2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

මෙහෙමත් සතුන්

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

අපි ඒ කියන්නේ මිනිස්සුන්ගේ විද්‍යාත්මක නාමය විදිහට සැලකෙන්නේ හොමෝ සේපියන් සේපියන් කියන නමයි. හැබැයි හෝමෝ සේපියන් වෙන්න කලින්, හෝමෝ හැබැලිස්, හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ නියෙන්ඩතාලිසිස් වගේ යුග ගොඩක් මිනිස්සු පසුකළා කියලත් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. 

ඔය සමහර මිනිස්සු එක වර්ගයකට පස්සේ බිහිවෙච්ච වර්ගයක් වුණත් තවත් සමහර මිනිස්සු එකම කාලයකදී ලෝකේ විවිධ පැතිවල හිටියා කියලා තමයි පරිණාමවාදය ගැන කතාකරන කට්ටිය කියන්නෙ. කොහොමින් හරි අපි අද කතා කරන්න යන්නේ අප්‍රිකාවෙන් බිහිවෙච්ච හොමෝ සේපියනුයි, ඒ වෙද්දි යුරෝපෙට ආසන්න සෞම්‍ය කලාපයේ හිටපු නියැන්ඩතාලුයි අතර සිද්ධ වෙච්ච ගැටුම හින්දා මේ ලෝකෙට වෙලා තියෙන නස්පැත්තිය ගැනයි. 

මම නෙමේ විද්‍යාඥයෝ කියන විදිහට හෝමෝ සේපියන් තමයි මෙච්චර කල් හිටපු මානව වර්ගවලින් ආත්මාර්ථකාමීම මිනිස් ජාතිය. ඉරෙක්ටස්, හැබිලස් අය සේපියන්ලා තරම් ආත්මාර්ථකාමී වුණේ නැහැ. හැබැයි ඔය හැමදෙනෙක්ම අතරින් නියැන්ඩතාල් තමයි වැඩියෙන්ම හිත හොඳ මනුස්සයා. ඒ මනුස්සයා ජීවත් වෙච්ච දේශගුණයේ තිබ්බ සුවදායක බවත් හිත හොඳ වෙන්න හේතුවක් වෙන්ට ඇති. 

කොහොමින් කොහොමහරි අප්‍රිකාවෙන් එළියට ආපු සේපියන්ලට වැඩි කාලයක් යන්න කලින් නියැන්ඩතාල්ලව මුණගැහෙනවා. නියැන්ඩතාල්ට සේපියන් දැක්කම එච්චර ගාණක් නැතිවුණත් සේපියන්ලට ඒක දරාගන්න බැරිවෙනවා. සේපියන්ලා නියැන්ඩතාල්ලව මරණවා. මේක නූතන මානව විද්‍යාඥයෝ විශ්වාසය පළකරන එක කාරණයක්. 

ඉතින් තවත් ගොඩක් කල් මේ මිහිපිට ජීවත් වෙන්න හිටපු නියැන්ඩතාල් මිහිපිටින් වඳවෙලා යනවා. හොමෝ සේපියන් මුළු ලෝකෙම ආක්‍රමණය කරනවා. අද පරිසරයට, සත්තුන්ට මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවෙන වැරදි ගැන අපි පැල් බැඳගෙන කතා කළත් අපි මුලින්ම ආක්‍රමණය කළේ මිනිස් වර්ගයාම බව අමතක නොකළ යුතු දෙයක්. 

ඉතින් හොමෝ සේපියන් කියන්නේ උප්පත්තියෙන්ම, ජානවලින්ම, ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමී ගති පැවතුම්වලින් යුතු සතෙක්. ඔව්. ඒ කියන්නේ අපි ගැන තමා. අපි හරිම ආත්මාර්ථකාමී ඇවැතුම් පැවතුම් තියෙන සත්තු ජාතියක්. ඒ ගැන දැනගන්න වැඩිදුර යන්න ඕනෙ නෑ. හැන්දෑවට නිව්ස් බලන්න. ටීවි එකේ පත්තරේ රහ කරලා කියන මරණ දිහා බලන්න. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, හොරකම් වගේ හැමදෙයක්ම සිද්ධ වෙන්නේ ඔය ආත්මාර්ථකාමීත්වය හින්දම තමා. 
අපි පරාර්ථකාමීත්වය ගැන, ත්‍යාගශීලීත්වය ගැන ලොකු ලොකු පඬි වදන් දුන්නත් ඇත්තටම අපේ හිත් හරිම ආත්මාර්ථකාමීයි. අපි කෙනෙක්ට තෑග්ගක් දුන්නත් ඒ දෙන්නේ අවංක ත්‍යාගශීලී බවකට වඩා ඒකෙන් යමක් පෙරළා බලාපොරොත්තුවෙනුයි. කාරිය කෙරෙන තුරු කාගෙත් රුවටිල්ල කියලා කියන්නෙත් ඕකටම තමයි. 

ඔය අතරේ ආත්ම තෘප්තිය කියන වේශයෙනුත් ආත්මාර්ථකාමීත්වය පෙනී ඉන්නවා. අම්මලා තාත්තලා විදිහට අපි දරුවන්ට සලකනවා, දරුවෝ විදිහට අපි අම්මලා තාත්තලාට සලකනවා. ඉතින් කොහෙද එතන ආත්මාර්ථකාමීත්වයක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තටම හිතලා බැලුවොත් එතැනත් තියෙන්නේ ආත්ම තෘප්තිය කියන ආත්මාර්ථකාමීත්වයේම ප්‍රභේදයක් තමයි.

අපි කතාවට කියන්නෙ ආදරය කියන්නේ හරිම උදාර හැඟීමක්. පරමයි පිවිතුරුයි කියලයි. ඒත් ඒ ඇතුළේ ගබඩාවෙලා තියෙන ආත්මාර්ථකාමීත්වය කොච්චරක් ද කියලා කවියෝ නොදන්නවා වුණාට ආදරවන්තයෝ දන්නවා. 

ඉතින් ඇත්ත පිළිගමු. අපි පට්ටම ආත්මාර්ථකාමී සත්තු ජාතියක්. මේ ලෝකේ ඉන්න අනිත් සතුන්ගෙ වගේම අපේම වර්ගයාගේත් පැවැත්මට මහ තර්ජනයක් වෙච්ච ජරා සත්තු ජාතියක්. 

ඒ අපේ ජාන. හැබැයි ඔය ජාන වරින් වර ඉස්මතු වුණත් පුළුවන් තරම් කාලයක් යටපත් කරගන්න එක තම තමන්ගෙ වැඩක්. 

- ජා

 

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00