2018 අප්‍රේල් 13 වන සිකුරාදා

වකුගඩු රෝගියකුගේ කෑම බීම කොහොමද?

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 1330

වකුගඩු රෝගය අද ලොව පුරා සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. ලංකාවේ අද වනවිට මෙය විශාල ගැටලුවක් බවට පත්ව ඇත. උතුරු මැද, නැගෙනහිර ජනතාව මෙම වකුගඩු රෝගය නිසා මහත් සේ පීඩා විඳියි. මේ හේතුව නිසා ජන ජීවිතවලට සිදුව ඇති හානිය සුළුපටු නොවේ. වකුගඩුවල නිසි ක්‍රියාකාරීත්වයක් පවත්වා ගැනීමට නොහැකිවීම මෙයට ප්‍රධානතම හේතුවයි. විවිධ හේතූන් නිසා මේ තත්ත්වය ඇති විය හැකියි.

මේ ආකාරයට වකුගඩු රෝගවලට ලක්වූ විවිධ රෝග මට්ටම්වල සිටින රෝගීන් නිතර නිතර හමුවේ. ඇතැමුන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර ඇතැමුන් එදිනෙදා සාමාන්‍ය වැඩකටයුතුවල යෙදෙමින් ප්‍රතිකාකරවලට යොමු වී සිටින අවස්ථා ඇත.
කෙසේ වුවද මේ සියළු රෝගීන් ගත යුතු හා නොගත යුතු ආහාර පිළිබඳ දැනුම්වත් වීම ඉතා වැදගත් වේ.

සාමාන්‍යයෙන් වකුගඩු මඟින් සිදුකරන ප්‍රධාන කාර්යයන් කිහිපයකි. 

රුධිරයේ එකතු වන අපද්‍රව්‍ය හා අතිරේක තරල ඉවත් කිරීම.

ශරීරයේ සෝඩියම්, පොටෑසියම්, අයන් ස්ථාවරව සමබරතාවයකින් පවත්වා ගැනීම.

හෝමෝන හා විටමින් වර්ග නිපදවීම.

වකුගඩු ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වූවිට ඉහත කාර්යයන් නිසි ලෙස සිදු නොවේ. රුධිරයේ අඩංගු අපද්‍රව්‍ය හා අතිරේක තරල වකුගඩු මඟින් ඉවත් නොවූ විට රැධිරයේ ඒවා එක්රැස් වීම සිදු වේ. එම අපද්‍රව්‍ය රැධිරයට එක්වන්නේ අප ආහාරයට ගන්නා ආහාර හා පාන මඟිනි. එබැවින් වකුගඩු රෝගීන්ට නිර්දේශිත ආහාර ගැනීමෙන් රුධිරයේ එක්රැස්වන අපද්‍රව්‍ය හා අමතර තරල ප්‍රමාණය අඩුකර ගතහැකි අතර වකුගඩුවලට පැවරෙන කාර්යභාර්ය අඩු කිරීමෙන් ඉන්ද්‍රියට විවේකය ලබාදීමට හැකිවෙයි. එමඟින් වකුගඩුවල තවදුරටත් සිදුවන හානිය වළක්වා ගත හැකිය.

එක් එක් වකුගඩුවල පවත්නා රෝග තත්ත්වය අනුව ගත යුතු ආහාර වෙනස් වන අතර පොදුවේ ගත් කල අවධානය යොමු කළ යුතු කරුණු තිබේ.

ප්‍රෝටීන් ආහාර එනම් මස්, මාළු, බිත්තර, කිරි, චීස් සහ අනෙකුත් කිරි නිෂ්පාදනයන් ද, කඩල, කව්පි, මුං ඇට, පරිප්පු, සෝයා ආදී මාංශ භෝග ද සීමා කළ යුතුය. ශරීරයේ වර්ධනයට හා ගෙවී ගිය කොටස් අලුත්වැඩියාවට ප්‍රෝටීන් අත්‍යවශ්‍ය වන අතර ප්‍රෝටීන් පරිවෘත්තියේදී අපද්‍රව්‍ය ලෙස යූරීන් ශරීරයේ එක්රැස් වෙයි. වකුගඩු නිසි පරිදි ක්‍රියා නොකළ විට මෙම අපද්‍රව්‍ය නිසි පරිදි ඉවත් කිරීම සිදු නොවේ. එවිට රුධිරයේ යූරීන් අපද්‍රව්‍ය එක්රැස් වේ. එබැවින් ආහාරයේ ප්‍රෝටීන් ප්‍රමාණය අඩු කළ යුතුය.

