2017 ජනවාරි 14 වන සෙනසුරාදා

නකල්ස් කඳුයායේ සර් ජෝන්ගේ පෙම්බරිය

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

 

සර් ජෝන්ගේ බංගලාව (Sir John’s Bungalow) පිහිටලා තියෙන්නේ නකල්ස් කඳුවැටියේ නැගෙනහිර දෙසට වෙන්න වලාකුළු වනාන්තරයටත් ජල ධාරාවන්ටත් විවිධ ගස්මල් වර්ගවලටත් මැදිවුණු බොහොම සුන්දර පරිසරයකයි. බ්‍රිතාන්‍ය යුගයේදී ලග්ගල වතු සුපිරින්ටන්ඩන්ගේ බංගලාව වුණු මෙතැන පස්සෙ කාලෙකදී ලංකාවේ තුන්වැනි අගමැතිවරයා වුණු සර් ජෝන් කොතලාවලගේ ප්‍රියතම විවේකී ස්ථානයක් බවට පත්වුණා. මීට අවුරුදු තිහකට පමණ උඩදී මේ අවට ලග්ගල වතු යායේ තේ වගාව නතර කෙරුණා. අද වනවිට මේ ප්‍රදේශය නකල්ස් රක්ෂිතයට අයිති ප්‍රදේශයක්. 

කොහොම වුණත් අත්හැර දාපු වතුයාය මේ වෙද්දී ඇවිදින්න කැමැති ස්වභාව සෞන්දර්යය විඳින්න කැමැති අයට තෝතැන්නක්වෙලා. විශේෂයෙන්ම ජූනි ඉඳන් සැප්තැම්බර් වෙනකල් වියළි කාලයේදී වස්ගමුවේ අලි කෑම වතුර හොයාගෙන මේ වතුයාය පැත්තට එනවා. ඒ නිසා නකල්ස් කිට්ටුව අලි බලන්නත් මෙතැන හොඳ තැනක්. 

මේ වගේ සුන්දර පරිසරයක පිහිටලා තියෙන සර් ජෝන් බංගලාව ඒ පරිසරයටම ගැලපෙන විදිහට තමයි ඉදිවෙලා තියෙන්නෙ. කොටින්ම විදුලිය පවා ලබාගන්නේ සූර්ය පැනලවලිනුයි. පැරැණි යටත් විජිත යුගය සිහිගන්වන ගිනි උදුන වගේ සම්ප්‍රදායික යුරෝපීය ලක්ෂණ බොහෝමයක් මෙතැනදී දකින්න පුළුවන්. විශාල ඇඳන්, තේක්ක පොළොව වගේ වෙනස්ම අත්දැකීම් රැසක් මෙතැන තියෙනවා. 

මේ බංගලාව නිවාඩුවට විවේකයට කදිම නවාතැන්පොළක් වෙන්නේ එහි සිට දකින්න ලැබෙන කදිම භූමි දර්ශනය නිසාමයි. ඊසාන දිග තැන්න ප්‍රදේශයේ බොහොම අලංකාර භුමි දර්ශනයක් වැරෙන්ඩාවේ සිට විඳගන්නත් පුළුවන්. අක්කර පහක් පුරා විහිදුණු ගෙවත්තත් උදෑසන ඇවිද යාමකට බොහොම හොඳින් ගැළපෙනවා. 

මේ දේවල් වගේම නවීන පහසුකම් වුණත් සර් ජෝන් බංගලාවේ කාමරවල පවතිනවා. රූපවාහිනී පහසුකම් වගේම, DVD පහසුකම් පවා ඊට ඇතුළත්. තවත් විශේෂාංගයක් තමයි සර් ජෝන් බංගලාවේ පුස්තකාලය. බොහොම වටින සහ පැරැණි ශ්‍රී ලංකාව ගැන ලියැවුණු පොත් මේ පුස්තකාලයේ තිබෙනවා. කෑම ගැන කතා කළොත් දේශීය ආරට වගේම බටහිර පන්නයේ ආහාරත් මෙතැනදී රස විඳින්න පුළුවන්. 

♦ සනත් වීරසූරිය 
සේයා රූ - නීල් සිරිවීර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00