2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

චීන්නු හරිම විහිළුකාරයෝ

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකය ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේරාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරුය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනකු සමඟ කළ සංවාද සටහන් පෙළක දහවැන්නයි. මෙවර අපේ කතානායකයා වන්නේ ගාමිණී ආරියරත්න හේවා මහතාය. ඔහු චීන බසින් සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙන පළපුරුදු ගයිඩ් මහතෙකි. 

චීන හෙවත් මැන්ඩරින් බස ලොව ඇති අමාරුම භාෂාවලින් එකක් ලෙස සැලකේ. විවිධ උච්චාරණ ශෛලීන් සහිත වීම ඊට එක් හේතුවකි. සිංහල හෝ ඉංග්‍රීසි හෝ දෙමළ හෝ භාෂාවන්හි අකුරැ එකතු වී වචන සෑදුණ ද චීන බසේ එක් අකුරක් යනු එක් වචනයකි. එනිසාම චීන කතා කරන තැනැත්තා චීන උගත යුත්තේ සැබෑම ආයාසයකිනි. 

කොහොමද චීන කතා කරන්න පුරුදු වුණේ?

මට 79 අවුරැද්දෙදී චීනෙට යන්න ශිෂ්‍යත්වයක් හම්බවුණා. ඉතින් එහේ ඉද්දී තමා චීන කතා කරන්න පුරුදු වුණේ.

පසුගිය දිනවල අප සමඟ සංවාදයට පැමිණි ගයිඩ් මහත්වරුන්ගෙන් කිහිපදෙනෙක්ම තම කතාබහ අතර චීන සංචාරකයන් ගැන විශේෂයෙන් සඳහන් කළහ. ඒ අතරින් චීන ජාතිකයන්ගේ විනය ගැනත් කෑම මේසයේ දී ප්‍රකට වන ඔවුන්ගේ බඩජාරිකම ගැනත් ඔවුහු කරුණු කීහ. නමුත් චීන ජාතිකයන් සමඟම සිටින ආරියරත්න හේවා මහතාට ඔවුන් ගැන කීමට තිබුණේ නුගුණට වඩා යහගුණය. 

චීන ජාතිකයෝ ඇත්තටම ගොඩක් ගුණ යහපත්කමින් පිරුණු ජාතියක්. මම චීනෙ අවුරුදු හතක් හිටියා. අසූව දශකයේ දී චීන ජාතිකයෝ අදටත් වඩා මිත්‍රශීලීයි. දැන් කියලත් ලොකු වෙනසක් නෑ. එයාලා හරිම සුහදශීලීයි. අපි ඔක්කොම ආසියානුවෝ කියන හැඟීම එයාලගෙ හිතේ හරියට තියෙනවා.

ආරියරත්න හේවා මහතා තම සංචාරක මාර්ගෝපදේශන දිවිය ආරම්භ කරන්නේ තායිවාන ජාතිකයන්ගෙනි. මැන්ඩරින් කතා කරන තායිවානය අනූව දශකයේ දී තරමක් ධනයෙන් චීනයට වඩා සිටියේ ඉදිරියෙනි. එනිසාම සෙසු චීන ජාතිකයන්ට වඩා තායිවාන ජාතිකයෝ රට රටවල සැරිසරන්නට යොමුව උන්හ. 

චීන ජාතිකයෝ හරි විහිළුකාරයෝ. මම විහිළු කරන්න ගත්තම ඒගොල්ලොත් විහිළු කරන්න ගන්නවා. දවස ගෙවෙනවා තේරෙන්නෙ නෑ. එක පාරක් මට මුණගැහුණු චීන ජාතික පවුලක් හිටියා. ඒ පවුලේ මහත්තයා තරම් විහිළුකාරයෙක් මට ජීවිතේටම හම්බවෙලා නෑ.

මාඕ සේතුංගේ ප්‍රධානත්වයෙන් චීන විප්ලවය සිදුවී අද අප දකින මහජන චීන සමූහාණ්ඩුව නිර්මාණය විය. කොමියුනිස්ට්වාදයට බරවූ මහජන චීනය පිළිගන්නට ලොව බොහෝ රටවල් මැලිවෙද්දී ශ්‍රී ලංකාව මහජන චීනයට මිත්‍රත්වයේ දෑත් දිගුකරන්නට මොහොතකදු හෝ පමා නොවීය. විප්ලවයෙන් පසු බිහිවුණු අලුත් චීනය පිළිගත් ලොව මුල්ම රටවල් කිහිපය අතුරින් එකක් වීම නිසා ලංකාවට චීන ජාතිකයන්ගෙන් එදා මෙන්ම අදත් හිමිවන්නේ විශාල ගෞරවයකි. 

