ස්වේත වර්ණ නිල ඇඳුම ඇයට කදිමය. සිය වෘත්තීයභාවයට ගැලපෙන්නට ගැට ගැසූ කොණ්ඩය අපූරුය. ඇගේ ගවුමේ පහළ කෙළවර දණහිසට තරමක් ඉහළින් අවසන්ය. සුදු පැහැති සපත්තු මේස් යුගල ඈට තවත් ලස්සනය. සියල්ල තුළින් ඇයගේ හැඩරුව මෙන්ම තළෙළු පැහැයද ඔප් නංවන්නීය. හෙදියක වන මේ යුවතිය දෙස වරක් නෙත ගැටුණු කෙනෙක් යළිත් හැරී බලනවා නිසැකය.
වයඹ පළාතේ ඈත පිටිසර ගමකින් කොළොම්පුරයට ආ මේ තරුණිය ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක හෙදියක් වශයෙන් සේවය කළාය. කාටත් හිතවත් මැයට මිතුරු මිතුරියන්ගෙන් අඩුවක් නොවීය. අලුතින් පැමිණි වෛද්‍යවරයෙක් මේ හෙදියට හිතවත් වූයේ පසුකලකය. ඒ මීට දෙවසරකට පමණ ඉහත 2016 වර්ෂය මුලදී පමණය.
ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලේ වෛද්‍ය සායන සඳහා තරුණ වෛද්‍යවරයෙක් පැමිණියේය. ඔහු නාරාහේන්පිට යුදහමුදා රෝහලේ කපිතාන් නිලයක් දරන වෛද්‍යවරයෙකි. ඔහු මෙහි පැමිණ තිබුණේ චැනල් සේවයෙන් අමතර ආදායමක් උපයන අරමුණෙනි.
පෙර කී රූමත් හෙදිය දුටුදා පටන් ඇය පිළිබඳ මේ වෛද්‍යවරයා උනන්දු වූවේය. ඒ බව යාන්තමින් මෙන් වැටහුණු හෙදිය පරිස්සම් වූවාය. වැඩි දිනක් ගෙවෙන්නට මත්තෙන් හෙදිය හා හිතවත් වන්නට සහ ඇය සමඟ ආදර සබඳතාවයක් ගොඩනගා ගන්නට යුදහමුදා වෛද්‍යවරයා සමත් විය. ආදර බස් තෙපලන සෑම මොහොතකම සිය පෙම්වතියට ඔහු කියා සිටියේ හැකි ඉක්මණින් ඇයව විවාහ කරගන්නා බවය. විවාහ විය යුතු වයසේ පසුවූ ඇයට පෙම්වතෙක් නොවූයෙන් ඈ සිය වෛද්‍ය පෙම්වතා ඉහ මුදුනින් විශ්වාස කළාය.
නිවාඩුවක් ලද විගස දෙන්නා එක්ව ඇවිදීමට සහ විවිධ තැන්වල තනිවන්නට මැලි නොවූහ. මේ අතර පැය ගණන් රාත්‍රී ගණන් දෙන්නා එක්ව හෝටල් කාමරවල ගතකර අවසන්ය. මෙසේ කල්ගත වෙමින් තිබියදී එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව නියෝජනය කරමින් සුඩාන් රාජ්‍ය වෙත පිටත්ව යාමට වෛද්‍යවරයා සිදුව තිබුණි.
වසරකට වැඩි කාලයක් සමීප ඇසුර පවත්වන සිය පෙම්වතා විවාහය කල්දමන කාරණාව කුමක්දැයි වරින්වර සිතට ආ තරුණිය පෙම්වතා පිළිබඳ අලුතින් සොයන්නට උනන්දු වූයේ ඔහු විදෙස් ගතව සිටියදීය. එහිදී හෙළිව තිබුණේ තම පෙම්වතා විවාහකයෙක් සහ දෙදරු පියෙක් වන බවය. මේ කරුණු අනාවරණය වීමත් සමඟ තැතිගත් හෙදිය තීරණය කළේ කපටි පෙම්වතාගෙන් ඉවත් වීමටය. පළමුව ඇය සිදුකළේ තම ජංගම දුරකතනය විසන්ධි කර සිය තොරතුරු පෙම්වතාට ආරංචි නොවන ලෙස සිටීමය.
කලබලයට පත් වෛද්‍යවරයාද හෙදි පෙම්වතිය පිළිබඳ සොයන්නට විය. ආරංචියක් නොවූ තැන ඉවසා සිට නිවාඩුව ලද විගස ලංකාවට පැමිණියේය. සිය අමතර සේවාස්ථානය වූ පෞද්ගලික රෝහලට කිහිපවතාවක් ආගිය වෛද්‍යවරයා බොහෝ කරුණු කාරණා පවසා හෙදිය සමඟින් යළිත් හිතවත් වූවේය. පසුව විවාහක බිරිය දික්කසාද කර ඇයව විවාහ කර ගන්නා බවට දිවුරමින් කීවේය.
