
මිලක් ගෙවා සිය ජීවිතය කෙටි කරගන්නන් අතර අද ඉහළින්ම සිටින්නේ දුම් බොන්නන්ය. මේ අනතුරට පිරිසකට නොදැනම වැටෙන්නට ද තවත් පිරිසක් දැන දැන වැටෙන්නට ද ඉඩ සලසන්නේ අනුන් ලෙඩකොට හෝ තමන්ගේ මූල්‍යය සම්පත් ගොඩනගා ගන්නට නොපැකිළෙන බහු ජාතික සමාගම් බූවල්ලන්ය.
දැනටමත් ලෝකයේ වසරක් පසා දුම් බොන්නන් මිලියන පහක් මරු වසඟයට ගන්නේ දුම් නොබොන්නන් තවත් හය ලක්ෂයකට මරණය කැඳවමිනි. ඒ අතැඟිලිවල පැටලෙන දුම් වැටියෙන් තනාගන්නා දුම් වළලු සිය පෙනහැල්ලට පමණක් නොව දුම් නොබොන්නන්ගේ පෙනහලු තුළට වැටෙන වාතය ද මුදාහැරීමේ ප්‍රතිඵල ලෙසටය. මෙරට ද දැන හෝ නොදැන මෙලෙස සිය පණ නසා ගැනීමේ හා පරපණ නසාදැමීමේ දුම්පාන ක්‍රමවේදයට අනුගත තරුණ පිරිස සියට 29.9ක ප්‍රතිශතයක් පිරිමින්ගෙන් ද සියයට 0.4 ප්‍රතිශතයක් කාන්තාවන්ගෙන් ද නියෝජනය වනවිට වැඩි පිරිස සියයට 22.8ක ප්‍රතිශතයක් පිරිමින් බවට පත්ව සිටිති.
මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන රාජ්‍ය නොවන සංවිධානයක් කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ මෙරට දුම්පානය කරන පුද්ගලයන් වැඩි පිරිසක් මේ වනවිට සිටින්නේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ බවයි. ඒ අනුව බැලූ කල දුම්වැටි නගරයෙන් ගම්බදට සංක්‍රමණය වීමක් දැකගත හැකිය.
රත්නපුරය එලෙස දුම්වැටියෙන් කප්ගසා පෙරමුණට පැමිණෙනන විට කොළඹ, ගම්පහ වැනි නගර ඔවුන්ගේ සමීක්ෂණ වාර්තාවලට අනුව දෙවැනි සහ තෙවැනි ස්ථානයන් ගෙන සිටී.
ලෝකයේ කවර රටක හෝ තැනක සෑම තත්පර 6කට වරක් දුම්වැටි හේතුවෙන් නිසා මිය යන අතර මෙරට පමණක් වසරකට 20000න් දෙනා දුම් කොළ සහ දුම්වැටි භාවිතය නිසා මියයන බව සෞඛ්‍යය අමාත්‍යංශයේ වාර්තාවල සඳහන්ය.
බොන අයකුට මරණය ලැබ දෙන්නට ද, නොබොන අයකුට බොන අයකු හරහා මරණය ගෙන දෙන්නට ද දුම්වැටිය තුළින් සිරුරකට ගොඩවිය හැකි රෝගාබාධ විවිධාකාරය. ශ්වසන පද්ධතියේ, ආහාර මාර්ගයේ, අක්මාවේ, ගර්භාෂයේ, වකුගඩු හා මුත්‍රා මාර්ගයේ, මුත්‍රාශයේ පිළිකා ද රුධිරගත ලියුකේමියා ද, හෘදයාබාධ, ආඝාතය, අධි රුධිර පීඩනය ද කල්ගත ස්වසන ආබාධ ඇතුළත්වන්නේ මරණයට වගකියන දුම්වැටි භාවිතයේ අතරමග හමුවන රෝගාබාධ අතරටය.
හෘදයාබාධ නිසා සිදුවන මරණවලින් සියයට 10ක ප්‍රතිශතයකට ද පිළිකා නිසා සිදුවන මරණවලින් සියයට 22ක ප්‍රතිශතයකට ද, ශ්වසන ආබාධ නිසා සිදුවන මරණවලින් සියයට 36ක ප්‍රතිශතයකට ද, පෙනහලු පිළිකා නිසා සිදුවන මරණවලින් සියයට 71ක ප්‍රතිශතයකට ද වගකියන්නේ දුම්වැටිය.
