2018 මාර්තු 10 වන සෙනසුරාදා

සති කිහිපයක් තුළ අකලට පරවූ මල් කැකුළු

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

 

තම ආදරණීය පුතනුවන්ගේ තම ආදරණීය දියණියන්ගේ නිසල සිරුර රැගත් පෙට්ටිය තම වාරුවෙන් උහුලාගෙන යද්දී ජීවිතේම වාරුවට උහුලා යන්නට හීන දැකපු ඒ මාපියන්ගේ හීන මොනතරම් නම් බිඳ දමාවිද...?

පසුගිය කාලය පුරාවටම එවන් අවාසනාවන්ත වූ මාපියන් පිරිසක් අප සමාජයේ වෙති. අඩු වයසින් ජීවිතේ හැර ගිය මල් කැකුළු බොහෝමයක් අද මේ පොළෝතලයේ පස්යට සැඟව සිටිති. 

කාලයක් හිත්පිත් නැති පුංචි ඩෙංගු මදුරුවා එකදිගට මල් කැකුළු කිහිපයකගේම ජීවිත උරා බිව්වෝය. අවසානයේදී ඒ මව්පියන්ට ඉතිරි වූයේ ජීවිතය පුරාවට හැඩූ කඳුළින් තම දරුවන්ගේ මතක ආවර්ජනා කරමින් මැරි මැරී ජීවිත් වීම පමණි.

ඩෙංගු මදුරුවා පමණක් නොවේ, විවිධ වෙස්ගත් මාරාවේශ වරින් වර මල් කැකුළු විනාශ කළෝය. ඒ අතරින් ශාලිකා ශෙහාන් පුතුනුවන් ද බොහෝ බලාපොරොත්තු කරපින්නාගෙන ජීවත් වූ ආදරණීය දරුවෙකි. කළුතර ප්‍රදේශයේ ජීවත් වූ ශෙහාන් මුලින්ම කළුතර මහාවිද්‍යාලයෙන් ද පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද අධ්‍යාපනය හැදෑරුවේය. අධ්‍යාපනයටත්, පාසැලේ බාහිර ක්‍රියාකාරකම්වලටත් දස්කම් දැක්වූ ශෙහාන් ජීවිතේ හැරයද්දී අ.පො.ස. උසස් පෙළ ලියා හමාර කළා පමණි. උදෑසන රැකියාවට යන පියාට දණ නමා වදිද්දී එය තම පුතුගේ අවසන් වැදුම බව කවදාකවත් ඒ පියා නොසිතුවේය. නමුත් හදිසි හෘදයාබාධයකින් ශෙහාන් මිය යද්දී තම උසස් පෙළ විභාගය වෙනුවෙන් ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබ ඇති බව ශෙහාන් නොදැන සිටියේය. ජීවිතෙන් සමුගත් ශාලික ශෙහාන් නැති නිවස අද ද පාළුවට ගොස්ය.

ත්‍රි/ පදවි ශ්‍රී පුර ජයන්ති වැව විද්‍යාලයේ පස්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පුංචි දේවින්ද ද තම මව්පියන්ගේ ආදරයත් සමඟ ජීවත් වූ තවත් මල් කැකුළකි. නිවසේ වැඩිහිටියන් නොමැති මොහොතක රූපවාහිනියේ විකාශනය වූ කාටුන් වැඩසටහන පුංචි දේවින්දගේ ජීවිතය උදුරා ගනිවීයැයි ඒ පුංචි හිත නොසිතන්නට ඇත. කාටුන් වැඩසටහන නැරඹූ ඔහු එහි තිබූ පරිදි සෙල්ලමට බෙල්ලට වැලක් දමා ගත්තේය. අවසානයේ දී පුංචි දේවින්දගේ සෙල්ලම පුංචි ජීවිතය උදුරා ගන්නට තරම් දරුණු විය. දේවින්ද ජීවිතයෙන් සමුගන්නේ ද නොසිතූ මොහොතකය.

පුංචි දරුවන් මල් වගේය. ඒ විතරක් නොවේ ඒ පුංචි හිත් මේ ගහට කොළට සතා සිව්පාවන්ට පවා ආදරේ කරන්නෝය. හලාවත ඉණුවිල ජීවත් වූ සුසිත් නිර්මාල් පුතනුවන්ද ජීවිතයෙන් සමුගත්තේය. හලාවත, ඉණුවිල, සමිදුගම අක්කර 40හි පදිංචි සුසිත්  පසුගිය විසිපස් වැනිදා තැඹිලි කැඩීමට ගමට එන කෙනකු හා කැලෑවැදී ඇත්තේ ගිරව් ඇල්ලීමටය. නමුත් සුසිත්ට එකදු ගිරවකු අල්ලා ගැනීමට තියා දැකබලා ගන්නටවත් අවස්ථාව නොලැබුණි. හිත්පිත් නැති නරුමයා පුංචි සුසිත් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කොට දරුණු ලෙසින් හිසට පහරදී ඒ පුංචි ජීවිතය උදුරා ගත්තේය. දින ගණනාවක් අතුරුදන් වූ මෙම පරවූ මල් කැකුළ සොයා ගන්නේද ඉණුවිල කැලෑවක තිබියදීය. ඒ වනවිටත් සුසිත්ගේ අවසන් හුස්ම පොද ද මේ වාතලයට මුදාහැර දින ගණනාවක් ගතවී හමාරය.

