2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

අපි හැමදාම බොන්නේ ලංකාවේ තේ

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

හිටපු ඉරාන තානාපති ආචාර්ය අබ්දුල් රාසා ෆරාජි රාඩ්    

පාත්ෆයින්ඩර් පදනම ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේත්, ඉරාන විදේශ සබඳතා පිළිබඳ උපායමාර්ගික කවුන්සිලයේත් සහයෝගීතාවයෙන් 21 වැනි සියවසේදී ඉන්දියානු සාගරය සහ ඉරානය නමින් විශේෂ වට මේස සාකච්ඡාවක් පසුගියදා සංවිධානය කර තිබුණි. කොළඹදී පැවැති මෙම විශේෂ සාකච්ඡාවට ඉරානයේ විදේශ සබඳතා පිළිබඳ උපායමාර්ගික කවුන්සිලයේ අධ්‍යක්ෂ ජෙනරාල් මෙන්ම මෙරට හිටපු ඉරාන තානාපතිවරයකු ද වන ආචාර්ය අබ්දුල් රාසා ෆරාජි රාඩ් මහතා එක්ව සිටියේය. එරට විදේශ සබඳතා ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයකු වන ඔහු සමඟ ඉරාන ශ්‍රී ලංකා සබඳතා සහ දෙරට අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ විශේෂ සාකච්ඡාවකට එක්වීමට දේශයට හැකිවිය. 

ඉරාන ශ්‍රී ලංකා සබඳතා සියවස් ගණනාවක් අතීතයට දිවයන දිගු සම්බන්ධයක්. ඉරානය පර්සියාව නමින් හැඳින්වූ සමය දක්වා මේ සබඳතා දිව යනවා. වර්තමානයේදී ඉරාන ශ්‍රී ලංකා සබඳතා පවතින මට්ටම පිළිබඳ ඔබේ අදහස කුමක්ද? 

ඔබ කියූ ආකාරයටම අපේ රටවල් දෙක අතර ඉතාමත් ඓතිහාසික සබඳතාවයක් පවතිනවා. මීට අවුරැදු දහස් ගාණකට පෙර ඉරාන වෙළෙඳුන් ලංකාවටත්, මාලදිවයිනටත් මුහුදු මාර්ගයෙන් පැමිණ තිබෙනවා. වෙනකක් තබා පර්සියානු භාෂාවේත් සිංහල භාෂාවේත් සමාන වචන පවා තිබෙනවා. ඉතින් මේ රටවල් දෙක අතර සම්බන්ධය දිහා බැලුවම කාලයෙන් කාලයට යම් උස් පහත් වීමක් දකින්න පුළුවන්. නමුත් ඒ උස් පහත්වීම්වලට හේතු වී තිබෙන්නේ අපේ රටවල්වල අභ්‍යන්තර කාරණාවලට වඩා පිටස්තර කාරණායි. උදාහරණයක් විදිහට ඉරානයට එරෙහිව සම්බාධක පනවන ලද අවස්ථාව වගේ යම් යම් බාහිර බලපෑම් මත අපේ සම්බන්ධතාවයේත් වෙනස්කම් ඇතිවුණා. ඒ කොහොම වුණත් ඉරාන ජනතාව එදා සිට අද දක්වා ලංකාව තමන්ගේ මිතුරැ රටක් විදිහටයි සලකන්නෙ. 

නමුත් ඉරානයේත් ශ්‍රී ලංකාවේත් පැවැති ආණ්ඩුවල නායකයන් ඉතා සමීපයෙන් ගනුදෙනු කළා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් මොහොමඩ් අහමදිනෙජාඩ් ඉරානයේ හිටපු ජනාධිපතිවරයාත් බොහොම දැඩි මිත්‍රත්වයක් ඇති කරගත්තා. ඉතින් රටවල් දෙකේ ඒ මොහොතේ පවතින ආණ්ඩුව මතත් සම්බන්ධතාවයේ ශක්තිය තීරණය වෙනවා නේද? 

