

කොළඹ කොටුවේ ෆෙයාර්වේ හෝටලය සංවිධානය කරන සංස්කෘතික සංදර්ශනය කියන්නේ කොළඹ අවට ඉන්න විදේශ සංචාරකයන් වෙනුවෙන් සංවිධානය කරන විවෘත වැඩසහටනක්.
සතියේ හැම සඳුදා දිනකම සහ බ්‍රහස්පතින්දා දිනකම පැවැත්වෙන මේ සංදර්ශනයට ලංකාවේ සාම්ප්‍රදායික නැටුම්, වාදන, වගේම අංගම්පොර වැනි සටන් අංගත් බොහොම අපූරුවට මිශ්‍ර කරලා තියෙනවා.
මේ සංදර්ශනය පටන් ගන්නේ, ගැටබෙර, යක් බෙර, දවුල් සහ තම්මැට්ටම් වාදන වලිනුයි. ඉන්පසුව ගිනි සිසිල වගේ ටිකක් ත්‍රාසජනක අංගත් ප්‍රදර්ශනය කෙරෙනවා. විදෙස් සංචාරකයන් මේ අංග දෙස බලාසිටින්නේ පුදුමයෙන් කටත් බාගෙන ඇරගෙනයි. මේ වැඩසටහනේ එක් අපූරු විශේෂාංගයක් තමයි අංගම්පොර සටන් අංගය. මේකෙ අපූර්වත්වය තවත් වැඩිවෙන්නේ තරුණියකුත් පිරිමින් හා හරිහරියට සටන් වදිමින් ශිල්ප දැක්වීම නිසායි. මල්ලව පොර පන්නයේ සටන් මෙන්ම කඩු සහ හෙල්ල සමඟ පලිහ යොදාගනිමින් කෙරෙන මේ සටන් පිටකොටුවේ රෝහල් විදියට එකතු කරන්නේ තරමක බිහිසුණු නමුත් සෞන්දර්යාත්මක චමත්කාරයක්. විදේශිකයන් හැරුණු විට ලන්දේසි රෝහල පරිශ්‍රයේ කඩසාප්පු සහ අවන්හල්වලට ඇදෙන කොළඹ නාගරික තරුණ කොටස් පවා මේ සංස්කෘතිකාංග දිහා බලාගෙන ඉන්නේ පුදුමය පිරුණු ඇස්වලින්.


මේ වැඩේ අන්තිම කොටසේදී විතර තමයි සළුපාලියා උන්නැහේ එන්නේ. උන්දැ කතාකරන්නේ සිංහලෙන් වුණාට ඒ කරන විහිළුවලට සුද්දන්ටත් හිනා! සළුපාලියා එක්ක එතැන හිටපු සුද්දෝ කොච්චර විනෝද වුණාද කියතොත් සළුපාලියාගේ තාලයටම උන්දැගෙ අතින් අල්ලගෙන නටන්නත් එක තරුණ සුදු නෝනා කෙනෙක් ඉදිරිපත් වුණා. පැයකටත් වැඩි කාලයක් පුරාවට පැවැත්වෙන මේ වැඩසටහන බොහොම කෙටි වුණත් නොමිලේ බලන්න පුළුවන් නිසා ලොකු වටිනාකමක් තියෙනවා කියලා කියන්න පුළුවන්.