2018 මාර්තු 03 වන සෙනසුරාදා

මෙහෙම ගියොත් සිංහල සිනමාව වළපල්ලේ!

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 495

විදෙස් ආක්‍රමණිකයින්ගෙන් අපට නිදහස ලැබී වසර 70ක් ගතවී තිබේ. 1948 පෙබරවාරි මස 4 වැනි දින නිදහස ලැබූ අප රටේ මුල්ම කතානාද චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නේ එයට පෙර 1947 ජනවාරි 21 දාය. ඒ අනුව අපේ සිනමාවේ වයස අවුරුදු 71කි. සාමාන්‍ය මිනිස් ජීවිත කාලය හා සැසඳීමේ දී වසර 71ක් යනු දිගුකාලයකි. ජීවිතයේ වැඩිහිටි කාල පරිච්ඡේදයකි. එහෙත් සිංහල සිනමාවට වසර 71ක් ගතවී ඇතත් එය වර්තමානයේ දී පසුකරන්නේ ළදරු අවධියකැයි ඇතැම් තතුදත් සිනමා විචාරකයින්ගේ මතය වී තිබේ.

එසේ වන්නට හේතු කවරේදැයි සොයා බැලීම සිනමා හිතකාමී කාගේත් වගකීමක් වන අතර ඒවා නිසි ලෙස අවබෝධ කර ඊට අවැසි පිළියම් යෙදීම අදාළ පාර්ශවයින්ගේ වගකීමක් බව අපි සිතමු.

අපේ චිත්‍රපට සංරක්ෂණය කළයුතු බවට දැවැන්ත හඬක් නැඟුවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. ඒ මීට වසර 50කට පෙරාතුවය. ඒත් සිහිනය අදටත් සැබෑවී නැතිවීම කෙතරම් ඛේදවාචයක්ද? එහෙත් චිත්‍රපට සංරක්ෂණය මුවාවෙන් සිනමාවේදීන් හා කර්මාන්තයේ නියැලෙන්නන් අතීතයේදී මුලාවූ වාර ගණනද අමතක කළහැකිද?

ඩිජිටල්කරණය ප්‍රමාදවීම හේතුවෙන්ද අපේ සිනමාවේ ප්‍රගතියට සිදුවූ බාධා එමටය. ඩිජිටල්කරණය මුවාවෙන් ද රැවටුණු අපේ සිනමා ශිල්පීන් ගැන ඇතිවන්නේ අනුකම්පාවක්. සංවේදී හිත් ඇත්තන්ට එවැනි හැඟීම් පහළවීම සාධාරණය. එහෙත් දේශපාලන අතකොලු බවට පත්වී 1983 කළු ජූලියේ දුමාරයෙන් සිංහල සිනමාවට සිදුකළ බලවත් අලාභය සාධාරණීකරණය කළ හැක්කේ කාටද?

1970 දශකය සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස බොහෝ පිරිස් හඳුන්වති. එය සැබවින්ම ස්වර්ණමය යුගයකි. 1972 දී ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරීමෙන් අනතුරුව අපේ සිනමාවට සුභවාදී කාලයක් උදාවනු ඇතැයි ඒ සඳහා ඇපකැපවූ බොහෝ පිරිස් බලාපොරොත්තු වූහ. සිනමාවට සැබවින්ම ප්‍රබෝධයක් ලැබුණි. ජාතික චිත්‍රපට සංස්ථාවේ මුල්ම සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් හා කණ්ඩායම විසින් අපේ සිනමාව නිසි පථයකට ගෙනෙන්නට ගත් බොහෝ තීරණ සාර්ථක විය.

එදා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවානම් ඒ සඳහා බලපත්‍රයක් ලබාගත යුතුව තිබුණු අතර එය ලබාගැනීමට සපුරාලිය සුදුසුකම් රැසක්ද තිබුණි. තම වෘත්තිය වෙනුවෙන් ඔවුහු කැපවීමෙන් වැඩ කළහ. අද ඕනෑම කෙනෙකුට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ හැකිය. කිසිදු තහංචියක් නැත. එයත් හරියට දේශපාලනයට අවතීර්ණ වනවාට සමානය.

1972 – 1977 කාලය තුළ හොඳ තිරනාටක සඳහා 100%ක ණය පහසුකම් ලබාදුන් අතර තිරනාටක බැංකුවක්ද චිත්‍රපට සංස්ථාව ආරම්භ කළේය. පළඟැටියෝ, හඳයා, සොල්දාදු උන්නැහේ, තුන්වැනි සාමය වැනි චිත්‍රපට බිහිවූයේ එම 100% ණය පහසුකම් නිසාය.

එහෙත් 1977න් පසු සිදුවූ දේශපාලන වෙනස්වීම් සිංහල සිනමාවටත් බලපෑ අයුරු කෙටියෙන් හෝ විස්තර කිරීම උචිතයැයි සිතමු.