අද ඉන්න තරුණ කට්ටිය ගොඩක් දෙනෙක් ඉතිහාසය දන්නෙ නෑ. ඒත් ලංකාවයි චීනෙයි අතර මිත්‍රත්වය ගැන දන්න අය අතරින් පතර මුණගැහෙනවා. දන්නෙ නැති අයට මම ඒ ගැන කියලා දෙනවා. ඉතින් ඒ අය අපේ රට ගැන කතා කරන්නේ ගොඩක් ලොකු ගෞරවයකින්. ගයිඩ් කෙනෙක් විදිහට මටත් මගේ රට ගැන ලොකු ආඩම්බරයක් එවේලෙට හිතට දැනෙනවා. වයසක අයට බණ්ඩාරනායක මැතිනිය එහෙම තාමත් මතකයි.

යුරෝපීය ජාතිකයන් ලංකාවේ මුහුදු වෙරළට ආශා කරද්දී චීන ජාතිකයන්ගේ වැඩිම ඇල්මක් ඇත්තේ සීගිරිය, දඹුල්ල, දළදා මාලිගාව, ගාල්ල කොටුව වැනි සංස්කෘතික වැදගත්කමක් ඇති ස්ථාන නැරඹීමටය. එයිනිදු දඹුල්ල ගැන අපූරු විස්තර රැසක් මේ කතාබහේ දී අසන්නට ලැබිණ. 

දඹුල්ල යනු ලෙන් විහාර තරමටම රිලවුන්ට ප්‍රසිද්ධ ස්ථානයකි. දඹුලු ගලට යන අතරමඟදී මුණගැසෙන රිලවුන් ගණන ගණින්ට බැරි තරම් විශාලය. සංචාරකයන්ට රිලවුන් තරමට රිලවුන්ට සංචාරකයන් ද හුරුය. උන්ට ද දිනපතා තම වාසභූමිය කරා ඇදෙන මේ සුදු හමෙන් යුත් අමුතු මිනිසුන් දැන් සුපුරැදු දර්ශනයකි. 

අපි දඹුල්ලට යන්න කලින්ම ඒ අයට රිලවුන් ගැන අනතුරැ අඟවනවා. විශේෂයෙන්ම ඔය කෑම වර්ග එහෙම අතේ අරන් යන්න එපා කියලා...

ගැහැනු පිරිමි දෙපාර්ශ්වය ගත් විට පිරිමින් වැඩි කාය ශක්තියකින් යුතුය. අප පමණක් නොව දඹුල්ලේ රිලවු ද ඒ බව හොඳින්ම දනිති. ඔවුන් පිරිමින් මඟහැර දඹුලු ගල නඟින ගැහැනුන්ට කිට්ටු වන්නේ ඒ නිසාය. 

ඒ අතින් ගත්තම පුදුමත් හිතෙනවා. රිලවු පිරිමි කෙනෙක් ළඟට එන්නෙ බොහොම කලාතුරකින්. ඒ ආවත් පොඩි පිරිමි ළමයෙක් ළඟට තමා. හැබැයි ගෑනු අය ළඟට කිසිම බයක් සැකක් නැතුව උන් ළංවෙනවා. පිරිමි කෙනෙක්ගෙ වගේ නෙමේ, ගෑනු කෙනෙක්ගෙ අතේ මොකක් හරි කෑමක් තිබ්බොත් උදුරගන්නවම තමා.

රිලවු එසේ කෑම උදුරද්දී ඒ කෑම කුමක්ද? තමන් ආසා කරන දෙයක්ද? රසවත් දෙයක්ද? යන කිසිවක් ගැන නොසිතා කෑමබීම උදුරාගනිති. සංචාරකයා අතේ තිබෙන්නේ කුමක් හෝ කෑමක් යැයි ඉව වැටුණු විගස එය උදුරාගැනීමට මාන බැලීම රිලවාගේ සිරිතයි. 

වැරදිලාවත් ගෑනු කෙනෙක්ගේ අතේ තිබ්බ කෑම එකක් රිලවෙක් උදුරගත්තොත් එයාලට ඒ තරම් විනෝදයක් තවත් නෑ. චීන භාෂාවෙන් රිලවට කියන්නේ අවුස කියලයි. ඉතින් අවුස අවුස කිය කිය එයාලත් කෑගගහ විනෝද වෙනවා. 

දඹුල්ලේ රිලවුන් මෙන්ම සීගිරියේ සිටින අපූරැ රිලවුන් රැලක් ගැනද මේ කතාබහේ දී දැනගන්නට ලැබිණ. එනම් සීගිරිය නඟින සංචාරකයන්ට අත්උදව් ලබාදෙන වේශයෙන් පෙනී සිටිමින් මුදල් කඩාවඩා ගන්නා පිරිසකි. 