මම එහෙම හිතන්නේ නැහැ. ආණ්ඩු මාරුවීමෙන් වෙනස් වන මිත්‍රත්වයක් නෙමේ අපි අතර තියෙන්නෙ. පහුගිය කාලේ අපේ සම්බන්ධතාවය දුරස් වුණා නම් ඒකට හේතුව සම්බාධක පැනවීමයි. රටවල් දෙකේම බැංකු පද්ධතියට යම් යම් සීමාවන් පනවා තිබුණා. මීට අවුරුදු තිහකට පෙර මම ලංකාවේ ඉරාන තානාපතිවරයා ලෙස සේවය කළා. ඒ කාලයේදීත් අපේ රටවල් දෙක අතර බොහොම කිට්ටු සම්බන්ධතාවයක් තිබුණා. ඒ නිසා ආණ්ඩු මාරු වූ පළියට අපේ මිත්‍රත්වයේ වෙනස්කම් සිදුවන්නේ නැහැ. 

ඉරානය තමයි ලංකාවේ ප්‍රධානම තේ ගැනුම්කරුවා. ලංකාවේ තේවලට මේ තරම් ලොකු බැඳීමක් තියෙන්නේ කොහොමද? 

අපේ රටවල් දෙකේ ආර්ථික සම්බන්ධතාවය ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ තේ සහ ඉරානයේ ඛනිජ තෙල් මතයි. ඉරානයේ ජනතාව අතර ලංකාවේ තේ ගොඩක් ජනප්‍රියයි. එයාලා ලංකාවේ තේ හඳුන්වන්නේ සෙයිලාන් ටී කියලයි. අපේ ජනතාවට කෙන්යාවෙන් හෝ වෙන රටකින් ගෙන්වන තේ බීලා පුරැදු නැහැ. එයාල එදා ඉඳන්ම හුරු ලංකාවේ තේ රසයට තමයි. මේ වාතාවරණය රටවල් දෙක අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරන්න අපි යොදාගත යුතුයි. 

ශ්‍රී ලංකාව මෑතකාලීනව සංචාරක කර්මාන්තය අතින් සෑහෙන දියුණුවක් අත්කරගෙන තිබෙනවා. නමුත් මැදපෙරදිගින් එන සංචාරකයන්ගෙන් බහුතරය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණෙන්නන්. ඇයි ඉරාන සංචාරකයන් ලංකාවට එන්නෙ නැත්තෙ? 

ගිය අවුරුද්දේදි විතරක් ඉරාන ජාතිකයෝ මිලියන 09ක් සංචාරකයන් විදිහට වෙනත් රටවල ඇවිදින්න ගියා. ඇත්තටම එයින් සැලකිය යුතු පිරිසක් ලංකාවට ආකර්ෂණය කරගැනීමේ හැකියාව තිබෙනවා. ඉරාන ජාතිකයෝ සාමාන්‍යයෙන් උණුසුම් දේශගුණයට, මුහුදට, වනාන්තර බහුල ප්‍රදේශවලට කැමතියි. ඔය ලක්ෂණ සියල්ල ලංකාවේ තිබෙනවා. නමුත් ඉරාන ජාතිකයෝ අතර ලංකාව ගැන දැනුම්වත් වෙලා ඉන්නෙ බොහොම ටික දෙනයි. ඒගොල්ලොත් හිතන්නෙ ලංකාව කියන්නේ තවත් පසුගාමී අප්‍රිකානු රටක් වගේ තැනක් කියලයි. ලංකාව මෙච්චර ලස්සන රටක් කියලා ඒ ගොල්ලො දන්නෙ නෑ. අඩුම තරමේ එයාලා හැම පැයකට වතාවක්ම රස කර කර බොන සෙයිලාන් ටී පවා එන්නේ ශ්‍රී ලංකාවෙන් කියලා එයාලා දන්නෙ නෑ. 

ඉරාන සංචාරකයෝ ආකර්ෂණය කරගන්න නම් අපි කුමක් කළ යුතුද? 