වර්තමානයේ ශ්‍රී ලංකාව දුම්වැටි පානය ප්‍රසිද්ධ ස්ථානවල සිදුකිරීම තහනම් කිරීමේ සිට දුම්වැටි පානය අධෛර්යමත් කිරීම සඳහා ක්‍රියාමාර්ගයන් රුසක් ගෙන ඇත. දුම්වැටි පැකට්ටුවල සෞඛ්‍යයමය පණිවිඩ සඳහන් කිරීම හැරුණුකොට ක්‍රීඩා තරග ආදිය සඳහා අනුග්‍රහය දැක්වීම ද දුම්වැටි සමාගම්වලට සිදුකළ නොහැකි අයුරින් නීතිරීති පනවා තිබේ. එහෙත් මෙම නීතිරීති තුළින් රිංගා හෝ සමාජයේ වැඩිදෙනකු දුම්වැටි පානයට යොමුකරවා ගැනීම දුම්වැටි සමාගම්වල ඉලක්කය වී ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කය වැනි රට මධ්‍යයේ තිබෙන ප්‍රධාන නගර ඔවුන් ඉලක්ක කර ඇත්තේ නාගරික ප්‍රදේශ තුළ තිබෙන නීතිරීති දැඩිව ක්‍රියාත්මක වීම නිසාවෙන් ද විය හැකිය.
අපේ ආයතනය මගින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙන්නේ මෙරට දුම් භාවිතා කරන පිරිසේ යම් අඩුවීමක් තියනවා කියලා. විශේෂයෙන්ම මැදි වයසේ ඉන්න පුද්ගලයන් තමයි මේ දුම් භාවිතයට පුරුදු වෙලා ඉන්නේ. තරුණ වයසේ ළමුන්ගේ දුම්බීමේ ප්‍රවණතාවයක් පේන්නට නැහැ. ඕනෑම මත්ද්‍රව්‍යයකට පෙළඹිලා ඉන්න එය නවත්තගන්න ඕනම කෙනෙක්ට අපේ ආයතනය මගින් උපදෙස් ලබාදීලා ඒ පුද්ගලයන් වෛද්‍යය ප්‍රතිකාරවලට යොමු කරනවා.
දුම්වැටිය නැමැති අවාසනාවන්ත භාණ්ඩය මිලදී ගැනීමෙන් ජනතාවට උරුම වනුයේ මරණය පමණක් වන අතර දුම්වැටි අලෙවි කරනු ලබන සමාගම එම අලවිය හරහා තවත් ධනවත් වීම සිදුවෙයි. මෙම කරුණු විමසා බලා දුම්වැටියෙහි ගොදුරක් නොවීමට වගබලා ගැනීම සැමගේ යුතුකමක්.
අපේ අධිකාරියේ දත්ත අනුව දුම්වැටි භාවිතයේ එතරම් වැඩිවීමක් වෙලා නැහැ. ඒ වුණාට මෙරට දුම්වැටි භාවිතය නිසා වසරකට පුද්ගලයන් විසි දහසක් විසිතුන් දහසක් අතර ප්‍රමාණයක් ඍජුව හා වක්‍රව මිය යනවා. දුම්වැටි භාවිතය නිසා ඍජුව මිය යන සංඛ්‍යාව විසිදාහක් විතර වෙනවා. වක්‍රව මිය යන ප්‍රමාණය තුන්දහක් විතර මිය යනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දුම්පානය කරන ස්ථානවල ඉන්න අය තමයි රෝගවලට ගොදුරු වෙලා වක්‍රව මිය යන්නේ. සාමාන්‍යයෙන් අපි වසර දෙකතුනකට විතර සැරයක් සමීක්ෂණ කරනවා ඒ වාර්තා අනුව දුම්බොන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අඩුවීමක් පේන්න තියනවා.
දුම්වැටි නිසා වසරකට විශාල සංඛ්‍යාවක් මිය යනවා. මේ වනවිට නගරයෙන් ගමට දුම්වැටි ප්‍රචාරණය වීමක් තමයි දකින්න තියෙන්නේ. මේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බොහෝ ප්‍රදේශවල වෙළෙඳසලවල සිගරට් අලෙවි කරනවා. මේ වෙළෙඳසල් හිමියන් වයස් භේදයකින් තොරව පසුගිය කාලයේ දුම්වැටි ලබාදුන්නා. අපේ සංවිධානය පොලිසියට මෙවැනි නීති විරෝධී ආකාරයට දුම්වැටි අලෙවිකරණ ස්ථාන පිළිබඳ තොරතුරු ලබාදීලා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළා. තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් මේ වගේ බිස්නස් කරන පුද්ගලයන් නිසා තමයි අද සමාජයට මේවගේ දේවල් වෙලා තියෙන්නේ. රත්නපුරයේ විතරක් නෙවෙයි මුළු ලංකාවේ හැම තැනම අපි මතට එරෙහිව දැනුම්වත් කිරීමේ වැඩසටහන් කරගෙන ආවා.
► හසිත් අංජන