එහෙත් ජාතික චිත්‍රපට සංස්ථාවක අවශ්‍යතාවය ගැන සිනමා කර්මාන්තයේ නියැලෙන්නත් ප්‍රබල හඬක් නැඟූ හේතූන්ද සලකා බැලිය යුතුය.

සිංහල සිනමා ඉතිහාසය කොටස් දෙකකට බෙදා වෙන්කළයුතු බව සිනමා හිතකාමීන් දන්නා කරුණකි. 1972 ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවීම පෙර යුගය හා 1972 චිත්‍රපට සංස්ථාව පිහිටුවීමෙන් පසු යුගය ප්‍රධාන වශයෙන් අපේ අවධානයට යොමුවේ.

1972ට පෙර යුගයේ චිත්‍රපට ගෙන්වීම, බෙදාහැරීම හා ප්‍රදර්ශනය චිත්‍රපට සමාගම් තුනක ඒකාධිකාරිත්වයෙන් සිදුවිය. විදෙස් චිත්‍රපට අසීමිත ලෙස ගෙන්වීම නිසා සිංහල චිත්‍රපට සඳහා ලැබූ තිරකාලය සීමා සහිත විය. විශේෂයෙන්ම ඉන්දියාවෙන් ගෙන්වූ දමිළ හා හින්දි චිත්‍රපට අපේ සිනමා කර්මාන්තයට බලවත් පහරක් එල්ල කළේය. මෙම සමාගම් තුන සිංහල චිත්‍රපට ද නිෂ්පාදනය කළ අතර ඒවාට විශේෂ වරප්‍රසාද ලැබුණත් ස්වාධීන සිංහල චිත්‍රපට නිෂ්පාදකවරුන්ට අසාධාරණයක් සිදුවූයැයි ඔවුහූ මැසිවිලි නැඟූහ.

ඔවුන් මුහුණ දුන් ගැටලු පසුකලෙක දේශපාලන මුහුණුවරක් ද ගත්තේය. 

1968 දී ඩී.බී. නිහාල්සිංහ ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් ස්වදේශීය චිත්‍රපට ආරක්ෂක මණ්ඩලයක් පිහිටුවන ලදී. මෙමගින් ඉන්දීය චිත්‍රපට මෙරටට අසීමිත ලෙස ගෙන්වීම වළක්වාලීමට අදාළ පාර්ශවයන්ට ඉල්ලීම් හා යෝජනා ඉදිරිපත් කෙරුණි. දේශීය චිත්‍රපට සඳහා 10% විනෝද බද්දක් ද, විදෙස් චිත්‍රපට සඳහා 50%ක විනෝද බද්දක් අය කළයුතු බව ඔවුන්ගේ එක් යෝජනාවක් විය.

ලංකාවේ සෑම සිනමාහලකම සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළයුතු බවටත් ඔවුහු ඉල්ලා සිටියහ. ඒත් ඉන්දීය චිත්‍රපට ගෙන්වීමට විරුද්ධ වූ ඇතැම් අධ්‍යක්ෂකවරු එම චිත්‍රපටවල කතා හා ගීත අනුකරණය කරන්නටත් පැකිලුණේ නැති බව දන්නෝ දනිති.

කෙසේ වෙතත්, ජාතික චිත්‍රපට සංස්ථාවක් ස්ථාපිත කරන බවට පොරොන්දු වූ සමඟි පෙරමුණ රජය 1970 දී බලයට පත්වීමත් සමඟ, විදෙස් චිත්‍රපට ගෙන්වීම සීමා විය. 1972 දී ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවන ලදී. ඉන් අනතුරුව චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රියාවලිය සංස්ථාව යටතට පත්විය.

එහෙත් 1977න් පසු රටේ විවෘත ආර්ථික ප්‍රතිපත්තීන් හඳුන්වාදීමත් සමඟ තත්ත්වය වෙනස් මුහුණුවරක් ගත් අතර ඊටත් කලින් තිබූ සංවෘත ආර්ථික ක්‍රමය යටතේ ගොඩනැඟුණු ජාතික චිත්‍රපට සංස්ථාවේ ඇතැම් පනත් වලංගු නොවන තත්ත්වයට පත්විය. අලුත් අර්බුදයක මූලික අඩිතාලම ඇතිවන්නේ එම තත්ත්වයත් සමඟය. චිත්‍රපට සංස්ථාවට සභාපතිවරු ගණනාවක් පත්වුණු අතර එයින් අතලොස්සක් හැරෙන්නට අපේ සිනමාවේ අර්බුද ගැන දැනුමක් හෝ යථාර්ථය තේරුම් ගතහැකි අය නොසිටීම මේ තත්ත්වය තවත් උග්‍රකරන්නට හේතුවිය. වර්තමානයේ තත්ත්වයද එසේමය. දශක කීපයකට පෙර අපේ සිනමාවේ ප්‍රගමනය සඳහා අදහස් ඉදිරිපත් කිරීමට කමිටු පත්කළත් ඒවායේ වාර්තා පිට වුණත්, දිගුකාලීන සාකච්ඡා පැවැත්වුවත් සිනමාවට සම්බන්ධ සුවිශේෂී පත්වීම් සිදුකළත් මේ තත්ත්වය වෙනස් නොවීය.