මෙහෙමයි. ලංකාව උණුසුම් රටක් නිසා යුරෝපයේ සීතල කාලෙට යුරෝපීය සංචාරකයෝ මෙහෙට ආකර්ෂණය කරගත යුතුයි කියලා ලංකාව හිතනවා. ඒත් යුරෝපයේ විතරක් නෙමේ සංචාරකයෝ ඉන්නේ. අපේ රටවලත් ඉන්නවා. එයාලට ඕනෙ වනාන්තර බලන්න. මුහුද බලන්න. ඉතින් ඒ ගැනත් ලංකාවේ සංචාරක කර්මාන්තය මෙහෙයවන පිරිස සළකා බැලිය යුතුයි. අනික් වැදගත්ම දේ තමයි ඉරානයත් ලංකාවත් අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කළ යුතුයි. ඉරානය තුළ ගුවන් තොටුපොළවල් රාශියක් තිබෙනවා. ඒ හැම ගුවන්තොටුපොළකින්ම පාහේ රුසියාවට, තුර්කියට සහ ඩුබායිවලට යන්න පුළුවන්. ඒ නිසා බොහෝ සංචාරකයෝ යන්නේ ඒ රටවලටයි. ලංකාවටත් ඍජු ගුවන් ගමන් තිබුණොත් ලංකාවටත් ඔවුන් අනිවාර්යෙන්ම ඒවි. එතැනදි ශ්‍රීලංකන් ගුවන් සේවය වගේම ඉරානයේ ඉන්න පෞද්ගලික ගුවන් සේවාවන්ටත් ලංකාවට එන්න පුළුවන්. 

තේ සහ සංචාරක කර්මාන්තය හැරුණුවිට ඉරාන සම්බන්ධතාවලින් ලංකාවට අත්කරගත හැකි වෙනත් වාසි මොනවාද? 

ඉරානය ඉදිකිරීම් කර්මාන්තයටත් ගොඩක් ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම වේලි ඉදිකිරීමේ තාක්ෂණයේ අපි ඉතාම ඉහළ තැනක ඉන්නවා. මේ තාක්ෂණය ලංකාවටත් ලබාගත හැකියි. ඒ වගේම විදුලිය නිෂ්පාදනය අතිනුත් ඉරානය ඉදිරියෙන් ඉන්න රටක්. අපි විදුලියෙන් ස්වයංපෝෂිතයි. ඒ දැනුමත් ඒ පළපුරුද්දත් ලංකාවට දෙන්න අපි සූදානම්. ඒ විතරක් නෙමේ. ඉරානය කියන්නේ මැදපෙරදිග කලාපය තුළ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදකයෙක්. සිරියාව, ඉරාකය, බෙලරුස් වැනි රටවලට අපේ කාර් අපනයනය කෙරෙනවා. ලංකාව ඇතුළේ මේ මෝටර් රථ එකළස් කිරීමේ කර්මාන්තශාලාවක් හදන්නත් අපිට පුළුවන්. 

ඉරාන ආධාර යටතේ ඉදිවුණු උමා ඔය ව්‍යාපෘතිය නිසා ලංකාවේ එක් ප්‍රදේශයක ජනතාව මහත් අසරණභාවයකට පත්ව සිටිනවා. මේ පිළිබඳ ඔබ දැනුම්වත් ද?

ඒ ගැන වැඩිදුර තොරතුරු කියන්න මම දන්නෙ නෑ. නමුත් පසුගිය කාලයේ ඉරානයට පැනවුණු සම්බාධක බොහෝ අංශවලට නරක විදිහට බලපෑවා. විශේෂයෙන්ම ඉදිකිරීම් කර්මාන්තයටත් එය බලපෑවා. කොහොමවුණත් මේ ප්‍රශ්නය විසඳන්න අපි බලාපොරොත්තු වෙනවා. 

වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුව විදේශ රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතිකරගැනීම සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වනවා. ඉරානය සහ ශ්‍රී ලංකාව අතර එවැනි ගිවිසුමක් ඇතිකරගැනීමේ ප්‍රායෝගික හැකියාවක් පවතිනවද? 

ඇයි බැරි? අනිවාර්යෙන්ම පුළුවන්. ඒ වගේ දේකින් රටවල් දෙකටම ගොඩක් වාසි ලැබේවි. හැබැයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මුලින්ම කළ යුත්තේ රටවල් දෙක අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමයි. ඉන්පසුව පියවරෙන් පියවර නිදහස් වෙළෙඳ ගිවිසුමක් දක්වා ගමන් කරන්න අපිට පුළුවන්. 

 රජිත ජාගොඩ ආරච්චි
සේයාරුව - සුමුදු හේවාපතිරණ