විවිධ වකුගඩු රෝගාබාධවලදී ගතයුතු ප්‍රෝටීන ප්‍රමාණය වෙනස් වන අතර එය ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියා කළ යුතුය.

පොටෑසියම් අධිකව අඩංගු ආහාර වන පැඟිරි සහිත පළතුරු (දෙහි, දොඩම්, නාරං ආදිය) කෙසෙල්, තක්කාලි, අර්තාපල්, වියලි පළතුරු, චොක්ලට් සීමා කළ යුතුය.

ස්නායු, පේශි හා හෘදයේ ක්‍රියාකාරීත්වයට පොටෑසියම් නම් ඛනිජ පෝෂකය අත්‍යවශ්‍ය වෙයි. වකුගඩු මඟින් ශරීරයේ නියමිත පොටෑසියම් ප්‍රමාණයක් තබාගැනීමට ක්‍රියාකරයි. ආහාරය මඟින් ගන්නා පොටෑසියම් ප්‍රමාණය වැඩි වූවිට වකුගඩු නිසි පරිදි ක්‍රියා නොකරයිනම් එහි සමබරතාවය පවත්වා ගත නොහැකි වීමෙන් ශරීරයේ පොටෑසියම් මට්ටම අනතුරැදායක ලෙස වැඩිවිය හැක. එය හෘදයට අහිතකර තත්ත්වයකි. සෑම ආහාරයකම පොටෑසියම් අඩංගු අතර එළවළු හා පලතුරැ කුඩා ප්‍රමාණවලින් එක්කරගැනීම යහපත් වේ.

පොස්පරස් අධිකව අඩංගු ආහාර, එනම් කිරි හා කිරි නිෂ්පාදන, යෝගට්, අයිස්ක්‍රීම්, බීම වර්ග, මධ්‍යසාර, සත්ව අක්මා ආදිය සීමා කළ යුතුවේ.

පොස්පරස් හා කැල්සියම් අස්ථි ශක්තිමත්ව හා නිරෝගීව පවත්වා ගැනීමට වැදගත් වේ. නමුත් රෝගී වකුගඩු මගින් පොස්පරස් හා කැල්සියම් සමතුලිතතාවය තබා ගැනීම අසමත් කරයි. එවිට ශරීරයේ පොස්පරස් ප්‍රමාණය වැඩිවනවිට කැල්සියම් ප්‍රමාණය අඩුවේ. එබැවින් පොස්පරස් අධික ආහාර ද සීමා කරන්න.

හැකිතාක් ලුණු ආහාරයට ගන්නා ප්‍රමාණය අඩු කළ යුතුය. සකස් කරන ලද ආහාර, කෙටි කෑම, චට්නි, සෝස්, සකස් කරන ලද මස් වර්ග වැනි දෑ සීමා කරන්න. ලුණු අධිකව ගැනීමෙන් රැධිර පීඩනය ඉහළ යා හැකි අතර ශරීරය රඳවා ගන්නා තරල ප්‍රමාණය ද වැඩි වේ. මෙසේ අමතර ප්‍රමාණය ඉවත් කිරීමට වකුගඩු අසමත් වීමෙන්, හුස්ම ගැනීමේ අපහසුව, ඉදිමීම වැනි තත්ත්වයන් ඇති වෙයි.

දිනකට ගන්නා දියර ප්‍රමාණය සීමා කළ යුතු අතර රෝගී තත්ත්වය අනුව රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. එය වෛද්‍ය උපදෙස් මත රෝගී පරික්ෂාවෙන් පසුව තීරණය කෙරේ.

වකුගඩු රෝගවලදී ප්‍රෝටීන් ආහාර සීමා කිරීම නිසා එමඟින් ලැබෙන කැලරි ප්‍රමාණය ද සීමා වේ. සාමාන්‍යයෙන් රෝගියකු වැඩි කැලරි ප්‍රමාණයක් ලබාගත යුතු අතර වෙනත් රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නේනම් ඒ පිළිබඳව සැලකිලිමත්ව ආහාර ලබා ගත යුතුය.

කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය
සෙත්සුව ආයුර්වේද රෝහල