
“පොල් ලෙලි පටවන ලද කැබ් රථයක ඉතා සූක්ෂම අන්දමින් අසුරා තිබූ රුපියල් කෝටි 03කට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් හුණුපිටියේ දී අත්අඩංගුවට”
“ඉන්දියාවේ සිට උතුරු මුහුදට රුගෙන ආ රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 153ක් නාවික හමුදාව භාරයට”
“කේරළ ගංජා රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය 35 දෙනෙකු අත්අඩංගුවට”
මේ පසුගිය සති කිහිපය තුළදී කේරළ ගංජා මැවූ පුවත්පත් සිරස්තල කිහිපයකි.
කාලයෙන් කාලයට විවිධාකාර මත්ද්‍රව්‍ය සමාජයට එකතුවන්නේය. මෑත කාලයේ අප සමාජයේ වඩාත්ම කතාබහට ලක්වන මත්ද්‍රව්‍යය කේරළ ගංජාය. කේරළ ගංජා නොහොත් කේ.ජී. කෑල්ලක් මිලට ගත නොහැකි නගරයක් ගමක් නැති ගානය. රට හැම තැනම කේරළ ගංජා විකිණීමට තිබෙන්නේය. කේ.ජී. බට්ටන් රුපියල් සියයකට අලවි වනවිට කේ.ජී. ග්‍රෑම් 10 පැකට් එක රැපියල් දෙදහස් පන්සීයකට හෝ රුපියල් තුන්දහසක් වැනි මුදලකට අලෙවි වන්නේය. කේරළ ගංජාවලට මෙරට ඇති ඉල්ලුම අතිශය ඉහළය. එහෙත් එවැනි වටිනාකමක් ඇති කේරළ ගංජා සම්බන්ධව රට තුළ මතුවෙමින් තිබෙන කතා නම් අතිශයින්ම භයානකය.
අඩු මුදලකින් පැය ගාණනකට සිහින ලෝකයක යාහැකි හොඳම බෙහෙත ගංජා බව මත්ලෝලීහු කියති. අප සමාජයේ ගංජා පානයට ඇබ්බැහි වූ තරුණයෝද බොහෝ වෙති. වැඩිහිටියෝද එමටය. පිරිසක් මත්ද්‍රව්‍යයක් ලෙස ගංජා පාවිච්චි කරනවිට තවත් පිරිසක් සිරුරට අසාමාන්‍යය ශක්තියක් එකතුකර ගැනීමේ අදහසින් ගංජා පානය කරති. කිනම් අරමුණකින් ගංජා පානය කළද සිදුවන්නේ ශරීරයට අහිතක් පමණි.
මේ තත්ත්වය කෙසේ වුවද කේරළ ගංජා රට තුළට ගෙනඒමට වෙරදරනා පුද්ගලයන්ට සහ පානය කරන්නන් ළඟ තබාගන්නන් යන අයද සොයා මෙරට ආරක්ෂාක අංශ වැට බැඳී ඇත. පසුගියදා නාවික හමුදාව ලත් තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව මීගමුව කොප්පරා හන්දිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී 51 හැවිරිදි පුද්ගලයකු රුපියල් ලක්ෂ 600ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 403ක් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ කේරළ ගංජා මෙරටට ගෙන එව පුද්ගලයන් සොයා කරන ලද වැටලිම්වල ප්‍රතිඵලයක් ලෙසටය.
“කේරළවල ඉඳලා මේ රටට ගංජා එන ඇත්ත... ඒ වුණාට මේ රටේ හැම තැනම තියෙන්නේ හොඳ කේ.ජී. නෙවෙයි” කංසා පිළිබඳ නොදැනුමක් ඇති පුද්ගලයෙක් අපට සැබෑ තතු පැහැදිලි කර දුන්නේය.
“තණමල්විල, මොණරාගල, ඇඹිලිපිටිය වගේ අපේ රටේ වවන කංසාවල එච්චර සැරක් නැහැ. හැබැයි කේරළ ගංජා එහෙම නෙවෙයි. ගොඩාක් සැරයි. ඒකයි අද කංසා පාවිච්චි කරන හැමෝම කේ.ජී.ම හොයන්නේ මුළු රටේම කේ.ජී.වලට හොඳ බිස්නස් එකක් තියනවා. ලංකාවේ ගංජා බිස්නස් කරන හැමෝම කරන්නේ ලංකාවේ හැදෙන ගංජාවලට මදුරුවන්ට ගහන ස්ප්‍රේ, කැස්සට බොන පැණි කලවම් කරලා ඒවා වේලලා එවන එකයි. එහෙම බලනකොට ලංකාවේ තියන ඔක්කොම ඒවා එකයි.”