විවෘත ආර්ථික ක්‍රමය හා සංවෘත ආර්ථික ක්‍රමය නිසා සිදුවූ ඝට්ටනය නිසා අපේ සිනමාව කඩාවැටුණු බව තවත් පිරිසකගේ මතය වී තිබේ. 70 දශකයේ චිත්‍රපටයක් තියා සබන් කෑල්ලක්වත් මෙරටට ආනයනය කළ නොහැකිව තිබූ කාලයක අපේ සිනමා රසිකයින්ට තිබුණේ සිංහල චිත්‍රපට නැරඹීමේ අවස්ථාව පමණි. වර්තමානයේදී මෙන් එදා රූපවාහිනිය තිබුණේ ද නැත. රසවින්දනය සඳහා තිබුණු එකම මාධ්‍ය සිනමාව පමණි. සිංහල සිනමාව පමණි. එවකට සිටි සිනමාකරුවෝ චිත්‍රපට හැදූහ. හොඳ චිත්‍රපට ද ඒ අතර විය. සිනමාශාලාවලට සෙනඟ ඇදී ආහ. එහෙත් අපේ සිනමාවේදීන් තාක්ෂණය අතින් සිංහල චිත්‍රපට ඉහළ තලයකට නංවාලන්නට උත්සුක වූයේ නැත. ඉන්දියාවේ 1960 ගණන්වලත් වර්ණ චිත්‍රපට තිබූ අතර අපේ 70 දශකයේ ස්වර්ණමය යුගයේ ද වර්ණ සිංහල චිත්‍රපට තිබුණේ නැත.
1977 අපේ රට හා සිනමාලෝලීන් ලෝකයට විවෘත වනවාත් සමඟ ඔවුන්ට ලෝක සිනමාවේ තාක්ෂණ ප්‍රගතිය ගැන අවබෝධ විය. අප සිටින්නේ කොතනකදැයි වැටහෙන්නට පටන්ගත්හ. ඒ හා සමඟම රූපවාහිනිය ද අපේ රට ආක්‍රමණය කළේය. ඒ සියල්ල මධ්‍යයේ සිදුවූ 87 ජූලි කලබලය හේතුවෙන් අපේ සිනමාශාලා රැසක් වගේම ප්‍රධාන චිත්‍රාගාර දෙකද ගිනිබත් විය. එම චිත්‍රාගාරවල තිබූ සිංහල චිත්‍රපට සිය ගණනාවක් ද ඒ සමඟම අලුවී ගියේය. දශක ගණනාවක් පුරා ඉල්ලා සිටි සිනමා සංරක්ෂණාගාරයක් අපට තිබුණා නම් අපේ චිත්‍රපට බේරාගන්නට ඉඩ තිබුණි. ඒත් අවසනාවකට අදටත් අපට චිත්‍රපට සංරක්ෂණාගාරයක් නැත. 

සිනමා කර්මාන්තයක් රැකෙන්නට නම් සිනමා ලෝලීන් චිත්‍රපට ශාලා වෙත ඇදී ආයුතුය. ඒ සඳහා ඔවුන් ආකර්ෂණය කළහැකි චිත්‍රපට තැබිය යුතුය. තම තමන්ගේ පෞද්ගලික ආශාවන් හා න්‍යාය පත්‍රයන් සපුරා ගැනීමට හදන චිත්‍රපට බලන්න සිනමා ලෝලීන් මුදල් ගෙවා චිත්‍රපට ශාලාවලට එන්නේ නැත. අද ඔවුන් කැමති රසවින්දනාත්මක දේවල් නරඹන්නට විකල්ප රාශියක් තිබේ. සෙනඟ ශාලාවලට ඇදගත හැකි චිත්‍රපට නිර්මාණ කිරීම සිනමාවේ නියැලී සිටින්නන්ගේ වගකීමක් නොවන්නේද? හැම දේකටම රජයට දොස් පවරනවාට වඩා හොඳ නිර්මාණයක් කර ඒවා ජනතා ආකර්ෂණයට ලක් කිරීමයි කළ යුතුව තිබෙන්නේ. මෙය කර්මාන්තයක් නිසා වාණිජ අතින් ස්ථාවර විය යුතුය. හොඳ වාණිජ චිත්‍රපටවලට තවමත් හොඳ ඉල්ලුමක් තිබෙන බව රහසක් නොවේ.