සුසිත්ගේ වියෝවෙන් වූ හිත් සැනසී යන්නටත් මත්තෙන් තවත් පුංචි දියණියක් ජීවිතයෙන් සමුගත්තාය. ඒ තම පාසලේදීය. දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සහේලි නිවර්තනා පුංචි දියණිය අහිංසක, ගුරුවරුන්ට කීකරු ඉතා නිහතමානී දියණියක් ද වූවාය. විෂය නිර්දේශවලට අනුව පොල්කටු උඩයාම වැනි බාහිර ක්‍රියාකාරකම් කළ යුතුව තිබුණි. සෑම දිනක පාහේ මෙම ක්‍රියාකාරකම්වලට පන්තියේ දරුවෝ පුහුණු වූහ. දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ දරුවෝ මේ ක්‍රියාකාරකමට උනන්දුවෙන් සහභාගී වූහ. සෑම දිනකම පාහේ බොරලු නැති පිට්ටනියේ මෙම ක්‍රියාකාරකමෙහි නිරත වෙන දරුවන්ව දැකගත හැකිවිය. මේ නිසාම පාසැල් ගුරුවරුන්ට ද එය හුරුපුරුදු දසුනක් විය.

එදිනෙදා පුංචි සහේලි තම පොල්කටු දෙකේ ආධාරකයෙන් මෙම බාහිර ක්‍රියාකරකමේ නිරත වූවාය. එක්වරම නොසිතූ මොහොතක පුංචි සහේලි මුණින් අතට ඇද වැටුණාය. පාසලේ ඇයගේ පුංචි මිතුරියෝ සහේලි වටකර ගත්හ. පාසල් ගුරුවරු ඉක්මනින්ම සහේලිව රෝහල් ගත කළෝය. නමුත් අවසානයේදී පාසල් අභ්‍යාසයයේ යෙදී සිටිමින් ඇදවැටුණු පුංචි සහේලීද තම පුංචි දෙඇස් පියා ගත්තාය. 

ගම්පොළ අටබාගේ උඩගම මහ විද්‍යාලයේ 11 වැනි වසරේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි මධුභාෂිනි බුද්ධිකා ලියනගේ දියණිය ද නොසිතුව මොහොතක ජීවිතක්ෂයට පත්වූ තවත් දියණියකි. ගම්පොල මිල්ලගහමුල දෙනියගම ප්‍රදේශයේ ජීවත් වූ මධුභාෂිනී සංගීතයට ඉතා දක්ෂ දියණියකි. 

ඇය අපූරුවට වයලීන වාදනය කළාය. එමෙන්ම ඇය ගායනයට ද ඉතා දක්ෂ දැරියක වූවාය. සංගීත පන්තියේ සිටි මධුභාෂිනි තවත් තම මිතුරියක සමඟින් නැටුම් පන්තියට ගියාය. ඒ යන අතරතුරේදී මධුභාෂිනි තම හිස රිදෙන බව තම මිතුරියට ද කීවාය. ඒත් සමඟම ඇය නැටුම් පන්තිය අසලදී බිමට පාත්වූවාය. ඇයට ඉතා ඉක්මනින් පාසලෙන් ආසන්නයේම ඇති ග්‍රාමීය රෝහලට ගෙන ගියද ඇයගේ තත්ත්වය බරපතළ විය. ඒ නිසාම වෛද්‍ය උපදෙස් මත මධුභාෂිනීව ගම්පොළ රෝහලට රැගෙන ගියද ඒ වනවිටත් මධුභාෂිනී දැරියගේ අවසන් හුස්ම පොද ද මේ වාතලයට මුසුවී හමාරය.

කෙටි කාලයක් තුළ දරුදැරියන් කිහිපදෙනකුම මෙලෙස අකාලයේ ජීවිතයෙන් සමුගැනීම සිතන්නට යමක් ඉතිරි කර ඇති බව පැහැදිලිය.

►දිශානි ජයමාලි කරුණාරත්න