යුද හමුදා වෛද්‍ය පෙම්වතා නැවත විශ්වාස කළ හෙදි පෙම්වතිය ඔහුගේ කතාවට රැවටුණාය. දිනක් හදිසියේම සූදානම් වූ වෛද්‍යවරයා පෙම්වතියට යෝජනා කර තිබුණේ නිට්ටඹුව ප්‍රදේශයට යා යුතු බවය. ඒ අනුව දෙදෙනා එම ප්‍රදේශයේ නිවෙසකට ගියහ. එහිදී තරුණිය වෛද්‍යවරයාට නොසෑහෙන්නට දොස් පැවරුවාය. අනතුරුව තනිවම ඇගේ නිවස බලා පිටත්ව යන්නට සූදානම් වූවාය. කාත් කවුරුත් නොසිටි පාළු නිවෙසක සිටි යුවළ කැටුව පැමිණි තවත් දෙදෙනෙක් ඒ මොහොතේ එහි සිටියහ. ඒ එක් අයෙක් යුද හමුදාවේ හිටපු කපිතාන්වරයෙකි. අනෙක් පුද්ගලයා ඔවුන් සමඟ පැමිණි රථයේ රියදුරාය. මේ තිදෙනා නිවසේ පහළ මාලයේ ගංජා සහ මත්පැන් පානය කරමින් සිටියදී තරුණිය ඉහළ මාලයට ගියාය. එහි කාමරයක සිට පිටස්තර අයකුට දුරකථන ඇමතුමක් ගනිමින් සිටි තරුණිය අසලට පැමිණි පෙම්වතා තරුණියට පහර දෙන්නට විය. පසුව ඇගේ ඇඳුම් බලහත්කාරයෙන් උනා දමා බරපතළ ලිංගික අතවරයක් කළේය.
එතෙකින් නොනැවතුණු වෛද්‍යවරයා සිය සගයන් දෙන්නා කැඳවා වරින්වර ඔහුගේ පෙම්වතියට ලිංගික අතවර කරන්නට උපදෙස් දුන්නේය. ඊට එරෙහි වූ තරුණියගේ කෑ ගැසීමට විරුද්ධව කපිතාන්වරයා තරුණියට පහර පිට පහර දුන්නේය. තොල, කට, නහය, ඇහිබැම ඉදිමී නහයෙන් කටින් ලේ ගලද්දී පාපතර පෙම්වතා ඇතුළු පිරිස තරුණියට බරපතළ ලිංගික අතවර සිදුකළහ. අවසානයේ ඇගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයෙන් රුධිරය පවා ගලන්නට විය. ඒ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ තරුණිය කුරුණෑගල ප්‍රදේශයේ පාළු නිවෙසකට රැගෙන ගොස් උල් පිහියක් පෙන්වා සිද්ධ වූ කිසිවක් කාටවත් නොකියන බවටත් එසේ වුවහොත් ඇගේ නංගි සහ අම්මා ඇය ඉදිරියේම මරා දමා පසුව ඇයත් මරා දමන බවටත් තර්ජනය කළහ.
යුද හමුදාවේ කපිතාන්වරයෙක් වූ වෛද්‍යවරයාට නේවාසිකාගාරයක් හිමිව තිබුණේ නුගේගොඩ කන්දවත්ත පාරේය. තට්ටු හතරක ගොඩනැගිල්ලක් වූ එහි ඔහුට අයත් කාමරයක් විය. පෙම්වතියට මරණීය තර්ජනය එල්ල කර තිබූ බැවින් ඔහුට එරෙහිව ඇය කිසිදු පියවරක් නොගත්තාය. එය ප්‍රයෝජනයට ගත් වෛද්‍යවරයා තරුණිය කැටුව ගියේ සිය නේවාසිකාගාරය වෙතය. එහි රාත්‍රියක් ගත කළ පිරිස අතරට හමුදාවේ කපිතාන්වරයෙක් සහ වෙනත් රියදුරුවරයෙක්ද එක්ව සිටියහ. ඔවුන් තිදෙනා එදිනත් ගංජා සමඟ මත්පැන් පානය කර පළමුව තරුණියට බරපතළ ලිංගික අතවර කරන්නට ඉදිරිපත්ව තිබුණේ වෛද්‍ය පෙම්වතාය. බරපතළ ආකාරයෙන් ලිංගික අතවරය සිදුකර පසුව ඔහු අණකර තිබුණේ සෙසු හිතවතුන් දෙදෙනාටත් තරුණියට ලිංගික අතවර සිදුකරන ලෙසය. ඔවුන් දෙන්නා සිදුකරන ලිංගික අතවර ඡායාරූප ගත කරන්නට සහ වීඩියෝ ගත කරන්නට වෛද්‍යවරයා කටයුතු කළේය.