හොඳ වාණිජ චිත්‍රපට හැදීමට එදා හොඳ නිෂ්පාදකවරු සිටියත් ඔවුන් අද සිනමාවෙන් දුරස් වී සිටිති. හොඳ නිෂ්පාදකවරු යළි සිනමා කේෂ්ත්‍රයට ගෙන්වා හොඳ නිර්මාණ කර ප්‍රේක්ෂකයා පිනවීම සිනමාවේදීන්ගේ වගකීමය.

සිංහල සිනමාවේ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අයුතු ලාබ ප්‍රයෝජන ගත් අයද සිටින බව මතක් කළ යුතුයි. චිත්‍රපට සංරක්ෂණය කිරීමේ මුවාවෙන් අසරණ වූ සිනමාවේදීන්ගේ තුට්ටු දෙකට ඔවුන්ගේ චිත්‍රපට මිලදී ගෙන ඒවා ඩී.වී.ඩී. තැටි ලෙස අලෙවි කර, රූපවාහිනී ප්‍රදර්ශනයට යොමුකොට කෝටි ගණන් මුදල් උපයන කූට ව්‍යාපාරිකයින්ද සිටින බව අමතක කළ නොහැකි. එවැනි චිත්‍රපට බොහෝමයක් අයිති කර ගෙන තිබෙන්නේ නීතිමය වශයෙන් නොවේ. බුද්ධිමය දේපල පනත් නිසි ලෙස ක්‍රියාත්මක වෙනවානම් මෙවැනි මාෆියාවන්ගෙන් අපේ සිනමාව බේරාගත හැක.

ඒත් අපේ සිනමාව බේරා ගැනීමට, අපේ චිත්‍රපට රුකගැනීමට වුවමනාවක්, කැක්කුමක් තිබෙන්නේ කාටද?

♦ රමේෂ් උවයිස්

අපි තවම කෝපි කාලේ
ප්‍රවීණ විත්‍රපට අධ්‍යක්ෂ -ධර්මසිරි බණ්ඩාරනායක

චිත්‍රපට සංරක්ෂණය ගැන කතා කරද්දී ඉස්සර සිනමාහල්වල තිරගත වුණු චිත්‍රපටවල පටිය අද වෙද්දී විද්‍යාත්මකව දියුණු වෙලා තියෙනවා. ඒ කාලේ සංරක්ෂණය කළේ පටියයි. අද ඒක නැති වෙලා ගිහින්. වර්තමානයේදී ඩිජිටල් තාක්ෂණික නිෂ්පාදනය කරනු ලබන තැටි ඇවිත් තියෙනවා. චිත්‍රපට සංරක්ෂණය කළ යුතු වන්නේ අර පටි ක්‍රමයට නැවත පටි ගැසීම නෙවේ. අද ඒ ක්‍රමය සිනමා කර්මාන්තයෙන් නැතිවෙලා යනවා. චිත්‍රපට ශාලාවල තියෙන්නේ ප්‍රොජෙක්ටර් නෙමේ. අද තියෙන්නේ ඩිජිටල් තාක්ෂණයට අනුකූලව චිත්‍රපට ප්‍රදර්ශනය කරන යන්ත්‍ර.

ඉස්සර අපි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරනවා කිව්වම චිත්‍රපට පිටපත් ඒ අවශ්‍ය ප්‍රමාණයටම නිෂ්පාදනය කරනවා. මගේ චිත්‍රපට ප්‍රදර්ශනය වුණු කාලේ මම චිත්‍රපට පිටපත් දොළහක් පටිගත කළා. චිත්‍රපට පිටපත් මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවය නැතිවෙලා ගියාම අවශ්‍ය වන්නේ ඩිජිටල් තාක්ෂණයට අනුකූලව පිටපතක් මුද්‍රණය කිරීමයි. ඒකට පටියට තරම් වැඩි වියදමක් යන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන ප්‍රොජෙක්ටරය ගෙන්වා ගත්තට පස්සේ අපිට මෙය ඉතාම අඩු වියදමකින් කොපි 60ක් විතර මුද්‍රණය කරගන්න පුළුවන්. ඒ ක්‍රමයට දැන් මේ සිනමා කර්මාන්තය මුහුණ දීලා තියෙනවා. ලෝකේ හැම රටක්ම ඒ තැනට අද ගිහින් තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ සමහර පළාත්වල තවමත් පටිය පෙන්වන ප්‍රොජෙක්ටරය තියෙනවා. නමුත් වැඩි වශයෙන් දැන් තියෙන්නේ ඩිජිටල් තාක්ෂණික උපකරණයි. සිනමාහල් සතු වියයුතු වන්නනේ ඒ උපකරණයි.