ගංජාවල අඩංගු ප්‍රධාන රසායනික සංයෝගය වන්නේ ටෙට්රාහයිඩ්රො කැනබිනෝල්ය. කෙනෙකු ගංජා පානය කළවිට හෘද ස්පන්දනය වැඩිවී නිදිමත සහ හිසේ බර ගතියක් ඇතිවන බව විද්‍යාත්මක සොයාගැනීමකි. එහෙයින් ගංජා නිතරම භාවිත කිරීම ශරීරයට හානි ගෙනදෙන්නන් බව විද්‍යාත්මක මතයකි. ගංජා පමණක් නොව සියලුම මත්ද්‍රව්‍ය සහ මත්වතුර මිනිස් සිරුරට අහිතකරය. එසේ නම් මදුරැවන් විනාශ කරන බෙහෙත්, කැස්සට දෙන පැණිය වැනි විෂ රසායනික මුසුකොට මෙරටට නිෂ්පාදනය කරන ගංජා භාවිතය නිසා මෙරට තරැණ පරපුර අකලට ලෙස රෝගවලට ගොදුරැවන බව පැහැදිලිය.
කෙසේ වුවද ලොව පුරා බොහෝ රටවල කංසා ශාකය ඖෂධයක් ලෙස භාවිත කරන බවටද වෛද්‍යය විද්‍යාවේ සඳහන් වේ. එමෙන්ම ලෝකයේ කංසා වැවෙන රටවල් අතුරින් ඖෂධීය ගුණයෙන් ඉහළම කංසා ශාකය වැවෙන්නේ අප රටේය. එහෙත් ලෝකයේ සෑම රටක්ම සේම මෙරටත් ගංජා අලෙවිය, ප්‍රවාහනය, වගාකිරීම සහ පානය කිරීම නීති විරෝධීය. එහෙත් අප රට දේශීය වෙදකමට කංසා භාවිත කරන බව දේශීය ආයුර්වේද වෛද්‍යවරු පවසති.
දේශීය වෛද්‍ය විද්‍යාවට කංසා ශාකය අවශ්‍යම ඖෂධයක් වියහැකි බව සැබෑය. එහෙත් ගැටලුව වී ඇත්තේ සමාජයේ මත්ලෝලීන් එය මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීමය. සමාජය කාලකණ්නි කරන කිසිම මත්ද්‍රව්‍යයක් නිසි ලෙසකින් හෝ අනුමත කළ නොහැකිය. එහෙත් මුදලට තන්හාවෙන් කටයුතු කරන මෙරට ඇතැම් දේශපාලනයන්ගේ අනුදැනුම ඇතුව රටම මත් කිරීමට හැකි පමණින් ඉන්දියාවේ කේරළයේ සිට මෙරටට ගංජා ගෙන්වන පිරිස් සිටිති. නමුත් ඔවුන් කිසිවෙකුත් තවමත් නීතියේ රැහැනට කොටුවී නොමැත. එම නිසා හාල්මැස්සන්, සූඩයන් වැනි කුඩා ජාවාරම්කරැවන් පමණක් නොව මෙරටට විනකටින තෝරු මෝරූ ප්‍රමාණයේ මහාජාවාරමුන්ද ඉක්මනින් නීතියේ රැහැනට කොටුකරගත යුතුය.
ගංජා පමණක් නොව සියලුම මත්ද්‍රව්‍යය මෙරටින් තුරන් කළ යුතුය. කේරළයෙන් මෙරටට ගෙන්වන කේ.ජී. පමණක් නොව, ඇඹිලිපිටිය, තණමල්විල වැවෙන දේශීය ගංජාවලට විෂ ගල්වමින් කෙරෙනා එකී ජවාරම් ද නැවතිය යුතුය. තරාතිරම නොබලා දඬුවම් කළහොත් රටතුළ මෙම තත්ත්වය පාලනය කළ හැක. මතින් තොර රටක් නිර්මාණය කළ හැක්කේ එසේ කළොත් පමණි.
හසිත් අංජන