2018 අප්‍රේල් 13 වන සිකුරාදා

ටයි පටිය දිගේ කඳුළු ගලනවා

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 158

ශාලික හේරත් නම් කවියා සිය කුළුඳුල් කාව්‍ය ග්‍රන්ථය සමාජගත කරනුයේ අපේක්ෂා සහගත පසුබිමකය. අප කවිය සම්මානයට පාත්‍ර විය යුතුය යන්න වෙනුවෙන් හඬ නැගිය යුත්තේ කවියද ස්වර්ණ පුස්තකයක් මිස රජත පුස්තකයක් නොවන්නේය යන අදහස ද පෙරටුකොට ගෙනය.

ශාලිකගේ කවිය පිළිබඳව ලියන මේ සටහනට අවශ්‍ය ප්‍රවේශය මා සපයා ගන්නේ ප්‍රකට කෙන්යානු කිවියර ජාරෙඩ් ඇන්ගිරා ගේ අදහසකිනි. එය මෙසේ දැක්විය හැකිය. “කවිය යනු හුදෙක් කරදාසි මත වදන් අපූර්ව ආකාරයට පෙළගැස්වීමම නොවේ. 
කාව්‍යකරණයේදී ආකෘතිය පිළිබඳව අවශ්‍ය අවස්ථාවන්හිදී අත්හදා බලමින් ශානරයද සංවර්ධනය කරමින් අදාළ කාර්යයන් කරා වන ගැඹුරු කැපවීමක් ඉල්ලා සිටී. ඒ අතරම අන්තර්ගතයටද අවධානය යොමු කළ යුතුය. අප සම්බන්ධයෙන් නම් මෙහිදී කවිය යනු සදහටම සමාජය වෙනස් කිරීමේ මෙහෙවරකි. අප සමාජයේ ආත්මය පිළිබිඹු කිරීමට හේතුව වන්නේ ශල්‍ය වෛද්‍යවරයාගේ සැත්කම් පිහිය යොමු විය යුතු දිශාව පිළිබඳ මූලයන් හඳුනා ගැනීමයි.”

මෙහි ඇති කවි අතරින් උඹට වැරදුනා ත්‍රිමා සහ වෙනුර යන කවි දෙකද ශාලික සමාජය වෙත යොමන අවධානය කෙබඳුදැයි අපට පවසයි. පාරිභෝජනවාදි තරගයෙහි ගොදුර වීමේ ඉරණම කැමැත්තෙන්ම භාර ගන්නට සැදී පැහැදී ඉන්නා සමාජයක මනුෂ්‍ය හරයන් පවතින්නේ වැලලී යමිනි. අසූව දශකයේ අගභාගයෙහි සමාජය වෙනස් කිරීම වෙනුවෙන් සටන් වැද සිය දිවියෙන් ඊට වන්දි ගෙවීමට සිදුවූ ත්‍රිමා සහ වෙනුර යන ශිෂ්‍ය නායක චරිත දෙක සංකේත වශයෙන් ගෙන මෙහිදී ශාලික කරන්නේ වර්තමාන සමාජයේ මිනුම් දඬු ප්‍රශ්න කිරීමකි.

තට්ටු තුනේ ගේකුයි

ලොකු ටයිල් කැට දැම්ම

බෙන්ස් කාරෙකකුයි

ඩුවෙල් ඒ.සී. එක්ක

ගන්නනැතිව මොන එහෙකට

රැක්කද නිදහස් අධ්‍යාපනය...

අධ්‍යාපනය යනු රටකට අත්‍යවශ්‍ය ආයෝජනයකි. එය ඵලදායී කර ගැනීමට නම් රටෙහි ඒ සම්බන්ධයෙන් ඉන්නා බලධාරීන් විචක්ෂණශීලී වීමද අවශ්‍යය. ක්ෂිතිජයෙන් ඔබ්බට දකින්නට සමත් සිසුන් හදන්නට ආඩම්බරකාර ප්‍රකාශ නිකුත් කර අධ්‍යාපනය වෙළෙඳ‍ෙපාළෙහි වෙන්දේසි භාණ්ඩයක් බවට පත් කරන්නට කැසකවන දේශපාලකයන් මෙන්ම දේශපාලන ක්‍රමයක්ද පවතින විට අධ්‍යාපනය යනු කවර විකාරයක්දැයි කවියා විමසනුයේ සිය වෘත්තීය ජීවිතය මෙන්ම සමාජ ජීවිතයද විසින් පොහොසත් කරන ලද අවබෝධයෙනි.

“ළමාවරු මේ කොහේ යන්නෙද

බැක් පැක් එල්ලාගෙන

ඩෙක් ෂූස් පයට ලාගෙන

ස්ලිම් ෆිට් ඩෙනිම් ඇඳගෙන

ලුමිනස් කලර් ටී ෂර්ට් පොරෝගෙන...”

(ටියුෂන් කෝලම)

“අන්දර වැට වළලපු තැනම

හදපු කොන්ක්‍රීට් බැමි උඩ ඉඳන්

පරිසරය උගන්වන එකත්

හෙනම කොමඩියක්

විද්‍යාව කියන්නෙත්

අවිද්‍යාවට කියන තව නමක්...”

(කොමඩියක්)

ශාලිකගේ කාව්‍ය එකතුවෙහි බොහෝ කවි පාඨක පරිකල්පනය අවදි කිරීමේලා සමත් නිර්මාණයන්ය. ඔහුගේ කවියෙහි ඇති එක් විශේෂත්වයක් වනුයේ ඔහු බස හසුරුවන ආකාරයයි. ඔහුගේ කවි බස ඉතා සංයමශීලීය. එහි කොවක ලකුණු නැත. එහෙත් එය කියවන පාඨකයාට දැනෙන රිදුම බලවත්ය. එසේම ඔහු නූතනයේ කටවහර පදනම් නොකර සිය කවියට කැඳවයි. සිංහල ඉංග්‍රීසි මුසු බස්වහරෙන් ඔහු කවිය සරසන්නේ එහි ආගන්තුක බවක් නොදැනෙන අයුරිනි. ගෘහස්ථ දිවියෙහි සරතැස, සමාජ ජීවිතයෙහි අපුල, දේශපාලනයෙහි කුහක බව, අවස්ථාවාදයේ නරුම බව ආදී වශයෙන් විවිධ අංශ හරහා ඔහු සිය කවිය විහිදුවයි. එය වර්තමාන සමාජය පිළිබඳ අවදියෙන් සිටිනා කවියකුගේ විමසුමකි. ශාලික සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහයෙන් පළ කරනා දැක්ම සහ කුසලතා අනවරත අභ්‍යාසය තුළ තවත් වර්ධනය කර ගන්නේ නම් සහ දිගටම කවිය අත් නොහැර සිටින්නේ නම් බලාපොරොත්තු තැබිය හැකි කිවියකු අපට ඉදිරියේ හමුවනු ඇත.

  චූලානන්ද සමරනායක

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00