මරණ බයට සියල්ල ඉවසා සිටි තරුණියට මේ වෛද්‍ය පෙම්වතාගෙන් ගැලවිල්ලක් නොවීය. පසු දිනෙකද ඔහු තරුණියට යෝජනා කර තිබුණේ මොරටුවට යාමට එන ලෙසය. සවස පිටත්ව ගිය යුවළ මොරටුවේ පිහිටි මහල් නිවාසයක් වෙත ගියහ. එහි සිටියේ යුද හමුදාවේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයෙක් වශයෙන් කටයුතු කරන අයෙකි. මහල් නිවාසයේ තිබූ ජල තටාකයෙන් දිය නාගත් පසුව සුපුරුදු ලෙසින් ගංජා සහ මත්පැන් පානය කළ වෛද්‍යවරයා සිය පෙම්වතියට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදුකළේය.
මේ අයුරින් ටික දිනක් ගතවෙද්දී හෙදියගේ ඥාතීහු ඇයට විවාහ යෝජනාවක් ගෙන ආහ. මේ බව සිය පෙම්වතාට දක්වා ඔහු ඉදිරියේ තරුණිය හඬා වැටුණාය. කිසිවක් මායිම් නොකළ වෛද්‍යවරයා ඒ අවස්ථාව මඟහැරියේය. දෙදෙනා අතර ගැටුම්ද ඇති වෙමින් තිබුණි.
කෙසේ හෝ හමුදා වෛද්‍ය කපිතාන්වරයා තරුණිය යළිත් වරක් මීගමුව ප්‍රදේශයේ හෝටලයක් වෙත කැඳවාගෙන ගොස් රාත්‍රිය ගත කරමින් ලිංගික අතවර කළේය. එදින ඔහු තරුණියගේ නිරුවත් ඡායාරෑප රැසක් ලබාගත් අතර පසුදිනෙක ඒවා හෙදිය සේවය කරන පෞද්ගලික රෝහලේ විද්‍යුත් තැපැල් ලිපිනයට මුදාහැර තිබුණි. රෝහලේ පරිගණක ක්‍රියාකාරිනිය මේ බව දැක කල්පනාකාරීව කටයුතු කළාය. ඇය මේ සම්බන්ධයෙන් හිතවත් හෙදිය හමුවී තොරතුරු දැන්වූවාය. මෙතෙක් කල් ඉවසා සිටි සියල්ල පලක් නොවූයෙන් තරුණ හෙදිය තීරණයක් ගත්තාය.
වහා පිටත් වූ ඇය නාරාහේන්පිට පොලිස්ථානය වෙත පැමිණියහ. මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් ප්‍රසන්න මහතා හමුවේ ඇය පැමිණිල්ල ඉදිරිපත් කළාය. පොලිසියේ උපදෙස් මත හෙදිය වෛද්‍ය පරීක්ෂාවකට යොමු කළාය. එහිදී අනාවරණ වී තිබුණේ ඇය බරපතළ ලිංගික අතවරයකට ලක්ව ඇති බවත් මාස තුනකට ඉහතදී සිදුකළ අතවරය නිසා සිදුවූ තුවාල තවමත් සුව නොවී පවතින බවත්ය.
මේ වනවිටත් සිද්ධියේ සැකකාර වෛද්‍ය කපිතාන්වරයා සමඟ තොරතුරු තාණ කපිතාන්වරයා හා තවත් හමුදා සාමාජිකයෙක් ඇතුළු සැකකරුවන් හතර දෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබ සිටිති. සැකකාර වෛද්‍යවරයාගේ නවාතැනේ තිබූ වාජීකරණ ඖෂධ, සැකසහිත ජංගම දුරකථනයක් සහ ගංජා මත්ද්‍රව්‍ය රැසක්ද පොලීසිය මගින් සොයාගෙන තිබුණි.
කොළඹ දිසා බාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණයෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා, සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් මහත්වරුන්ගේ උපදෙස් මත නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් ප්‍රසන්න, උ.පො. පරීක්ෂක ලලිත් පෙත්තතන්ත්‍රි, කාන්තා උප පොලිස් පරීක්ෂක ජානකී ද සිල්වා, පොලිස් කොස්තාපල්වරුන් වන 61287 සාලින්ද සහ 86735 සිසිර යන නිලධාරීහු වැඩිදුර විමර්ශන පවත්වති.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර