්දී හුඟාක් බීමට ඇබ්බැහිවෙලා හිටියා. සමහර දවස්වලදී තාත්තා හොඳටම බීලා විශ්වවිද්‍යාලයට ඇවිත් කෑගැහුවා. එයාගේ වැඩි සැලකිල්ලක් අපට තිබුණෙ නෑ. මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ගමන් ශිෂ්‍ය සංගම්වල වැඩ කරන ගමන් හවසට ගෙවල්වලට ගිහින් ළමයින්ට ටියුෂන් කළා. මගේ ආර්ථික ප්‍රශ්න මාත් එක්ක විශ්වවිද්‍යාලයේ එකට හිටපු මගේ ළඟම යාළුවෝ තේරුම් අරන් තිබුණේ. එදා මාත් එක්ක කාමරේ හිටපු අපි හත්දෙනාගේ යාළුකම අදටත් එහෙමමයි. ඒ කාලේ කන්නෙ බොන්නෙ අඳින්නෙ නැති තැනක මම හිටියත් මම හැමවිටම උත්සාහ කළේ ජීවිතයට අලුත් පාරක් හොයාගන්න.

මට මතකයි මට ඉස්කෝලෙ අඳින්න තිබුණේ එක කලිසමයි. වැස්ස දවසට තෙමුණාම මඩ ගෑවුණාම හවසට ඇවිත් ඒ කලිසම හෝදලා දානවා පහුවදාට ඉස්කෝලෙ අඳින්න.

නැතිබැරිකම් පරදා ජීවිතයේ ඔටුනු පළඳින්නට ඔහු ගත් උත්සාහයේ ප්‍රතිඵල අද ඔහු සාරසුබාවට විඳිමින් සිටියි. වටිනාකම් බොහොමයක් ඇත්තේ එතැනය. අරමුණු අධිෂ්ඨාන හා නිර්මාණශීලි චින්තනය ලෝකයට ජයග්‍රාහි ශක්තිවන්තයන් බිහිකරන වගට ඔහු එක් උදාහරණයක්යැයි මම සිතමි.

විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ මම විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිය හදාරන්න ගත්තා. ඒ ඉගෙන ගන්න සල්ලි හොයාගන්නේ හුඟාක් අමාරුවෙන්. යාළුවොත් උදවු කළා. රජරට විශ්වවිද්‍යාලයේ ඉඳන් කොළඹ විවෘත විශ්වවිද්‍යාලයට ඇවිත් නැවතුණේ යාළුවෙකුගේ බෝඩිමක. මොන තරම් ප්‍රශ්න පීඩාවන් තිබුණත් විවෘත විශ්වවිද්‍යාලයෙත් රජරට සරසවියෙත් විභාග සියල්ල මම එකවර සමත් වුණා. මම හැමවෙලේම උත්සාහ කළේ තව කෙනෙක් නොකරන අලුත් දෙයක් කරන්න. අද මගේ ජීවිතේ හුඟාක් ජයග්‍රහණ පිටුපස්සේ තියෙන්නේ ඒ සිතුවිල්ල කියලා මම විශ්වාස කරනවා.

විදේශ භාෂා උගන්වන ආයතනයක් ආරම්භ කරන්නට ඔහු මුල් පියවර තැබුවේද ඒ නවමු සිතුවිලි දහරාවේ එක් ඵලයක් හැටියටය.

මුල් කාලේ පාඩුපිට කරගෙන ගියත් ඉතා කෙටි කාලයකින් එය ස්ථාවර ආයතනයක් වුණා. භාෂා ඉගැන්වීම් වගේම භාෂා පරිවර්තන කටයුතුත් අපි කරනවා. උසාවි ඉස්සරහා තැන්වල බාරන්න හුඟාක් පරිවර්තන කටයුතු ඒ අය හරහා එන්නේ අපට. 

ගම්පහ සහ තවත් ප්‍රදේශ කිහිපයක්ම කේන්ද්‍ර කරගනිමින් අධ්‍යාපනයට සම්බන්ධ ආයතන කිහිපයක්ම ඔහු පවත්වාගෙන යයි. 2000 වසරේ ජූනි මාසයේ නීතිඥ උපාධිය ලබාගත් චන්දන රාජපක්ෂ අද මේ ව්‍යාපාර අතර තම නීතිඥ වෘත්තියේ කටයුතුද කරගෙන යයි. එසේම තම ආයතනයේ ඉගෙනීමට එන දුප්පත් දරුවන්ගේ ඉගෙනීම වෙනුවෙන් ඔහු ලබාදී ඇති සහනද බොහොමයකි. 

පොහොය දවසට හැර අනිත් හැම නිවාඩු දවසකටම මම වැඩ කරනවා. මම හිතන්නේ මහන්සි වෙන්න ඕන කාලේ හාන්සි වුණොත් හාන්සිවෙන්න ඕන කාලේ මහන්සි වෙන්න ඕන. ජපන්, කොරියන් වගේ රටවල් එක්ක අපි ව්‍යාපාරික වශයෙන් ගනුදෙනු කරනවා. ඒ මිනිස්සු පුදුම විදිහට වැඩ කරන්නේ. කොරියන් මිනිස්සු එක තත්ත්පරයක් නිකම් ඉන්නේ නැති තරම්. ඒත් අපි අවුරුද්දට නිවාඩු දවස් කීයක් ගන්නවද? කොයිතරම් කාලය නාස්ති කරනවද? ජපන්, කොරියානු, ජර්මන් භාෂා දන්නවනම් ඒ රටවල ඕනතරම් රුකියා අවස්ථා තියෙනවා. අද අපේ රටේ හිඟ ඒ මානව සම්පත්. මම ඉදිරියේදී පෙරපාසල් දරුවන්ට ජපන්, කොරියන් භාෂා උගන්වන්න වැඩපිළිවෙළක් පටන් ගන්නත් අදහස් කරනවා.

සියල්ල සාරාංශයක් ලෙස ගත් කල ඔහු ජීවිතය වෙනුවෙන් නව මං සොයන්නෙකි. ඒ නව මංවලට වඩා ඵලදායී අරුත් සොයන්නෙකි. සියලු ආයෝජන වෙනුවෙන් ධනාත්මක ප්‍රතිලාභ සොයන්නෙකි. සමාජ ප්‍රගමනය උදෙසා සමාජයකට අවැසිවන්නන් අතර එවන් චින්තකයෝද අවැසි වෙති. 

 සංජු