
කරාපිටිය ජස්ටින්කන්දේ පදිංචි කමල් ගාලු මුහුදේ ගල්මල් නැරඹීමට නිතර යන තරුණයෙකි. පසුගියදා ඔහුට තවත් මිතුරකුත් සමඟ ගාලු කොටුව අසල මුහුදේ කිමිදෙන විට අපූරු ප්‍රතිමාවක් දැකගත හැකි විය. වෙරළේ සිට අඩි 150ක් පමණ දුරකින් අඩි 5ක පමණ ගැඹුරකින් තිබූ මෙම පිළිමය දුටු ඔහු තුළ විශාල කුතුහලයක් හට ගත්තේය.
ඔහු මිතුරාත් සමඟ සාකච්ඡා කළේය. කිලෝ 40 ක් පමණ බරුති තරමක් හිරිගල් බැඳී තිබූ පිළිමය රැගෙන වෙරළට පැමිණ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට කතා කළේය. එයට ප්‍රතිචාරයක් නොලැබුණු විට ගාල්ල කොටුවේ සුධර්මාලය විහාරයට ගෙනවිත් එය එහි නායක හිමියන්ට බාරකර පොලීසිය සහ පුරාවිද්‍යා අංශ දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව ගාල්ල පොලීසිය සිද්ධිය ගැන විමර්ශන ආරම්භ කළේය.
මේ සිද්ධිය ප්රවෘත්ති කෑදරකමින් සිටින විද්‍යුත් මාධ්‍යවලට විශාල ඉල්ලමක් විය. ඔවුන් එය වාර්තා කළේ පැරණි ප්‍රතිමාවක් ගාලු කොටුව සමීපයෙන් හමුවී ඇති බව පවසමිනි. එම ප්රවෘත්ති දුටු ගාල්ල ලේන්බාන් වීදියේ The galle Fort Art gallery කලාගාරය පවත්වාගෙන යන ජනක් ද සිල්වා නම් චිත්‍ර ශිල්පී තරුණයාට සිනහ පහළ විය. එයට හේතුව ඔහුගේ වචනවලින්ම අපට කිව්වේ මෙලෙසයි.
මේ ප්‍රතිමාව මම මුහුදේ ගිල්ලුවේ පසුගිය පෙබරවාරි මාසෙ 2 දා. ඒක තැන්පත් කරන අවස්ථාව වීඩියෝගත කළා. මේක කොන්ක්‍රීට්වලින් හදපු පිළිමයක්. පිළිමය නිර්මාණය කළේ කඩවත නිමල් කියන මූර්ති ශිල්පියා. අච්චුවකින් හදපු තාරා දෙවඟනගේ උඩුකය මූර්තියක්. නමුත් අපේ රටේ මාධ්‍යවලින් කිසි හොයා බැලීමකින් තොරව මෙය පැරණි පිළිමයක් බව පැවසුවා.
ජනක් ද සිල්වා කඩවතින් රැගෙන ආ මූර්තිය ටික කලක් තම කලාගාරයේ තබා තිබිණි. එවිට කිසිවකු එතරම් උනන්දුවක් නොදැක්වූ එම ප්‍රතිමාව මුහුදෙන් හමුවීමත් සමඟ රටම කළඹන මාතෘකාවක් බවට පත් විය.
මේ අර ළිඳ ළඟ තිබුණු පිළිමෙ නේද? මුහුද යටට ස්ථාන මාරැවුණා විතරයි, දැන් ලෝක ප්‍රසිද්ධයි යනුවෙන් ඔහුගේ මුහුණු පොතේ මිතුරකු උපහාසාත්මක සටහනක් තබා තිබුණි.
ජනක් ද සිල්වා ජනාධිපති සම්මානලාභී (වර්ෂ 2012) සිත්තරෙකි. චෝගම් සමුළුව වෙනුවෙන් සැකසුණු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තයේ දේවාරාධනාව සිත්තම ඔහුගේ එක් නිර්මාණයකි.