බලෙන්ම වගේ ටුවරිස්ට්ලාගේ අතින් අල්ලලා උදව් දෙන්න හදන කිහිපදෙනෙක් ඉන්නවා. එයාලා ඇත්තටම ලොකු වදයක්. ඒ විතරක් නෙමේ, උඩට නැග්ගුවට පස්සෙ සල්ලිත් ඉල්ලනවා. ඔහොම දේවල් වෙද්දි ටුවරිස්ට්ලට අපේ රට ගැන ඇතිවෙන්නේ ලොකු කලකිරීමක්. 

යම් රටක සංචාරය කරද්දී ඒ රටට ආවේණික ආහාර රස බැලීමද සංචාරයේම කොටසකි. එහෙත් චීන ජාතිකයෝ ලංකාවේ කෑම බීම කෙරෙහි එතරම් ප්‍රියතාවයක් නොදක්වති. ඊට හේතුව අනිකක් නොව, අපේ කෑම බීම රස ඔවුන්ට නුහුරු වීමයි. එනිසාම චීන අවන්හලකට ගොඩවීමට හෝ නවාතැන් ගන්නා හෝටලයේ චීන ආරට හදන ආහාරයකින් ෂේප් වන්නට ඔවුන්ට සිදුවේ. චීන ජාතිකයන් තම හෝටලයේ නවාතැන් ගන්නට එන බව කල්තියා දැනගන්නා බොහෝ හෝටල් එම දිනවලදී චීන කෑම සකස් කරන්නට වැඩි උනන්දුවක් දක්වන බව ද ආරියරත්න හේවා මහතා පවසයි. 

හැබැයි දැන් දැන් චීන අය අලුත් වැඩක් පටන් අරන්. ඒ තමා චීනෙ ඉඳන්ම ඒගොල්ලො කන්න කැමති නූඩ්ල්ස් පැකට් තුන හතරක් අරගෙන එනවා. ඉතින් හෝටල් කාමරේදීම උණු වතුර දාලා නූඩ්ල්ස් හදාගෙන කනවා.

ලංකාවේ බත්, ව්‍යංජනවලට කැමැත්තක් නොතිබුණත් මුහුදු මාළුන්ට චීන ජාතිකයෝ පෙරේතය. ඌරැමස් යනු චීන්නුගේ තවත් ප්‍රියතම කෑම වර්ගයකි. එහෙත් විවිධ සෝස් වර්ග, ලුණු දමමින් ඌරැමස් ද චීන ක්‍රමයට සෑදිය යුතුය. ගයිඩ් මහත්තුරු ඒ සූපවේදී ක්‍රම ශිල්ප නොදනිතත් හෝටල් කෝකියන් ඒ ගැන හොඳින් දන්න නිසා චීන ජාතිකයන්ට ලංකාවේ දී කෑම අහේනියකට මුහුණදෙන්නට සිදුවන්නේ නැත.

චීන ජාතිකයෝ බොහොම රහට කෑම කන්න පුරුදු වුණු ජාතියක්. එයාලගේ කෑම ගොඩක් රසවත්. මට හිතෙන විදිහට නම් එයාලට අපේ කෑම රස මදි. හැබැයි මට කිසිම කෙනෙක් තාම ඒ බව කියලා නෑ. අපේ හිත් නරක් වෙයි කියලා එහෙම නොකිව්වට ඒක තමයි හේතුව කියලා මට තේරෙනවා.

චීනය යනු වර්තමාන ලෝකයේ පවතින අනාගමික රටවල් අතුරින් එකක් යැයි කීමෙහි වරදක් නැත. කොන්ෆියුසියස් දහම, මහායාන බුදු දහම, සෙන් දහම ආදී ආගමික දර්ශන රැසක් පැවැති, ඒ ඔස්සේ හැඩගැසුණු සංස්කෘතික ජීවන රටාවක් පැවැති චීනයේ අද වන විට ආගම් අදහන්නන්ගේ පිරිස ඉතා අඩුය. තමන් අසවල් ආගම අදහන්නෙක් යැයි කියන්නන් හමුවන්නේ ඉතා කලාතුරකිනි.

එයාලා තුළ බෞද්ධාගමික පසුබිමක් තියෙන හින්දා දළදා මාලිගාවට ගියත් ගෞරවයෙන් වැඳගෙන ඉන්නවා. ඒත් එයාලා කිසිම ආගමක් අදහන්නෙ නෑ. හැබැයි සමහරැ නම් සපත්තු ගලවන්න බැරිකමකට දළදා මාලිගාව ඇතුළට යන්න එන්නෙත් නෑ. ඒ තරම් කම්මැලියි.

(චීන සංචාරකයන්ගේ ගුප්ත විද්‍යා ඇදහිලි රැගත් තවත් රසවත් කතාබහකින් ලබන සතියේ හමුවෙමු)

 රජිත ජාගොඩ ආරච්චි