මේ ප්‍රතිමාව මුහුද යට තැන්පත් කළේ එක්තරා කලා සංකල්පයක් මේ රටේ ආරම්භ කිරීමේ අරමුණ ඇතිවයි. ඒකට කියන්නේ Underwater Sculpture. මේක ලෝකෙට හඳුන්වා දුන්නේ ජේසන් ඩිකෙයාරස් ටේලර් කියන බ්‍රිතාන්‍ය මූර්ති ශිල්පියා. එහිදී සිදුවන්නේ අඹන ලද මූර්ති සහ රෑප මුහුද යට කොරල්පර අසල තැන්පත් කිරීමයි. ටික කාලයක් ගතවන විට එම පිළිමවල කොරල් වර්ධනය වී අපූරැ අලංකාරයක් මතුවෙනවා. එය පරිසරයටත් චමත්කාරයක් එක් කරනවා. මෙම කලාව ලංකාවට ආගන්තුකයි. මේ මගින් සංචාරක ව්‍යාපාරයටත් යහපතක් වෙනවා. කොරල්පර වර්ධනයටත් හිතකරයි.
අපේ රටේ මිනිස්සු පුරැදුවෙලා තියෙන්නේ කලාගාරයක් තුළට ගිහින් චිත්‍ර සහ මූර්ති නැරඹීමටයි. මට අවශ්‍ය වුණේ කොරල් පරිසරයේ තිබෙන මෙවැනි කලාකෘති දියයට කිමිදීමෙන් නැරඹීමේ සංකල්පයක් ඇති කිරීමයි. ඉදිරියේදී වගකිව යුතු රජයේ ආයතනවලට දැනුම් දී ඔවුන්ගේ අවසරය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මම බලාපොරොත්තු වෙනවා.
ජේසන් ටේලර් දියයට මූර්ති කලාගාර ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණක් වූයේ වැනසී යන කොරල්පර රුකගැනීමයි. ඔහු පවසන අන්දමට ඒ සඳහා සංරක්ෂණය මෙන්ම ආරක්ෂා කරගැනීමද අවශ්‍ය වේ. ඔහුගේ දියයට කලාගාර මගින් ජනතාවට කොරල්පර පරිසරය ආරක්ෂා කරගැනීමේ උනන්දුව ජනිත වේ. ටේලර් විසින් ලොව ප්‍රථම දියයට කලාගාරය ග්රැනඩාවේ 2005 දී පිහිටවූ අතර එය නැෂනල් ජියෝග්රැෆික් සඟරාව විසින් ලොව විස්මිත ස්ථාන 25 අතරටද එක්කර තිබේ. බහමාස් දූපත්, ස්පාඤ්ඤය, මැක්සිකෝව ආදී රටවල් රුසක ඔහුගේ දියයට කලාගාර දැකගත හැකිය. දැනට අවුරුද්දකට කලින් මම ටේලර්ට ලියලත් තියෙනවා. ඔහු මැක්සිකොවේ නිර්මාණය කළ දියයට කලාගාරයට අපේ රටේ කෙනකුත් සම්බන්ධ වී සිටි බව මට දැනගන්නට ලැබුණා. ආසියානු රටවලින් මෙවැනි කලාගාර තිබෙන්නේ බාලි දූපතේ පමණයි.
මෙවැනි කලාගාරයක් පිහිටුවීම ගැන ප්‍රගීත් මනෝහංස, චමිල ගමගේ වගේ හිතවත් මූර්ති ශිල්පීන් සමඟ මම කතා කළා. මේක ලොකු මුදලක් වැයවන අභියෝගාත්මක වැඩක්. නමුත් මේවායින් මුදල් හම්බකිරීමට බැහැ. ඒ සංකල්පයේ මුල් පියවර විදිහට තමයි තාරාදේවි ප්‍රතිමාව මුහුදේ තැන්පත් කළේ. එය සතියෙන් සතිය වීඩියෝගත කර එහි කොරල් බැඳෙන ආකාරය මම නිරීක්ෂණය කළා. නමුත් සමහරැ මගේ සංකල්පය ගැන වැරදි හැඟීම් මතුවන ලෙසට අදහස් දැක්වීම් කර තිබුණා. ජනක වැඩිදුරටත් අප සමඟ පැවසුවේය.
කෙසේ වුවත් කිමිදුම්කරැවකු විසින් තාරාදේවිය ගොඩට ගැනීමත් සමඟ රට තුළ හටගත්තේ විශාල කුතුහලයකි. මේක පෙණ බැඳිල පාසි බැඳුණට පස්සේ බුද්ධ ප්‍රතිමාවක් වගේ තමයි පේන්නේ. ගොඩගත් කෙනාට එහෙම සැකයක් ඇතිවීම සාධාරණයි. ජනක කීවේය.
කුසුම්සිරි